පිංවතුන් නිතරම අසන ප්‍රශ්නයක්‌ තමයි, භාවනාවක්‌ හැටියට අපි මුලින්ම කුමක්‌ද තෝරාගතයුත්තේ කියලා. භාවනාවක්‌ කියන්නේ වඩනවා කියන කාරණයයි. පිංවත් ඔබ තුළ කුමක්‌ ද වැඩෙන්නේ, එය භාවනාවක්‌ වෙනවා. ඔබ සිතන්න ඔබ මුළු දවසම ද්වේෂය වඩනවා කියලා. එවිට මුළු දවසම ඔබ ‘ද්වේෂ භාවනාව’ වැඩුවා වෙනවා. ඔබ සිතන්න මුළු දවසම ව්‍යාපාරය නිසා, පවුල් සම්බන්ධතාවයන් නිසා ලෝභය වඩවනවාය කියලා. එවිට ඔබ මුළු දවසම ‘ලෝභ භාවනාව’ වැඩුවා වෙනවා. පිංවත් ඔබ මුළු දවසම සංස්‌කාරයන්ට ඇලී ගැලී ජීවත්වෙනවා ය, කියලා සිතන්න. එවිට ඔබ මුළු දවසම ‘මෝහ භාවනාව’ වැඩුවා වෙනවා. දැන් පිංවත් ඔබට පුළුවන් ඔබේ ජීවිතයට සිත යොමුකරලා දිනපතා ඔබ තුළින් වැඩෙන්නේ අකුසලයට අදාළ භාවනාවක්‌ ද එසේත් නැතිනම් අලෝභ, අද්වේෂ, අමෝහයන්ට අදාළ කුසලය වැඩෙන භාවනාවක්‌ ද කියලා දැනගන්න.

පිංවත් ඔබ දවස පුරාම මුදල් පසුපස, බලය පසුපස, සැපය පසුපස හඹාගෙන යන කෙනෙක්‌ නම්, ඔබ තුළ වැඩෙන්නේ ‘ලෝභ භාවනාවයි’ ඔබ බලාපොරොත්තුවෙන මුදල්, බලය, සැපය පිළිබඳ ඉලක්‌කයන් වැරදී යන විට ඔබ තුළ වැඩෙන්නේ ලෝභ සහ ද්වේෂ භාවනාවයි. ගිලිහී ගිය බලාපොරොත්තු නිසා, ඔබ ගැටෙමින් ජීවත්වන විට ඔබ තුළ වැඩෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවයි. භාවනාවන් තුනක්‌ම පිංවත් ඔබ තුළ එක විටම වැඩෙනවා. දැන් පිංවත් ඔබ තමා කෙරෙහි අනුකම්පාවෙන් ස්‌වයං අධ්‍යයනයකට යෙදෙන්න. ඔබේ ජීවිතය පිළිබඳව. ඔබ දිනකට කොතෙක්‌ වේලාවක්‌ ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවන් වඩනවාද? එම හේතූන් නිසාම ඔබට හොරා දිනකට ඔබ තුළින් කොතෙක්‌ අකුසල් සිදුවෙනවා ද කියලා.

එක පිංවත් මහත්මයෙක්‌ ඉන්නවා. එම මහත්මයා උදේම නිවසින් එළියට බහිනකොට තම දයාබර බිරිඳට කියනවා අද රාත්‍රියට මම නිවසට එන්නේ රුපියල් 75,000 ක්‌ හම්බකරගෙන කියලා. අනිsවාර්යයෙන්ම මෙම මහත්මයා රාත්‍රියට එම මුදල අරගෙනයි නිවසට එන්නේ. මේ හැත්තෑපන්දහසේ ඉලක්‌කය සපුරාගැනීම උදෙසා, එම පිංවත් මහත්මයා දෑස්‌ ඇරගෙන පැය දහයක්‌ එකදිගටම ලෝභ, ද්වේෂ, මෝහ භාවනාව නොවරදාම, වීර්යයෙන් යුතුව සිදුකරනවා. මෙහෙම වීර්යයෙන් ‘භාවනා කරන’ පිංවතුන් අපට ඇවිල්ලා කියනවා ‘හාමුදුරුවනේ, අපිට භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. සිත විසිරෙනවා’ ය කියලා. බලන්න කොච්චර බොරු කියනව ද කියලා. ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවන් ඇස්‌ ඇරගෙනත් පැය දහයක්‌ එක දිගට කරන්න පුළුවන්. අලෝභ, අද්වේෂ, අමෝහ භාවනාවක්‌ දෑස්‌ පියාගෙන විනාඩි දහයක්‌ කරන්න බැහැ සිත විසිරෙනවා.

