අයාලේ දුවන ඔබේ සිත බුදු ගුණයක්‌ අභියස තැන්පත් කරන්න…

බුද්ධානුස්සතිය

විවේකීව සිටින සෑම මොහොතකම උතුම් බුදු ගුණයන්ගෙන්, එකදු ගුණයක්‌ හෝ සිහිකරන්න. අයාලේ යන සිත, උතුම් බුදුගුණයක්‌ අභියස තැන්පත්කොට ගන්න. මෙය සටහන් තබන භික්‍ෂුව, මේ මොහොතේ දෑස්‌ පියාගෙන භවයේ ඈත අතීතයන් නුවනින් මෙනෙහි කරනවා. පටිච්ඡසමුප්පන්නව සුගතිය, දුගතිය අතර දෝලනය වෙමින් පැමිණි භවගමනේ, සෑම උපතක්‌ම නුවනින් දකිමින් අනිත්‍යයි, අනිත්‍යයි වශයෙන් දකිමින්, වර්තමානයේ මේ ලැබූ භික්‍ෂු ජීවිතයත් අනිත්‍ය වශයෙන් දකිනවා. මීළඟට භික්‍ෂුව, අනිත්‍ය වශයෙන් දැක්‌වා වූ සිතත් අනිත්‍ය වශයෙන් දකිනවා. මේ උතුම් අනිත්‍යය දැකීමත් ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයක්‌මය.

පටිච්ඡසමුප්පන්න ක්‍රියාවලියට අදාළව, පිංවත් ඔබට මේ උතුම් බෞද්ධ ජීවිතය ලැබුණේ ද හේතු ඵල ධර්මයක්‌ නිසාමය. පෙර ජීවිතයේ මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලබලා, තෙරුවන් සරණ පිහිටලා, සිල්පද ආරක්‍ෂා කොටගෙන, දන්පැන් පූජා කරලා, මෛත්‍රිය වඩලා, බුදුරජාණන් වහන්සේ නිසාම ලැබූ ජීවිතයකුයි ඔබ ඔය ගතකරන්නේ. මේ සා දරුණු සතර අපායක්‌ අභිබවා, මිත්‍යාදෘෂ්ටික ලෝකයක්‌ අභිබවා, බුද්ධෝත්පාද කාලයක සම්මා දිට්‌ඨියට පත් මනුෂ්‍යයෙක්‌ බවට පත්වෙන්න ඔබට අවකාශ ලැබුණේ ද උතුම් බුදුගුණයක්‌ නිසාමය. ඔබ මේ ජීවිතයේදී ලැබූ ශ්‍රේෂ්ඨ උපත, අතීත කුසල් සංස්‌කාරයක්‌ ඵලයක්‌. අතීතයේ අකුසල් සංස්‌කාර බලවත් වූවානම්, පිංවත් ඔබ මවු කුසේදීම ගබ්සා වීමට ඉඩ තිබුණා. එසේ නම් පිංවත් ඔබේ ශ්‍රේෂ්ඨ උපතද බුදුගුණයක ඵලයක්‌මය. දෙමාපියන් අහිමි දරුවන් ජීවත් වන සමාජයක, පිංවත් ඔබට යහපත් දෙමාපියන් ලැබුණේ ද උතුම් බුදුගුණයක ඵලයක්‌ නිසාමය.

