සම්මා දිට්‌ඨියට අදාළ ආර්යඅෂ්ඨාංගික මාර්ගය මේ ලොවට මතුකොට දුන්නේ බුදුරජාණන් වහන්සේමය. එම නිසා පිංවත් ඔබ මේ ජීවිතයේ ලැබූ යහපත් සියල්ලම උතුම් බුදුගුණයක්‌මය. භික්‍ෂුව මේ මොහොතේ දෑස්‌ දෙක පියාගෙන අතීතය, වර්තමානය, අනාගතය ආවර්ජනය කර බලද්දී ඒ සෑම දෙයක්‌ම උතුම් බුදුගුණයක්‌මය. උපත, ජීවිතය, භික්‍ෂුත්වය, අවබෝධයන් ආදී මේ සියල්ල තුළින්ම භික්‍ෂුqව දකින්නේ බුදුරජාණන් වහන්සේමය. උතුම් බුදුගුණයක්‌මය. ඒ බුදුරජාණන් වහන්සේ දකින සිතත්, බුදුගුණයක්‌ යෑයි දකින සිතත් අනිත්‍ය වශයෙන් දකින මොහොතේම බුද්ධානුස්‌සතිය විදර්ශනා නුවණින් දැක්‌කාද වෙනවා. ඒ දැක්‌මත් උතුම් බුදුගුණයක්‌මය. පිංවත් ඔබ මේ ජීවිතයේදී යහපත් දෙයක්‌ ලැබුවා නම්, එම යහපත් දෙයින් යහපත් ප්‍රතිඵලයක්‌ ලැබුවා නම්, ඒ යහපත් ප්‍රතිඵලයෙන් සැප වේදනාවක්‌ ලැබුවා නම් ඒ සෑම සැපවේදනාවකට පසු සකස්‌වෙන සිතෙන් බුදුරජාණන් වහන්සේව සිහියට නඟාගන්න. එම සතුටු සිතට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ කුසල්ධර්මයන්ගේ ශක්‌තියක්‌ බව දකින්න. පිංවත් ඔබ ලබන සතුට, සැප වේදනාවක්‌ නම් උතුම් බුදුගුණයක ඵලයක්‌ම බව නුවණින් දකින්න.

පිංවත් ඔබ ඉහත ආකාරයට, මේ උතුම් ජීවිතය බුදුගුණයක ඵලයක්‌ම බව දකින්න දක්‍ෂ නම්, විසිහතර පැය පුරාවට ඔබ උතුම් බුදුගුණයක්‌ වැඩුවා වෙනවා. රාත්‍රියට සුවසේ නින්දට යන විට පිංවත් ඔබ සිතන්න, ‘බියෙන්, චකිතයෙන්, කුසගින්නෙන් පීඩාවන්ගෙන් බන්ධනාගාරගතව, සිරගතව හිසට සෙවනක්‌ නැතිව දුකට පත්ව මේ රාත්‍රිය ගතකරන මනුෂ්‍යයින්, සත්වයින් අතර මම මේ සුවදායී නින්දක්‌ ලබන්නේ ද උතුම් බුදුගුණයක ඵලයක්‌ නිසාමය’ කියල. බුදුගුණයක ඵලයක්‌ම වූ ඔබේ සුවදායී නින්ද උදෙසා ඔබ දෑස්‌ පියාගන්නා මොහොතේ බුදුරජාණන් වහන්සේව සිහිපත් කර ගෙන නින්දට යන්න. එවිට ඔබේ සුවදායී නින්ද ද උතුම් බුදුගුණයක ඵලයක්‌ම වෙනවා. පිංවත් ඔබ කවදාහරි දවසක මේ ජීවිතයෙන් සමුගන්නා අවසාන නිමේශයේදී අවසාන චුති සිතට ‘මා ලැබු ජීවිතයත් උතුම් බුදුගුණයක්‌ය. මා නැවත ලබන සුගතියේ උපතද උතුම් බුදුගුණයක ප්‍රතිඵලයක්‌’ යෑයි දකින්න ඔබ දක්‍ෂ නම්, එය බුද්ධානුස්‌සතියේ උතුම්ම ලෞකික සැපය වෙනවා.

පිංවත් ඔබට දැන් තේරෙනවා ඇති, ඔබේ මුළු ජීවිතයම උතුම් බුදුගුණයක ඵලයක්‌ය කියල. ඔබේ මුළු පවුලම බුදුගුණයක ඵලයක්‌මය කියලා. පිsංවත් ඔබට උතුම් අම්මා, තාත්තා සොයල දුන්නෙත් උතුම් බුදුගුණයක්‌ විසින් නම්, ඔබේ සැබෑම අම්මා, තාත්තා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌මයි. පිංවත් ඔබව දුකට වැටීමට අකමැතිව ඒ සැබෑම මාතෘත්වය, පීතෘත්වය පිංවත් ඔබේ එකම සරණ කර ගන්න. එය උතුම් බුද්ධානුස්‌සතියේ සැබෑම අර්ථයයි.

පිංවත් ඔබට එරමිණියා ගොතාගෙන ද, පුටුවක වාඩිවී සිටිමින් ද, නිදි යහනේදී ද විවේකීව සිටින සෑම මොහොතකම ද බුද්ධානුස්‌සති භාවනාවේ අර්ථය ජීවිතයට එකතුකර ගත හැකිය. බුද්ධානුස්‌සති භාවනාව පුහුණුවීම දිනකට පැය භාගයක්‌ පැයකට සීමාකර ඉහත ආකාරයට සෑම සිතුවිල්ලකට පසුව බුදුරජාණන් වහන්සේ මනසින් දැකීමට ඔබ දක්‍ෂ නම්, බුදුගුණයක්‌ සිතීමට ඔබ දක්‍ෂ නම් දවස පුරාවට ඔබ බුද්ධානුස්‌සති භාවනාව පුහුණු කරා වෙනවා.

