පිංවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කොට යම් තීරණාත්මක අවස්‌ථාවක්‌ පැමිණෙනවා, තමා නිදහස්‌ වුණාය කියලා. පංචඋපාදානස්‌කන්ධය නමැති ලෝකයෙන් නිදහස්‌ වුණාය කියන සැහැල්ලුව දකිනවා. මේ චිත්තය තමා තුළින්මයි තමා දකින්නේ. මේ අවස්‌ථාව වන විට පිංවත් ඔබ පංච උපාදානස්‌කන්ධය කියන මාරයාත්, වසවර්ති දිව්‍ය මාරයාත්, මාර දූතියන් තිදෙනාත්, මාර සේනාවත් සමාධියේ අත්දැකීම් තුළින් අවබෝධයෙන්ම හඳුනාගෙනයි සිටින්නේ. එම නිසා තමා නිදහස්‌ වුණාය කියන සිතට ඔහු බැඳෙන්නේ නැහැ. ඔහු දකිනවා මෙයත් මාරයාගේ උපක්‍රමික සිතක්‌ද කියලා. මේ වන විට ඔහු ලෝකෝත්තර සම්මාසතිය, ලෝකෝත්තර සම්මා සමාධියෙන් පරිපූර්ණවයි සිටින්නේ. නිදහස්‌ වීමෙන් මෙපිට ඔහු දකින එකම ඉලක්‌කය මරණයයි.

ලෝකය අතහැරීම උදෙසා, ලෝකය කෙරෙහි බැඳී ඇති තෘෂ්ණාව අතහැරීමයි ක්‍රියාන්විතයේ ඉලක්‌කය. මේ වන විට මාර්ගය තමා තුළින්ම තමාව දක්‌වනවා. මෙම තත්ත්වය ධර්මරත්නයේ උතුම් ගුණයක්‌මයි. මාරයාගේ සටකපටකම් නිවැරදිව හඳුනන නිසාම, ස්‌වයං පරීක්‍ෂණ තමා තුළින් දිගින් දිගටම සිදුවනවා. ආශ්වාදයට වැට බැඳලා, අනිත්‍යයි කියන දැක්‌ම ආශ්වාදයට මග වසාදමලා තුන්ලෝකයම තමා තුළින් තමා නිරෝධය කරලා කල්ප ගණනක්‌ පුරාවට ඇවිළුණු මහා ගිනි ජාලාවක්‌ නිවීගියාට පසුව එහි ඇතිවෙන නිදහස, සැහැල්ලුව ඔහුට තමා තුළින්ම දැනෙනවා. එහෙත් ඔහු නැවත නැවතත් තමා තුළින් බලනවා ලෝභ, ද්වේෂ, කාමරාග පටිඝ, කාම, රූපී අරූපී භවාත්‍රය කෙරෙහි තෘෂ්ණාව තමා තුළින් නැවත නැවත ස්‌වයංව පරීක්‍ෂණය කර බලනවා. ඉදිකටු තුඩක තරම් හෝ පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාවක්‌ ඉතිරිව තිබෙනවාද කියලා. නැවත නැවත බලනවා. අවසානයේ තමා තුළින්ම තමා දකිනවා ආශ්වාදයෙන් ආදීනවයෙන් තොරවූ නිස්‌සරණයේ නිදහස තමන් ලැබුවාය කියලා. එය නිදහස්‌වීමක්‌ පමණයි. ඔල්වරසන් දෙන ජයග්‍රහණයක්‌ නෙමෙයි. ඔහු ජයත් පරාජයත් යන දෙකෙන්ම නිදහස්‌ වෙනවා. කාටවත් ඔහුව පරාජය කරන්න බැහැ. කාටවත් ඔහුව දිනවන්නත් බැහැ. ඔහු තම ජීවිතය පටිච්චසමුප්පාද ධර්මය තුළ විසුරුවා දකිනවා. නැවත නැවත විසුරුවා දකිනවා. තමා භවාත්‍රය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ බව තමා තුළින්ම තමා දකිනවා. එය ධර්ම මාර්ගයේ උතුම්ම ගුණයක්‌ වෙනවා.

පිංවත් ඔබ තෙරුවන් කෙරහි ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වුවහොත්, සම්මා දිට්‌ඨියට අදාළ ගුණයන් තමා තුළින්ම තමා දකිනවා. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණවූවොත්, ශීලයේ ආනිසංශයන් තමා තුළින්ම තමා දකිනවා. පිංවත් ඔබ දානයෙන් පරිපූර්ණ වුවහොත් දානයේ ආනිශංස වන ආයුෂ, වර්ණ, සැපය, බලය තමා තුළින්ම තමා දකිනවා. පිංවත් ඔබ කුසලය කෙරෙහි ශක්‌තිමත් වුණොත්, සුගතියට අදාළ ධර්මයන් තමා තුළින් තමා දකිනවා. පිංවත් ඔබ කුසල් ධර්මයන් වඩා මරණයට පත්වන මොහොතේ ඇතිවන චුතිසිතට කුසල් සංස්‌කාරයක්‌ සිහිපත් වුවහොත් පිංවත් ඔබ ඊළඟට ලබන සුගතිගාමී උපතේ රුව, ගුණ තමා තුළින්ම තමාම දකිමින් තමයි ඔබ මේ ජීවිතයෙන් සමුගන්නේ. මේ ආශ්චර්යමත්, තමා තුළින් තමාව දැකීම, ධර්මරත්නයේ උතුම් ගුණයක්‌ වෙනවා.