පිංවත් ඔබට ඔය ඇස්‌ දෙක ලැබුණේ පෙර කුසලයේ ශක්‌තිය නිසාය. ඔබගේ අකුසල් පක්‍ෂය බලවත් වූවා නම්, ඔබගේ ඇස්‌ දෙක ජාති අන්ධයෙක්‌ වීමට ඉඩ තිබුණි. ඔබට ඔය කන් දෙක ලැබුණේ ද පෙර කුසලයක ශක්‌තිය නිසාය. පෙර අකුසල් බලවත් වූවා නම්, ඔබ බිහිරි පුද්ගලයකු වීමට ඉඩ තිබුණි. එසේ නම් පිංවත් ඔබට ඔය සුන්දර ඇස්‌ දෙක, කන් දෙක ලැබුණේ ද උතුම් බුදුගුණයක ඵලයක්‌ හේතුවෙන්මය. අනෙකුත් නිරෝගී ආයතන ගැනත් ඉහත ආකාරයටම දකින්න. පිංවත් ඔබට ප්‍රසන්න සුරූපී කඩවසම් රූපයක්‌ ලැබුණා නම් එම රූපය ඔබට ලැබුණේ පෙර කුසල් සංස්‌කාරයක්‌ නිසාමය. ඔබට පෙර අකුසල් සංස්‌කාරයක්‌ විපාකයට පැමිණියා නම්, විරූපී, අවලස්‌සන රූපයක්‌ ඔබට හිමිවෙන්නට ඉඩ තිබිණි. එසේ නම්, පිංවත් ඔබට ඔය සුන්දර රූපය ලැබුණේ ද උතුම් බුදුගුණයක ඵලයක්‌ හේතුවෙන්මය. පිංවත් ඔබට කුළයෙන්, ධනයෙන්, බලයෙන් ශක්‌තිමත් රූපයක්‌ ලැබුණේ ඔබ අතීතයේ කළ කුසල් කර්මයන්ගේ බලවත්භාවය නිසාමය. ඔබට අතීතයේ අකුසල් වීපාකයක්‌ ලැබුණා නම් කුළයෙන්, ධනයෙන්, බලයෙන් පිරිහී ගිය පිංවතෙක්‌ව ඉපදීමට ඉඩ තිබිණි. එසේ නම් පිංවත් ඔබ ලැබූ මේ මහාශාඛ්‍ය ජීවිතයද උතුම් බුදුගුණයක්‌ ඵලයක්‌මය. පිංවත් ඔබට යහපත් විවාහයක්‌ සිදුවූවානම්, යහපත් දරුවන් ලැබුණා නම්, යහපත් ඥාති සම්බන්ධතාවයන් ලැබුණානම් මේ සෑම යහපත් දෙයක්‌ම අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌මය. අතීතයේ අකුසල් සංස්‌කාර බලවත් වූවා නම්, ඔබට ඉහත යහපත් සියල්ල අහිමිවීමට ඉඩ තිබිණි. පිවංත් ඔබ මේ මොහොතේ අත්දකින උතුම් පැවිදිභාවය, උතුම් උපාසක, උපාසිකාභාවයන් පෙර කුසල් සංස්‌කාරයන්ගේ ඵලයකි. අතීතයේ අකුසල් සංස්‌කාර බලවත් වූවා නම්, ඔබ තවමත් දුස්‌ශීලභාවයේය. එසේනම් ඔබට මේ සිල්වත් ජීවිතය ලැබුණේ ද උතුම් බුදුගුණයක ඵලයක්‌ නිසාමය.

පිංවත් ඔබ මේ ජීවිතයේදී ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කොට, සත්තිස්‌ බෝධි පාක්‍ෂික ධර්මයන් පූර්ණ කොට, උතුම් අධිගමයන් සාක්‍ෂාත්කොට ගන්නේද උතුම් බුදුගුණයක අර්ථය නිසාමය. උතුම් ධර්ම රත්නය, සංඝ රත්නය, සහ ශ්‍රී දසදහස්‌ ශ්‍රී ලෝකධාතු, භවාත්‍රය, සුගතිය, දුගතිය , සම්මා දිට්‌ඨිය, මිත්‍යාදෘෂ්ටිය…. මේ සියල්ලම පිළිබඳව සැකයෙන් තොරව තතුසේ ඔබත්, මමත් දැනගන්නේ බුදුරජාණන් වහන්සේ සතු සම්මා සම්බුද්ධ ඥානය නිසාමය. ඒ නිසා, ඉහත සියල්ලම බුදුගුණයෙහිම ප්‍රතිඵලයන්ය.

පිංවත් ඔබ බටහිර, අප්‍රිකානු, මැදපෙරදිග රටක නොඉපදී, මේ උතුම් පිංබිමේ උපත ලැබුවේද උතුම් බුදුගුණයක්‌ නිසාමය. ඉහතින් සඳහන් කළ සියලුම ධර්මතාවයන් බුදුගුණයන්ය කියලා භික්‍ෂුව සටහන් තැබුවේ, ඉහත සඳහන් සියලුම යහපත් සංස්‌කාර ඔබට ලැබුණේ කුසල් දහම් නිසාම බැවිනි. කුසල් ධර්මයන් ඔබතුළ වැඩුනේ සම්මා දිට්‌ඨියට අදාළ ධර්මතාවයන් පුහුණු කළ නිසාමය.