සිදුහත් කුමාරයා හැටියට අතීත පාරමී ශක්‌තියෙන් උරුම වූ ශාක්‍ය වංශයේ උපත, සක්‌විති රජ පදවියේ උරුමය, දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ වූ රූපකාය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සිදුහත් කුමරු අවධියේ මම නිදුක්‌මි. අතිශයින්ම මම නිදුක්‌මි. සත්‍යයෙන්ම මම නිදුක්‌මි. මාගේ පිය නිවස්‌නෙහි පොකුණු ඇත. එකක නිලුපුල් මල් පිපෙයි, එකක හෙල පියුම් පිපෙයි, එකෙක රත් පියුම් පිපෙයි. ඒ සියල්ලම මා උදෙසාය. මම නිරතුරුවම පියුම් සුවඳ සඳුන් දරමි. මාගේ හිස වෙළුම්ද සියුම්ය. මාගේ පොරෝනද සියුම්ය. උතුරු සළුද සියුම්ය. මහණෙනි මට දිවා රාත්‍රි දෙකේදී ශීතල උෂ්ණය පිනි දුහුවිලිවලින් ආරක්‍ෂා වීම සඳහා මගේ සේවිකාවෝ මට සේසත් දරනු ලැබේ. මහණෙනි මට රම්‍ය, සුරම්‍ය, සුබ නමින් තුන් පහායෙකි. එකක්‌ හේමන්තයටය. එකක්‌ ගිම්හානයටය. එකක්‌ වර්ෂා සෘතුවටය. මහණෙනි, මම වැසි කාලය පැමිණි කල වැසි කලට නිසි පහයෙහි පිරිමින් නැති තරුණ රූමත් ස්‌ත්‍රීන් පමණක්‌ ඇති, නැටුමෙන් ගැයුමෙන්, වැයුමෙන් පිනවනු ලබන්නේ, යට පහයට නොබසී. මගේ පිය නිවස්‌නෙහි දැසි දස්‌සන්ට ද මස්‌ සහිත ඇල් සහලේ බත් දෙනු ලැබේ’ යෑයි බුදුරජාණන් වහන්සේ තම කුමාර ජීවිතයේ විඳි සැප සම්පත් ගැන සඳහන් කරනවා.

දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදීම ‘ගෞතම බුදුරජාණන් වහන්සේ දවස, සිද්ධාර්ථ කුමාරයාගේ බිරිඳ මම වෙමි’ යි ප්‍රාර්ථනා කොට, එම උපාදානය ඔස්‌සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ ඈත පටන් පාරමී ධර්මයන් පුරාගෙන පැමිණි පංචකල්‍යාණියක්‌ වූ යශෝධරාව, එම අතීත පාරමී ශක්‌තියේම ඵලයක්‌ වූ රාහුල පුතණුවන්… මේ සෑම ආශ්චර්යවත් ධර්මයක්‌ම උතුම් බුදු ගුණයක්‌මය. මෙවන් අසිරිමත් සැපයක්‌ අලුයම බැහැර කරන කෙළ පිඬක්‌ සේ ඉවත දැමීමට, අතහැරීමට බෝධි සත්ත්වයන් තුළ සකස්‌ වූ ඒ පූජනීය සිතිවිල්ල පිංවත් ඔබ මොහොතක්‌ නුවණින් මෙනෙයි කරන්න.

ඒ උතුම් සිතිවිල්ල ද බුදුගුණයක්‌මය.

චතුරාර්ය සත්‍ය ධර්මයක්‌ නොදන්නා ලොවක, අත්තකිලමතානු යෝගය නමැති වැරදි අන්තයක යමින්, සය අවුරුද්දක්‌ පුරා ශරීරයට දුන්නා වූ අප්‍රමාණ දුක්‌ පීඩාවන් නුවණින් දකින්න. ‘ආනන්ද, එදා මට උදරය කියලා, පිට කොන්ද කියලා දෙකක්‌ තිබුණේ නැහැ. උදරය අත්ගෑවහම, පිටකොන්දයි අතගෑවෙන්නේ. පිට කොන්ද අතගෑවහම උදරයයි අතගෑවෙන්නේ. ආනන්ද මම සොහොනේ මිනී ඇට එකතුකොට කොට්‌ටයක්‌ කොට සයනය කරනවා. එකල මා වෙතට ගොපළු දරුවන් පැමිණ මගේ සිරුරට කෙළ ගහනවා. මුත්‍රා කරනවා. පස්‌ ද විසුරුවනවා. මගේ කන් සිදුරුවලට ඉරටු ගහනවා. නමුත් මම ඔවුන් කෙරෙහි පවිටු සිතක්‌ ඉපදෙව්වේ නැහැ. උපේක්‍ෂාවෙන්මයි ගතකළේ. මම මළ හෝ මුත්‍රා හෝ පහ කරන්න හිඳගනිද්දී එහිම ඇදගෙන වැටෙනවා. ඒ අල්ප ආහාර නිසා. මම ශරීරය පිරිමදිනකොට මුල් දිරූ රෝමයෝ ගැලවී අතට එනවා. ඒ තරමටම මම ශරීරයට දුක්‌ දුන්නා ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ වැහැරී, කේඬෑරිව ගිය ඇටසැකිල්ලක්‌ බඳුවූ බෝධිසත්වයන්ගේ රූපකාය මොහොතක්‌ සිහියට නඟන්න. පිංවත් ඔබට භව ගමනේ ආයුෂය, වර්ණය, සැපය, බලය ලබාදීම උදෙසා, කුසලයේ ශක්‌තිය මතුකොට දැක්‌වීම උදෙසා තම ආයුෂ, වර්ණය, සැපය, බලය ඇටසැකිල්ලක්‌ වන තරමටම පරිත්‍යාග කළ ඒ උතුම් සත්පුරුෂ ජීවිතය දෙස නුවණින් බලන්න.

මෙවන් දරුණු මරණීය, ශාරීරික පීඩාවක්‌ බෝධිසත්වයන්ට නොමැරී අත්විඳින්න ශක්‌තිය ලැබුණේ, අතීත පාරමී ශක්‌තියේ බලවත්භාවය නිසාමය. මෙයත් උතුම් බුදුගුණයක්‌මය. වැරදි අන්තයක්‌ වූ අත්තකිලමතානු යෝගය අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවේ අර්ථයට පැමිණෙන කොට උන්වහන්සේ තුළ ඇතිවූ සිතිවිල්ල ද උතුම් බුදුගුණයක්‌මය. සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා හිස්‌ පාත්‍රය ගංගානම් ගඟේ පාකොට, තමා සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ නම් මේ පාත්‍රය උඩුගම්බලා යේවා’ කියා කළ අධිෂ්ඨානයෙන් එම පාත්‍රය උඩුගම් බලා යන්නේද අතීත පාරමී ශක්‌තියෙන් උපන් බුදුගුණයක්‌ නිසාමය. ‘මාගේ ලේ, මස්‌, සම්, නහර වියෑළේවා, උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධයෙන් තොරව නොනැඟිටිමි’ යි ජය ශ්‍රී මහා බෝධි මූලයේදී යම් චිත්තයක්‌, අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගත්තා නම් ඒ උතුම් සිතිවිල්ල ද බුදුගුණයක ඵලයක්‌මය.