මහා පරිනිර්වාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, මේ ධර්මයෝ මා විසින් වෙසෙසින් නුවණින් දැන දෙසන ලදහ. ඔබලා විසින් මේ සසුන් බඹසර බොහෝ කල් පවත්නා පිණිස චිරස්‌තික වනු පිණිස මනාවට ඉගෙන සේවනය කළ යුතුයි. එය බොහෝ දෙනාට හිත සුව පිණිස, දෙවි මිනිසුන්ට අර්ථය පිණිස, සැප පිණිස හේතුවෙනවා. මගේ වයස මුහකුරා ගොස්‌ය. මගේ ජීවිත කාලය තව ස්‌වල්ප මොහොතකි. ඔබලා හැරයන්නේම. මා විසින් මා පිහිට කර ගන්නා ලද්දේය. මහණෙනි, නොපමා වව්. මොනවට පිහිටවූ සම්‍යක්‌ කල්පනා ඇත්තේ, තමන් සිත රැකගන්න’ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේට අවසාන වස්‌ත්‍ර පූජාව සිදුකරන්නේ කකුත්ථා නදිය සමීපයේදී පුක්‌කුෂ නම් මල්ල පුත්‍රයාය. තම මංගල කටයුතු සඳහා අඳින වටිනා රන්වන්වූ, මටසිළුටු වූ වස්‌ත්‍ර යුගල බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පුක්‌කුස මල්ල පුත්‍රයා නික්‌ම ගිය පසු ආනන්ද ස්‌වාමීන් වහන්සේ එම මටසිළුටු රන්වන් වස්‌ත්‍ර යුගල බුදුසමිඳුන්ගේ ශ්‍රී සිරුරට එලනවා. එවිට සම්බුදු සිරුර ඡවි වර්ණ, පිරිසිදු, ප්‍රභාෂ්වරව ආශ්චර්යමත්, පහවූ සිළු ඇති ගිනි අඟුරු රැසක්‌ සේ දිලිසෙන්නට පටන් ගන්නවා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තථාගත සිරුර අවස්‌ථා දෙකකදී ඡවි වර්ණව, ප්‍රභාෂ්වරව, දිදුලනවා කියල. එම අවස්‌ථා දෙක වන්නේ තථාගතයෝ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කරන්නේ ද යම් මොහොතක තථාගතයෝ අනුපාදිශේෂ නිර්වාන ධාතුවෙන් පිරිනිවෙන්ද, ඒ අවස්‌ථා දෙකේදීම තථාගත සිරුර ගිනි අඟුරු රැසක්‌සේ දිදුලනවා කියල.

ආනන්ද ස්‌වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ‘භාග්‍යවතුන් වහන්ස, තථාගත සිරුරට කෙසේ බුහුමන් දැක්‌විය යුතුද’ කියල. ‘ආනන්දයෙනි, සක්‌විති රජකෙනකුගේ සිරුරට යම්සේ පිළිපදිම් ද තථාගතයන්ගේ සිරුරටද එසේම පිළිපැදිය යුතුයි. එය කෙසේද යත්, මුලින්ම සිරුර අලුත් පිළියෙන් වෙලා දෙවනුව පිරිසිදු කපු පුළුන්වලින් වෙලවනවා. මේ ආකාරයට යුගල පන්සියයක්‌ සක්‌විති රජුගේ සිරුර වෙලා, රන්මුව දෙනක බහා, සෑම වර්ගයකම සුවඳ දැවයෙන් චිතකයක්‌ කර, ඒ සිරුර දවනවා. යම් පිංවතෙක්‌ එම චිතකයට මල් හෝ සුවඳ පුදන්නේද, ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරන්නේ ද, සිත පහදා ගන්නේ ද ඔවුන්ට මෙලොව පරලොව සුව පිණිසම හේතුවෙනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිරිනිවී යැමට පෙරාතුව අවසාන නිමේශයේදීත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා ‘මහණෙනි, එක්‌ මහණකුට නමුත් තෙරුවන් කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයක්‌ විචාරයක්‌ ඇති නම් විචාරන්න’ කියල. ස්‌වාමීන් වහන්සේලා නිහඬව සිටිය තැනදී බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ශාස්‌තෘන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ද ඔබලා නොවිචාරනු විය හැකිය. එසේ නම් යහළු මහණ කෙනෙක්‌ ලවා හෝ සැල කෙරේවා’ යෑයි පැවසූ සේක. සියල්ලක්‌ම නිහඬව සිටිය තැන භාග්‍යවතුන් වහන්සේ ස්‌වාමීන් වහන්සේලාට ඇමතුව සේක. ‘මහණෙනි, දැන් ඔබලා අමතමි. සංස්‌කාරයෝ නැසෙන සුළුය. එබැවින් පමා නොවී එළඹියාවූ සිහියෙන්, රහත් බව පිණිස කළ යුතු දෑ සපුරවු’ යෑයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් අවසන් වදන් පෙළින් අවවාද කළ සේක. මෙවන් බුදුගුණයක්‌ ඇසින් දකින්න මේ මොහොතේ ඔබ පිං කොට නැති මුත් මෙවන් උතුම් බුදුගුණයක්‌ කනින් අසන්න, සිතෙන් මෙනෙහි කරන්න පිංකර ඇත. එයත් පිංවත් ඔබ ලැබූ උතුම් බුදුගුණයක ඵලයක්‌මය.