බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක්‌ වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස කෙරෙහි සත්ත්වයා ඇතිකර ගන්නා තෘෂ්ණාව, ඇසෙන් දකින රූපයන් කෙරෙහි සත්ත්වයා ඇතිකර ගන්නා තෘෂ්ණාව සත්ත්වයා පරක්‌ තෙරක්‌ නොපෙනෙන සැඩ දුක්‌ ගහන සංසාරයේ ඈත දුරක්‌ කරා ඇදී යනවා. පිංවත් ඔබ මියයන මොහොතේ ඔබේ මනසට ද්වේශ සිතක්‌ ඇතිවුවහොත් කල්ප ගණනාවක්‌ ඈතට දුක්‌ සාගරය ගලාගෙන යනවා. එක නරක සිතුවිල්ලක්‌ කල්පයක්‌ ඔබට දුක්‌ දෙනවා. එක්‌ අකුසල් සිතිවිල්ලක්‌ දුක්‌ කඳුළු සාගරයක ආරම්භයක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේ පමණයි, කෙනකුගේ ඇසක්‌ දැකලා, මේ ගොරහැඬි දුකේ මේ යථාර්ථය මතුකොට දකින්නේ.

බුදුරජාණන් වහන්සේට ඔබේ ඇස දුක්‌ සාගරයක්‌මයි. දෑස්‌ පියාගත් සැනින්, මුළු ලෝකයම නිශේධ කොට දකින බුදුරජාණන් වහන්සේගේ නිවුනු සිත, දුකෙන් නිදහස්‌ වුණ සිත ‘මම මිදුනා, මම නිදහස්‌ වුණා, මේ නිදහස්‌ වීමට මා මෙපමණ වීර්යය කළා. මා මෙපමණ පරිත්‍යාගයන් කළා. මෙපමණ මා කැපවීම් කළා. මෙපමණ මා මෙහෙවර කළා. මහා සාගරයේ ජලකඳ මම දකිද්දී, මේ උතුම් සම්මා සම්බෝධිය උදෙසා මා හෙළු රුධිරයයි මට පෙනෙන්නේ. මහ පොළොව දකිද්දී, මා පිදූ ශරීර මාංශයි මම දකින්නේ’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ‘මහණෙනි, මා උතුම් සම්මා සම්බෝධිය අවබෝධකොට ගැනීම සඳහා කළ කැපවීම් වලින්, විඳි දුකෙන්, කළ වීර්යයෙන් එක දශමයක්‌වත් ඔබට මේ ධර්මාවබෝධය උදෙසා වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. මම මාර්ගය සරල කොට, නිරවුල් කොට, පැහැදිලි කොට ඔබලාට දේශනා කොට තිබෙනවා’ ලෝක සත්ත්වයාට තමන් අවබෝධ කළ මේ ගැඹුරු දහම සරලව දේශනා කිරීම, දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ප්‍රජාවට බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් කළ උතුම්ම අනුශාසනාව වෙනවා.

වචනයෙන්, ප්‍රාතිහාර්යයෙන්, අන්‍ය සිත් දැකීමෙන් බුදුරජාණන් වහන්සේ කරන අනුශාසනාවන් ‘මම මේ කටුක දුකෙන් නිදහස්‌ වුණා. ඔබත් මේ කටුක දුකෙන් මිදෙන්න’ කියනා මහා කරුණාවෙන්මයි සිදුකරන්නේ. දහවලක්‌, රාත්‍රියක්‌, වෙහෙසක්‌, නින්දක්‌, විවේකයක්‌, කුසගින්නක්‌ නොදැනෙන බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ලෝකයා දුකෙන් මිදෙන අර්ථයක්‌මයි, ධර්මයක්‌මයි කියලා දෙන්නේ. ඒ බුqදුරජාණන් වහන්සේ සතු උතුම් ගුණයක්‌ වෙනවා. මේ උතුම් ගුණය ක්‍රියාත්මක වෙන්නේ ‘කාමයන්ගෙන් ජීවිතය පුරවාගත් සත්ත්වයා කෙලෙසක නම් මේ උතුම් ධර්මය අවබෝධකොට ගනීද? මගේ වීර්යයමයි, මගේ වෙහෙසමයි, මගේ මහා කරුණාවමයි ලෝකයාට ශක්‌තිය වෙන්නේ’ කියන අරමුණෙන්මයි බුදුරජාණන් වහන්සේ ලෝකයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ.

පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේට මලින්, පහනින්, සුවඳ දුමෙන්, ගිලන්පසින්, බුද්ධ පූජාවෙන්, ධජ පතාක ආදියෙන්, සැරසිලි වලින් ආමිසයෙන් පූජා කරනවා. අග්‍රම දෙය, ශ්‍රේෂ්ඨම දෙය, පිරිසිදුම දෙය, වටිනාම දෙය, සුවඳවත්ම දෙය, ලෝකයට අග්‍රම දෙය, ශේ්‍රෂ්ඨම දෙය බුදුරජාණන් වහන්සේටමයි සුදුසු වෙන්නේ. ඔබ කුසගින්නේ සිට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කළත් සැපයක්‌මයි. පිනක්‌මයි. භවයේ සැපය ආමිස පූජාව තුළ කැටිවෙලා තිබෙනවා. ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වීම, ප්‍රතිපත්ති පූජාව වෙනවා. පිංවත් ඔබ මේ මොහොත දක්‌වාම උතුම් සෝවාන් ඵලයට පත්වී නැති නම්, ඔබ තවමත් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේට ගරු නොකළ කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. ‘මහණෙනි, හිස ගිනිගත්තෙක්‌ එම ගිනි නිවන්න වෙහෙස ගන්නා සේ, උතුම් රහත් ඵලයට පත්වීමට වෙහෙස ගන්න’ බුදුරජාණන් වහන්සේගේ අවසාන වදන් පෙළ මහා කරුණා ගුණය කැටිවී භික්‍ෂුවගේ දෙසවන් තුළ මේ මොහොතේත් දෝංකාර දෙනවා.

හතළිස්‌පස්‌ වසරක මහා කරුණා ගුණයේ ආශ්චර්යෙන් තුන් ලෝකයටම සරණක්‌ වූ බුදුරජාණන් වහන්සේ. රන්කරුවකු වූ චුන්දකර්මාරගේ අවසාන පිණ්‌ඩපාත දානය වළඳා, ලෝහිත පක්‌ඛන්ධිකා රෝගය උත්සන්නව දැඩි ලෙස ගිලන් වෙද්දීත්, ආනන්ද ස්‌වාමීන් වහන්සේට ප්‍රකාශ කළේ ‘ආනන්ද, චුන්දකර්මාරට කියන්න, ඔහුගේ දානය වළඳා බුදුරජාණන් වහන්සේගේ රෝගී තත්ත්වය උත්සන්න වුවත්, ඒ ගැන කනස්‌සල්ලට පත්වෙන්න එපා, චුන්දකර්මාර පූජා කළ අවසාන පිණ්‌ඩපාත දානය, ජය ශ්‍රීමහා බෝධි මූලයේදී සුජාතා සිටු දියණිය පූජා කළ මුල්ම දානය තරමටම ආනිශංසයි කියලා’ එම ප්‍රකාශය තුළ ගැබ්වී ඇති බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය, කෘතවේදී ගුණය මොහොතක්‌ මෙනෙහි කරන්න. ‘මහණෙනි, හිස ගිනි ගත්තෙක්‌, එම ගිනි නිවන්න යම් වෙහෙසක්‌ද ගන්නේ, එවැනි වෙහෙසක්‌ ගෙන මේ භව ගින්දර නිවාගන්න’ කියන අවසාන අවවාදය බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබ කෙරෙහි දැක්‌වූ මහා කරුණා ගුණයේ සැබෑම රුවගුණ දකිමින් ඒ උතුම් ශාස්‌තෘන් වහන්සේගේ සරණ පිංවත් ඔබේ ජීවිතයේ සැබෑම සරණ කොට ගන්න.