වේරඤ්ජ බමුණා, බුදුරජාණන් වහන්සේව හමුවෙලා චෝදනාවක්‌ කරනවා ‘භවත් ගෞතමයන් වූ ඔබ, මහලු වූ බමුණන්ට වඳින්නේ නැහැ. පෙරගමන් කරන්නේ නැහැ. ආසන පනවන්නේ නැහැ. අසුනින් නැගිට ගරු කරන්නේ නැහැ’ ය කියලා. ඒ අවස්‌ථාවේදී බුදුරජාණන්වහන්සේ වේරඤ්ජ බමුණාට දේශනා කරනවා ‘බමුණ මම යම් පුද්ගලයකුට වඳිම්ද, නැගිට පෙරගමන් කරම්ද, අසුන් පවරම්ද එබඳු පුද්ගලයෙක්‌ දෙවියන් සහිත මරුන්, බඹුන්, මනුෂ්‍යයන් සහිත ප්‍රජාවේද මම නොදකිමි’ කියලා. යම් පුද්ගලයකුට බුදුරජාණන් වහන්සේ වඳී නම් හෝ අසුනින් නැගිට ගරු කරයි නම්, පෙර ගමන් කරයි නම්, අසුන් පනවයි නම් ඔහුගේ හිසද ගෙලෙන් ගිලිහෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ‘බමුණ මම කාය දුශ්චරිත, වාග් දුශ්චරිත, මනෝ දුශ්චරිත නසා දමා සිටිමි. එම අකුසලයන්ගේ නැසීම කියමි. බමුණ මා රාග, ද්වේෂ, මෝහ අකුසලයන්ගේ විනාශය පිණිස දහම් දෙසමි. තථාගතයන් නැවත මව්කුසට බැසගැනීම, නැවත භවයේ ඉපදීම ප්‍රහීනය. උදුරන ලද මුල් ඇත්තේ වෙයි’ කියලා බුqදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේගේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ වූ රූපකාය නුවණින් දකින්න උත්සහ ගන්න. සිත විසිරෙන, සිත කැළඹෙන සෑම මොහොතකම, බුදුරජාණන් වහන්සේගේ ජීවමාන රූපකාය සිහිපත්කොට ගන්න. පිංවත් ඔබේ විවේකී සිත, සරණක්‌ නැති රූපයන් කරා යොමු කරන්නේ නැතිව, සරණක්‌ ඇති බුදුරජාණන් වහන්සේ කෙරෙහි, උතුම් බුදුගුණයක්‌ කෙරෙහි යොමුකොට ගන්න දක්‍ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අතීත පාරමී කුසල් ශක්‌තිය නිසාම ලබන, දෙතිස්‌මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුත් රූපකාය, පිංවත් ඔබ විසින් සිතින් මවා ගන්න.

වරක්‌ අම්බට්‌ඨ මානවකයා, බුදුරජාණන් වහන්සේගේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ ගැන සැක සිතිලා, එම ලක්‍ෂණයන් ගැන පරීක්‍ෂණ කරන්න පටන් ගත්තා. අම්බට්‌ඨ මානවකයාට බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ දෙකක්‌ හැර, ඉතිරි මහා පුරුෂ ලක්‍ෂණ තිහම නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ නිසා බාහිරට නොපෙනෙන කෙමියක්‌ තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්තද, පුළුල් වූ දිවද යන මහා පුරුෂ ලක්‍ෂණ දෙක ගැන සැක කළා. මේ බව නුවණින් දැකගත් බුදුරජාණන් වහන්සේ අම්බට්‌ඨ මානවකයාට පමණක්‌ පෙනෙන සේ සෘද්ධි ප්‍රාතිහාර්යයක්‌ පාමින් බුදුරජාණන් වහන්සේගේ කෙමියක්‌ තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්තද, බුදුරජාණන් වහන්සේගේ දිව එළියට යොමුකොට දෙකන් සිදුරු ස්‌පර්ෂකොට නළල් තලය දිවෙන් ස්‌පර්ෂකොට පෙන්වූවා. මේ සියල්ල අම්බට්‌ඨ මානවකයාට පමණක්‌ පෙනෙන ආකාරයටයි ප්‍රාතිහාර්යය දැක්‌වූවේ. මේ ප්‍රාතිහාර්යයෙන් අම්බට්‌ඨ මානවකයාගේ සැකය දුරුවී, බුදුරජාණන් වහන්සේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ බවත්, ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොටගෙන ඇති බවත් ප්‍රත්‍යක්‍ෂකොට ගන්නවා.

බුදුරජාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත, කර්මයන්ගේ විපාකයන් ප්‍රත්‍යවශයෙන්, හේතුවශයෙන් දන්නවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි ගෝවෘත රකින, බලුවෘත රකින ආජීවකයන් දෙදෙනෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, තමන් මරණින් පසුව මොනවගේ උපතක්‌ ලබයිද කියලා. ඒ අවස්‌ථාවේදී බුqදුරජාණන් වහන්සේ හේතුඵල දකිමින් දේශනා කරනවා, ගෝ වෘත රකින ආජීවකයා හරකෙක්‌ වෙලා උපදින බවත්, බලුවෘත රකින ආජීවකයා සුනඛයෙක්‌ වෙලාත් උපදිනවාය කියලා. බුදුරජාණන් වහන්සේ උදායි තෙරුන්ට දේශනා කරනවා, ආනන්ද ස්‌වාමීන්වහන්සේ වීතරාගීව කලුරිය කළොත්, ඒ චිත්ත ප්‍රසාදයෙන් සත්වරක්‌ සක්‌දෙව් රජය හොබවනවා. සත්වරක්‌ දඹදිව මහ රජය හොබවනවා කියලා. නමුත් ආනන්ද මේ ජීවිතයේදීම සියලු කෙළෙසුන් නසා පිරිනිවී යැම ඒකාන්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

වරක්‌ අජාසත්ත රජතුමා, උතුම් සද්ධර්මය ශ්‍රවණයකොට බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන යන මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔය අජාසත්ත රජතුමා තම පියා වන බිම්බිසාර රජතුමා ඝාතනය නොකළා නම්, මේ ආසනයේදීම ධර්මය දකිනවාය කියලා. කොරක්‌ඛත්තිය නම් නිරුවත් තවුසෙක්‌ බලුවෘත රකිමින් දෙදන සහ දෙවැලමිට යන සිව් අවයවය බිම තබා බල්ලෙක්‌ ලෙසින් ඇවිදිමින්, බිම දැමූ ආහාර දිවෙන් අරගෙන කමින් ජීවත්වුණා. බුදුරජාණන් වහන්සේ සුනක්‌ඛන්ත හාමුදුරුවන්ට දේශනා කරනවා. ඔබ කොරක්‌ඛත්තිය නිරුවත් තවුසා තව සතියකින්, ආහාර අජීර්ණයකින් සෑදෙන අලසක රෝගයෙන් මියගොස්‌, නහින වූ දුක්‌ ති වූ කාලකඤ්ජ නම් නිරයේ උපදිනවාය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පරිදි කොරක්‌ඛත්තිය තවුසා, සත්වැනි දින, අලසක රෝගයෙන් මියගොස්‌ කාලකඤ්ජ නිරයට වැටෙනවා.

බුදුරජාණන් වහන්සේ සතර අපාය, නිරය ගැන පූර්ණ වශයෙන් දකිනවා. එය බුදුරජාණන් වහන්සේ සතු උතුම් බුදුගුණයක්‌. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක්‌ නිරයට වැටුණහම යම පල්ලෝ ඔහුට පංචවිධ බන්ධන නම් වූ දුක පමුණනවා. රත් කළ යහුලක්‌ දකුණතේ ගසනවා. රත් කළ යහුලක්‌ වම් අතේ ගහනවා. රත් කළ යහුලක්‌ වම් පාදයේ ගහනවා. රත් කළ යහුලක්‌ දකුණු පාදයේ ගහනවා. රත් කළ යහුලක්‌ පපුව මැදින් ගහනවා. එවිට එම නිරිසතා දුක්‌වූ, තීව්‍රර වූ, කටුක වූ දුක්‌ විඳිනවා. ඒ පාපකර්මය නොගෙවන තාක්‌කල් ඔහු කලුරිය නොකරනවා. යමපල්ලෝ ඔහුව සිටුවා කෙටේරියෙන් රහිනවා. ඒ පාප කර්මය නොගෙවෙන තාක්‌කල් ඔහු කලුරිය නොකරයි. යමපල්ලෝ ඔහුව උඩුකුරු කර සිටුවා කෙටේරියෙන් රහිනවා. යමපල්ලෝ ගිනිගෙන දිලෙන ගිනිදැල් සහිත බිමක මොහුව ඔබ මොබ ඇවිදුවනවා. යමපල්ලෝ ගිනිගෙන දැවෙන මහා අඟුරු පව්වකට මොහුව නංවනවා, බස්‌සනවා. මහණෙනි, යමපල්ලෝ මොහුගේ පාද උඩුකුරු කර ඔහුව ලෝකුඹු නිරයේ ඔබනවා. මොහු එහි පෙන නංවමින් පැහෙනවා. ඒ පව්කම් ගෙවෙන තාත්කල් ඔහු කලුරිය නොකරනවා. යමපල්ලෝ පසුව ඔහු ගෙන මහ නිරයට දමනවා. මහා නිරයේ සිව් දොරටු ඝන යකඩ පවුරකින් වට වී තිබෙනවා. එහි බිම, දිලෙන ගිනිදැල්ලෙන් යුක්‌තයි. හාත්පස යොදුන් සියයක්‌ පුරා ගිනිදැල් පැතිරී තිබෙනවා. බුදුරජාණන් වහන්සෙ නිරයේ සැබෑම තතු මේ ආකාරයට දේශනා කරන්නේ, නිරයේ තතු සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලාමයි. නිරයන්, සතර අපායන් පිළිබඳ නිවැරදි දැක්‌ම බුදුරජාණන් වහන්සේ සතු උතුම් බුදුගුණයක්‌ම වෙනවා.