ඒ විශිෂ්ටත්වයන් ඇත්තේ බුදුන්වහන්සේ තුළම පමණි…

බුද්ධානුස්සතිය

ජය ශ්‍රීමහා බෝධි මූලයේදී, වසවර්ති මාරයාගේ අයෝමය අසද් බලය පරාජය කොට දමලා, තන්හා රතී රඟා මාර දූතියන්ගේ උන්මාදනීය, ප්‍රේමනීය, රාගනීය දර්ශනයන්, රංගනයන් පරාජය කොට දමලා, නපුරු වේශයන්ගෙන් පැමිණි මාර සේනාවන්ගේ අසද් බලය පරාජය කොට දමලා, පූර්වේ නිවාසානුස්‌සති ඥානය, චුතූපපාත ඥානය තුළින් සත්ත්වයා මැරෙන ඉපදෙන අතීත අනාගත භව ගමන උතුම් ඥාන දර්ශන තුළින් අත්දැකලා, සම්මා විමුක්‌තියත්, උතුම් සම්මා සම්බුද්ධ ඥානයන් අවබෝධ කොට ගෙන පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධයෙන් අත්දුටු, ඒ අනිත්‍යභාවයට පත්වූ සිතිවිල්ල, පිංවත් ඔබ මොහොතක්‌ මෙනෙහි කරන්න. ඒ උතුම් සිතිවිල්ලත් අතීත පාරමී ශක්‌තියෙන් උපන් බුදුගුණයක්‌මය.

මිථ්‍යදෘඨීන් හැට දෙකක්‌ තුළ ඇලී ගැලී කාමයන් තුළ ජීවත් වන මනුෂ්‍යයන් කෙලෙසක මේ ගාම්භීර ධර්මය අවබෝධ කරගනී ද කියන උකටලීභාවය තුළ බුදුරජාණන් වහන්සේ පසුවෙද්දී, මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් මේ උතුම් සද්ධර්මය දේශනා කිරීම ද උතුම් බුදුගුණයක්‌මය.

යම් කලෙක බෝසතුන් තුසිත දෙව්ලොවින් චුතව, සිහි නුවනින් යුතුව මව් කුස පිළිසිඳගත් මොහොතේa ද, යම් කලෙක්‌ බෝසතුන් සිහි නුවනින් යුතුව මව් කුසින් බිහිවන මොහොතේ ද, යම් කලෙක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොටගත් මොහොතේද, යම් කලෙක බුදුරජාණන් වහන්සේ ධම්මචක්‌ක පවත්වන සූත්‍රය දේශනා කරන මොහොතේද, සියලුම දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, සතර අපායන්හී දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්‌මවා ගිය ආලෝකයක්‌ ඇතිවෙනවා. සඳ, හිරු දෙදෙනාගේ කාන්තිය නොලබන, ඝන අඳුරින් වැසීගත් යම් නිරාගත සත්ත්වයන් ඇති ද, අකුසලය නිසාම ආලෝකය නොපෙනෙන සත්ත්වයන් ඇති ද, මේ සෑම සත්ත්ව වාසයක්‌ තුළම දෙවියන්ගේ ආලෝකය ඉක්‌මවා ගිය ආලෝකයක්‌ පහල වෙනවා. කල්පාන්තරයකට පසුව පහල වෙන මේ ආලෝකය නිසාම, ඒවායේ ජීවත්වන සත්ත්වයන් තමන් වගේම අන්‍යසත්වයන් මෙහි සිටිනවාය කියලා දැනගන්නවා. මේ අඳුරු ලෝකයන් ආලෝකමත් වීමද උතුම් බුදුගුණයක්‌ම වෙනවා.

