පිංවත් ඔබ දෑස්‌ පියාගෙන මහා සාගරයට සිත යොමුකරලා, මහා සාගරයේ ජල කඳ, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම වෙනුවෙන් අතීතයේ හෙළු රුධිරය බව දකින්න. පිංවත් ඔබ මේ මොහොතේ ‘මගේ කරගෙන’ බැඳී සිටින ඔය කුමන රූපයක්‌වත් ඔබ වෙනුවෙන් මේ ජීවිතයේදී අවම වශයෙන් කඳුළු බාල්දියක්‌ හෙළා තිබෙනවාද?

කඳුළු සාගරයත්, කඳුළු බාල්දියත් සංසන්දනාත්මකව දකිමින් පිංවත් ඔබේ සැබෑ සැපය උදෙසා, දුකෙන් මිදීම උදෙසා ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ අයෝමය කැපවීම, ආරක්‍ෂාව නුවණින් දකින්න. පිංවත් ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම වෙනුවෙන් අතීතයේ දන් දුන් ශරීර මාංශ බව නුවණින් දකින්න. බුදුරජාණන්වහන්සේ දෙපා තබාගෙන වැඩසිට පිරිනිවී ගිය මේ මහපොළොව මත, යම් දවසක ඔබේ ශරීරය මළකුණක්‌ කොට තබා, නැවන උපතකට නොයනවාය කියන අධිෂ්ඨානය ඔබ ඇතිකොට ගන්න.

බෝධි සත්ත්වයන් දන් දුන් සක්‌විති රජ පදවි, තනතුරු, කීර්ති ප්‍රසංශා නුවණින් දකිමින් බෝධි සත්ත්වයන්ගේ අරමුණ කෙරෙහි කැපවීම, වීර්යය නුවණින් දකින්න. තනතුරු උදෙසා බලය උදෙසා ජීවිතයක්‌ පාවා දෙන සමාජයක, පිංවත් ඔබේ සැබෑම මාර්ගෝපදේශකයා, මගපෙන්වන්නා, බුදුරජාණන්වහන්සේ යෑයි නුවණින් දකින්න. සද්ධන්ත කුලයේ ඇතකුව ඉපිද, තම පෞරුෂත්වයෙන් යුත් දළ යුගල අපරාධකාරී මනුෂ්‍යයෙක්‌ අතින් කපා දමද්දිත්, එම මරණීය වේදනාව, සිහි නුවණින්, මෛත්‍රියෙන් යුක්‌තව ඉවසමින් ඒ අසත්පුරුෂ මනුෂ්‍යයාටත් මෙත් වැඩූ තිරිසන්භාවය තුළත් අයෝමය බෝධිසත්ත්ව ගුණය ප්‍රකට කළ ඒ ගුණය සිහියට නඟාගන්න. පිංවත් ඔබේ භවදුක නිවීම උදෙසා මෙවන් කැපකිරීමක්‌ කළ තවත් උත්තම පුරුෂයෙක්‌, තවත් බුදුරජාණන්වහන්සේ නමක්‌ම හැර මේ ලෝක ධාතුව තුළ නොමැති බව නුවණින් දකින්න.

සිදුහත් කුමරුන් ලෙස මහාමායා දේවියගේ මවුකුස පිළිසිඳගත් මොහොතේ පටන් සිදුවූ ආශ්චර්යමත් සිදුවීම් සියල්ලම බුදුරජාණන් වහන්සේනමකගේ උතුම් පාරමී කුසල් ශක්‌තියේ ඵලයන්මය. බෝධිසත්ත්වයන් වහන්සේ නමක්‌ මවුකුස පිළිසිඳ ගැනීම සිදුවන්නේද, බෝධිසත්ත්ව මෑණියන් දැනුවත්මය. දස මසක්‌ කුසේ වැඩෙන දරුවා, මවුකුසේ වැඩෙන්නේද බාහිරට දර්ශනය වන ආකාරයටය. බෝධි සත්ත්ව දරුවා මවුකුස පිළිසිඳගත් මොහොතේ පටන් බෝධිසත්ත්ව මෑණියන්ට තම ස්‌වාමිපුරුෂයා නිසාවත් රාග සිතක්‌ හටගන්නේ නැත. දස මසක්‌ ගිය තැන බෝසත් දරුවා, බෝසත් මව සිටගෙන සිටින ඉරියව්වෙන්මයි ලෝකයට බිහිකරන්නේ. ලෝකයට, බිහිවන බෝසත් දරුවා දෙවියන් විසිනුයි, දෝතට පිළිගන්නේ. මවුකුසින් බිහිවන දරුවා රුධිරය, සැරව තැවරීමකින් තොරව දඹරනින් සෑදූ ළදරුවෙක්‌ සේ පිරිසිඳු භාවයෙන් යුක්‌ත වෙනවා. දෙවියන් දෝතට පිළිගත් දරුවා නැහැවීම සඳහා ස්‌වාභාවිකවම සිසිල් දිය වැස්‌සකුත්, උණුදිය වැස්‌සකුත් ඇතිවෙනවා. බෝසත් දරුවා උපන් මොහොතේම සත් පියවරක්‌ ඉදිරියට තබා උතුරු දෙසට මුහුණලා ‘මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට දෙටු වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මගේ අවසාන උපතයි’ යනුවෙන් සිංහ නාදයක්‌ කරනවා. මේ සියලු ධර්මතාවන් උතුම් පාරමී ශක්‌තියෙන් ක්‍රියාත්මක වන උතුම් බුදුගුණයන්මය.

ඉහත ධර්මතාවන් නුවණින් මෙනෙහි කරමින්, බුදුරජාණන් වහන්සේ නමක්‌ සතු උතුම් පුණ්‍ය ශක්‌තියේ බල මහිමයෙන් එම පුණ්‍ය ශක්‌තිය නිසා ස්‌වාභාවික ලෝක ධර්මයන් ආශ්චර්යවත් අයුරින් වෙනස්‌ වෙන ආකාරයත්, පූජනීයත්වයට පත්වෙන ආකාරයත් නුවණින් දකින්න. දරුගැබක්‌, දසමසක්‌ කුසේ දරාගෙන සිටිය කාලය තුළ කිසිදු ක්‌ලාන්ත වීමක්‌, කායික මානසික වේදනාවකින් තොරව දරු ප්‍රසූතිය සිදුකොට සත්වන දින කලුරිය කරන බෝසත් මෑණියන්, සශ්‍රීක දිව්‍ය තලයක උපත ලැබීමද, උතුම් බුදුගුණයක මහිමයක්‌මය.

ස්‌වාභාවික ලෝක ධර්මය කම්පා කරවීමට, වෙනස්‌ කරවීමට සමත් මෙවැනි උත්තමයෙක්‌ බුදුරජාණන් වහන්සේ නමක්‌ම හැර මේ ලෝක ධාතුව තුළ නොමැති බවද නුවණින් දකින්න.