බුදුරජාණන්වහන්සේ සහ සහශ්‍රී දසසහශ්‍රී ලෝක ධාතූන් තතු සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්තාක්‌ තථාගතයන් වහන්සේ කැමැති වන සේක්‌ ද සහශ්‍රී, දස සහශ්‍රී, මහා සහශ්‍රී ලෝක ධාතු තම ස්‌වරයෙන්, තම ඥානයෙන් දකින්න, හඬ පතුරුවන්න පුළුවන්ය කියලා. එපමණක්‌ නොව, ඉන් පිටත යම්තාක්‌ කැමැතිවන සේක්‌ද ඒ තාක්‌ තම ස්‌වරය ඇසෙන්නට සලස්‌වන්න, ඒ ලෝක ධාතූන් තතුසේ දකින්න බුදුරජාණන් වහන්සේට පුළුවන්ය කියලා. මේ දැක්‌මත් උතුම් බුදුගුණයක්‌මය. බුදුරජාණන් වහන්සේ සත්ත්වයාගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්ගේ වැඩීම, නොවැඩීම තතු සේ දන්නවා. ඒ ඒ පුද්ගලයන්ගේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන්ගේ වැඩීම, නොවැඩීම දකිමින් සුදුසු අනුශාසනා කිරීම බුදුරජාණන් වහන්සේට පමණක්‌ උරුම බුදු ගුණයක්‌ වෙනවා. යම් පිංවතෙක්‌, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පිළිපදී ද, ඔහු අපායේ නොවැටෙන, සෝවාන් පුද්ගලයෙක්‌ වන්නේය, යමෙක්‌ කාමරාග පටිඝ ධර්මයන් තුනී කොට, සකෘදාගාමී ඵලයට පත්වන්නේ ද, යමෙක්‌ කාමරාග, පටිඝ ධර්මයන් නිරෝධය කොට අනාගාමී ඵලයට පත්වී ශුද්ධාවාසයේ ඉපදී, එහිම පිරිනිවන් යන්නේ ද… ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය, බල ධර්මයන්ගේ දියුණු නොදියුණුභාවය දැකීමේ හැකියාවද උතුම් බුදුගුණයක්‌මය.

ඒ වගේමයි, බුදුරජාණන් වහන්සේ සත්ත්වයාගේ ධ්‍යාන විමෝCධි සමාධි සමාපත්තීන්ගේ කෙළෙසීම, පිරිසිදු බවද ඒවායින් නැවත නැඟී සිටීමද තතුසේ දන්නවා. බුදුරජාණන් වහන්සේ සෘද්ධි ධර්මයන් දෙකක්‌ දේශනා කරනවා. එකක්‌ තමයි ආර්ය යෑයි නොකියනු ලබන සෘද්ධිය. එය සදොස්‌ යෑයි ද, දෝෂාරෝපණ සහිත යෑයි ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආර්ය නොවන සෘද්ධිය වන්නේ, සමාධියෙන් සිත පරිපූර්ණ කල්හි ඔහු නොයෙක්‌ සෘද්ධි කොටස්‌ විද්‍යමාන කරනවා. එක්‌කෙනෙක්‌ව සිට බොහොදෙනෙක්‌ බවට පත්වෙනවා. බොහෝදෙනෙක්‌ව සිට එක්‌කෙනෙක්‌ බවට පත්වෙනවා. බිත්තියෙන් පිටතට, පර්වතයෙන් පිටතට, පවුරෙන් පිටතට අහසේ මෙන් නොගැටී ගමන් කරනවා. ජලයෙහිද, පොළොවෙහි මෙන් ගමන් කරනවා. මේ සෘද්ධි ප්‍රාතිහාර්යයන් ආර්ය නොවන ප්‍රාතිහාර්යයන් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