බුදුරජාණන් වහන්සේ නමක්‌ පහලවීමෙන්, පංචකාමයන්හී බැසගෙන ජීවත් වූ මනුෂ්‍යයන් මාන්නය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තුළ ඇලී ගැලී ජීවත්වූ මනුෂ්‍යයෝ, අවිද්‍යාවෙහි ඇලී ගැලී ජීවත්වූ මනුෂ්‍යයෝ, බුදුරජාණන් වහන්සේ පහලවී උතුම් සද්ධර්මය දේශනා කරන කල්හී සද්ධර්මය අසන්නට කැමති වේ නම්, දෙසවන් ධර්මයට යොමු කරනවා. මෙයත් උතුම් බුදුගුණයක්‌මය. ‘අතීතයේ උතුම් සම්මා සම්බෝධියෙහි මා හා සම වූ බුදුරජාණන් වහන්සේලා වුණා, අනාගතයේදීත් මා හා සමවූ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. නමුත් සාරිපුත්තය, සම්මා සම්බෝධිය විෂයෙහි බුදුරජාණන් වහන්සේට වඩා විශිෂ්ට ගුණ ඇති අන් මහණ කෙනෙක්‌, බමුණෙක්‌ මේ ලෝක ධාතුව තුළ නැත්තේමය. එය ද උතුම් බුදුගුණයක්‌මය. බුදුරජාණන් වහන්සේලාට පමණක්‌ උරුම, උතුම් ගුණයන්ගෙන්, උතුම් බලයන්ගෙන් එක දශමයක්‌වත් ඔබටත්, මටත් ඇතිකොට ගැනීමට නොහැකි බව අවිවාදයෙන් දකින්න. පිංවත් ඔබ නොදන්නාභාවය නිසාම බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, ඥානයන් බලයන් ඔබ තුළ ඇති කොට ගැනීමට උත්සහ ගන්නේ නම් ඒ බුදුරජාණන් වහන්සේගේ නොකැළැල් අයෝමය ශක්‌තිය, ගුණය පිළිබඳව නිවැරදි චිත්‍රයක්‌, ශ්‍රද්ධාවක්‌ ඔබ තුළ ඇතිකොට ගැනීමට බාධාවක්‌ වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහා සාගරය නම්, මේ සටහන් තබන භික්‍ෂුව එම මහා සාගරයේ ජල බින්දුවක්‌ කියලයි භික්‍ෂුව සිතන්නේ. සමහරක්‌ පිංවතුන්ලා උත්සහ ගන්නවා, බුදුරජාණන් වහන්සේලා සතු ඉතිපිසෝ භගවා අරහං සුගතෝ ලෝකවිදූ ගුණයන් තමන් තුළ ඇතිකර ගන්න. මේවා හුදු මායාවන් බවටයි පත්වෙන්නේ. බුදුරජාණන් වන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබලාව තව තවත් ඈතට දමනවා.

දවසක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා, නපුරු මනුෂ්‍යයෙක්‌ ආයුධයක්‌ අමෝරාගෙන ඔබවහන්සේ ඉදිරියට ආවොත්, ඔවවහන්සේ මොකද කරන්නේ? කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ, එම නපුරු මනුෂ්‍යයාව මග හැරලා යනවාය කියලා. ඒ වෙලාවේ එම මහත්මයා අහනවා ‘බුදුරජාණන් වහන්සේ අංගුලිමාල ඉදිරියට වැඩියානේ. ඇයි ඔබ වහන්සේ නපුරු මනුෂ්‍යයා මගහැර යන්නේ?’ කියලා. ඒ වෙලාවේ භික්‍ෂුවට තේරුණා මේ මහත්මයා තවම බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, ඥානයන්, බලයන් පිළිබඳව ශ්‍රද්ධාවට පැමිණ නැති මහත්මයෙක්‌ය කියලා. ශ්‍රද්ධාව නොපිහිටි නිසාම භික්‍ෂුවත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් එකම මට්‌ටමකට දමලයි බලන්නේ. නමුත් පිංවත් ඔබට මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරලා, උතුම් පැවිදි උපසම්පදාවන්ට පත්වෙලා, උතුම් සංඝරත්නයට අදාළ ගුණයන්, ඥානයන්, බලයන් අවශ්‍ය නම් ඇතිකොට ගන්න පුළුවන්. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ ආදී වූ උතුම් ආර්යයන් වහන්සේලාගේ ගුණයට, ඥානයට සමවෙන්න නම් සිතන්න එපා. එයත් හුදු මායාවක්‌මයි.