ඉහත කාරණය තුළ පිංවත් ඔබට හොඳ ප්‍රවේශයක්‌ තිබෙනවා. පංචකාමයන් උදෙසා ඔබේ ඇති කෑදරභාවය නුවණින් මතුකොටගන්න. දැන් පිංවත් ඔබට තේරෙනවා, ඔබ දවසේ පැය විසිහතර පුරාවටම භාවනාවක්‌ කරමිනුයි සිටින්නේ. එය අකුසලයට, දුකට අදාළ භාවනාවක්‌වමයි.

එක පිංවතෙක්‌ සිටිනවා, ඔහු පිංකම් කරන්න හරිම කැමතියි. වියදම් කරමින්, විචිත්‍ර පිංවක්‌ කරනවා. ඔහු පිනට හරිම ලෝභයි. මේ පිංකම් තුළ නිරතුරුවම සිත වැඩෙනවා, සුගතියේ උපතකට අදාළව සංස්‌කාර වැඩෙනවා. නමුත් මොහු තුළ ඇති පින කෙරෙහි ලෝභ ස්‌වභාවය නිසා, ද්වේෂයත් මෝහයත් කියන අකුසල් මූලයන් දෙකම ඔහු තුළ භාවනාවක්‌ හැටියට වැඩෙනවා. සැපයට අදාළව පින කියන භාවනාව වඩන මොහොතේම, ඔහු දුකට අදාළ අකුසලයට අදාළ, ද්වේෂයත් මෝහයත් යන භාවනා දෙකම වඩන කෙනෙක්‌ බවට පත්වෙනවා. ලෝභ සිතක්‌ ඉදිරියට බාධාවක්‌ පැමිණෙන මොහොතේම ඊළඟට ඔබට මුණගැසෙන්නේ ද්වේෂ සහගත සිතක්‌මය. පින කෙරෙහි ලෝභ සිත් ඇති පිංවතුන් ධර්මය ගලපාගැනීමට ඇති අදක්‍ෂභාවය නිසාම නිරතුරුවම ද්වේෂ මෝහ භාවනාවන් ජීවිතවලට එකතුකොට ගන්නා ආකාරය වර්තමනා සමාජය තුළ හොඳින් විද්‍යමාන වෙනවා.

පසුගිය කාලයේ එක්‌තරා පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුව දේශනා කළ එක්‌ නිවැරදි ධර්ම කාරණයක්‌ අරගෙන භික්‍ෂුවට චෝදනා කළා. දවසක්‌ මේ පිංවත් මහත්මයා මුණගැසුණු මොහොතක බොහොම කාරුණිකව විමසුවා ‘ඇයි මහත්තයෝ මේ නිවැරදි ධර්ම කාරණාවකට වෙනත් අර්ථකථනයක්‌ දී භික්‍ෂුව විවේචනය කරන්නේ ?’ කියලා. ඒ වෙලාවේ මේ ජීවිතයේදීම උතුම් සෝවාන් ඵලය සාක්‍ෂාත් කරගැනීමට බලාපොරොත්තුව ධර්ම මාර්ගය වඩන එම පිංවත් මහත්මයා භික්‍ෂුවට කියනවා ‘ඔබ වහන්සේ දේශනා කළ ධර්ම කාරණය, සූත්‍රගත නිවැරදි ධර්ම කාරණයක්‌ය කියලා මම හොඳින් දන්නවා. එහෙම දැනගෙනත් මම ඔබවහන්සේව ප්‍රසිද්ධියේ විවේචනය කළේ , ඔබවහන්සේ ගැටෙනවා ද කියා බලන්නයි’ කියලා. ‘අපේ කණ්‌ඩායමක්‌ සිටිනවා. එම කණ්‌ඩායම කරන්නේ ස්‌වාමීන්වහන්සේලාව චෙක්‌ කරන එක’ ය කියලා. බලන්නකෝ, සෝවාන්ඵලය අපේක්‍ෂාවෙන් කොයිතරම් මේ පිංවතුන්ලා ලෝභ ද්වේෂ මෝහ භාවනාව වඩනවා ද කියලා. මෙවැනි පිංවතුන්ලාට කිසිදු ගුරු උපදේශයකින් තොරව, දෑස්‌ විවර කරගෙනම අධි වීර්යයකින් යුතුව ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවන් වැඩීමට විසිහතර පැයේම ආශිර්වාද කරන්නේ අකුසලයට අධිපති වසවර්ති මාරයා කියන ඔවුන්ගේ ශාස්‌තෘවරයාය.