තමන් කැමැති දේ කෙරෙහි ඇතිවන සැප වේදනාවත්, තමන් අකැමැති දේ කෙරෙහි ඇතිවෙන දුක්‌ වේදනාවත් අනිත්‍ය වශයෙන් දකිමින් සැප, දුක්‌, වේදනාවන්ගේ මඳභාවය වන උපේක්‍ෂාවේද අනිත්‍යභාවය දකිමින් යමෙක්‌ ජීවත් වෙනවා. වේදනාවේ සමාධියේ ආශ්වාදයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වන්නේද, එය දොස්‌ නැති, දෝෂාරෝපණ නොමැති ආර්ය සෘද්ධිය යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආර්ය සෘද්ධිය වේවා, අනාර්ය සෘද්ධිය වේවා යම් බමුණෙක්‌, මහණෙක්‌ බුදුරජාණන් වහන්සේට වඩා දන්නවාය කියන කාරණය සිදු නොවන දෙයක්‌ කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ.

බුදුරජාණන් වහන්සේ පූර්වේනිවාසානුස්‌සති ඥානය තුළින් අතීත ජාති එකක්‌, සියයක්‌, දහසක්‌, දසදහසක්‌ ජාති සියක්‌ දහසක්‌, කල්ප ගණනාවක්‌ ඈතට සිත මෙහෙයවා, යමෙක්‌ අසුවල් තැන උපන්නේයි, අසවල් ගෝත්‍ර ඇත්තේයි පෙර විසූ කඳපිළිවෙල සිහිපත් කරනවා. ‘මහණෙනි, විපස්‌සි බුදුරජාණන් වහන්සේට බන්දුමත් නම් රජ පියා විය, බන්දුමතී නම් දේවිය මව වූවාය. ‘බන්ධුමතී නුවර’ බන්ධුමත් රජුට රාජධානිය විය. සි‚ බුදුරජාණන් වහන්සේගේ පියා ‘අරුණ’ නම් විය. ප්‍රභාවතී දේවිය මව වූවාය. අරුණාවතී නුවර, අරුණ රජුගේ රාජධානියයි. වෙස්‌සභූ බුදුරජාණන් වහන්සේගේ පියා සුපුනිත නම් විය. මව යශෝවතී වූවාය. අනෝමා නුවර සුපුනිත රජුගේ රාජධානියේ වූවා යෑයි බුදුරජාණන් වහන්සේ අතීතය ගැන සිංහනාද පවත්වන්නේ උතුම් පූර්වේ නිවාසානුස්‌සති ඥානය නිසාමය. රූපී වූ හෝ අරූපී වූ හෝ නේවසඤ්ඤා, නාසඤ්ඤා වූද සෑම සත්ත්වයකුගේම පූර්වේ නිවාසය බුදුරජාණන් වහන්සේගේ උතුම් පූර්වේ නිවාසානුස්‌සති ඥානය ප්‍රකාශ කරන්නේය. එයත් උතුම් බුදුගුණයක්‌මය.

බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානයෙන් සත්ත්වයා මැරී උපදින සුගති භූමි, දුගති භූමි නිවැරදිවම දන්නවා. යම් සත්ත්වයෙක්‌ ආශ්‍රවයන් සහිතව කලුරිය කරාද, යම් සත්ත්වයෙක්‌ ආශ්‍රවයන් දියකොට පිරිනිවන් පෑවාද කියන කාරණය බුදුරජාණන් වහන්සේ දන්නවා. සත්ත්වයා සිතින්, කයින්, වචනයෙන් යහපත්ව හැසිරීමෙන්, සිල්වත්ව ජීවත්ව ජීවතය ගෙවා මරණාසන්න මොහොතේ ඇතිවන යහපත් සිතිවිලි නිසා ඊළඟ උපත සුගතියේ උපදින්නේද, යමෙක්‌ සිතෙන් කයෙන් වචනයෙන් අකුසල් සිදුකොට, මිසදිටුභාවයන්ට පත්ව මරණාසන්න වූ විට උපදින්නා වූ පහත් වූද, නොමන වූද දුගතියේ උපතද, ශුද්ධවූ දිවැසින් එකෙණෙහිම එම සත්ත්වයාගේ නැවත උපත චුතූපපාත ඥානයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා. එයත් උතුම් බුදුගුණයක්‌මයි.