ඒ වගේමයි තමන් අකුසල් ධර්මයන් වඩා මරණයට පත්වන මොහොතේ අවසාන චුති සිතට අකුසල් සංස්‌කාරයක්‌ සිහිපත්වුවහොත් ඔබ ඊළඟට ලබන දුගතියේ උපත තමා තුළින්ම තමා දකිනවා. පිංවත් ඔබ සිතන්න, කෙනෙක්‌ මැරෙණ මොහොතේ ඔහු සතුටින් සාධුකාර දෙමින් මැරුණාය කියලා. ඒ ධර්මයේ උතුම් ගුණයක්‌. ඔබ සිතන්න කෙනෙක්‌ මැරෙන මොහොතේ බියට පත්වෙමින් කෑගසමින් වේදනාවෙන් පණ අදිමින් ද්වේෂයෙන් මැරුණාය කියලා. ඔහු තමා තුළින්ම දකිනවා තමන් ලබන දුගතියේ උපත. මෙය ධර්මරත්නයේ උතුම් ලක්‍ෂණයක්‌.

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටියේ වහළය මතින් සර්පයෙකුගේ ශරීරයෙන් ඉවත්වූ හැවක්‌ එල්ලෙනවා පේනවා. ඒ සර්පහැව දකිද්දී , යම් උත්තමයෙක්‌ චතුරාර්ය සත්‍යය අවබෝධකර ගනිද්දී උන්වහන්සේ ලෝකය, පංචඋපාදානස්‌කන්ධය සර්ප හැවක්‌ සේ අතහැරදානවා. හැව යනු ජීවිතයට බැඳී තිබූ තෘෂ්ණාවේ ලාටු අහවර වූ තැනයි. මේ අතහැරීම සිද්ධ වෙන්නේ ඒ උත්තමයා තමා තුළින්ම දකිනවා ලෝකය දැන් තමන්ට අයිති නැහැ කියලා. මෙයත් ධර්මරත්නයේ උතුම් ගුණයක්‌ වෙනවා.

පිංවත් ඔබ ධර්ම මාර්ගය තුළ ගමන් ගනිමින් ඔබ ධර්මය කෙරෙහි අවංකභාවයෙන් පරිපූර්ණ නම්, මේ උතුම් සද්ධර්මය කල් නොයවා විපාක දෙනවා. එයත් ධර්මරත්නයේ උතුම් ගුණයක්‌ වෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘පිංවත් ඔබ සතර සතිපට්‌ඨාන ධර්මයන් බහුලකොට වඩනවා නම් දින හතකින් චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගන්න කැමැති වෙන්න කියලා. දින හතකින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් සති හතකින් අවබෝධය ලබන්න කැමැති වෙන්නය කියලා. සති හතකින් ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත්, මාස හතකින් අවබෝධය ලබන්න කැමැතිවෙන්නටය කියලා. මාස හතකින් චතුරාර්යසත්‍යය අවබෝධ කරගැනීමට ඔබට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම අවුරුදු හතකින් ධර්මාවබෝධය ලබන්න ඔබ කැමැති වෙන්නය කියලා. මෙලෙස කල් නොයවා විපාකදීමද ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌ වෙනවා.

පිංවත් ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් පරිපූර්ණ වුවහොත් කල් නොයවා ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙනවා. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වුවහොත්, කල් නොයවා ශීලයෙන් පරිපූර්ණ වෙනවා. ඔබ ශීලයෙන් පරිපූර්ණ වුවහොත්, කල් නොයවා ඔබ සමාධියෙන් පරිපූර්ණ වෙනවා. ඔබ සමාධියෙන් පරිපූර්ණ වුවහොත්, කල්නොයවා ඔබ ප්‍රඥා විශුද්ධියෙන් පරිපූර්ණ වෙනවා. ප්‍රඥා විශුද්ධියෙන් ඔබ පරිපූර්ණ වූ තැන කල් නොයවා ඔබ ඥාන දර්ශනයන් තුළින් පරිපූර්ණ වෙනවා. එවිට කල් නොයවා පිංවත් ඔබ විමුක්‌තිය සාක්‍ෂාත් කරගන්නවා. මේ කල් නොයවා විපාකයන් සකස්‌ කොටදීම ධර්මරත්නයේ උතුම් ගුණයක්‌ වෙනවා.

බුදුරජාණන්වහන්සේ අංගුලිමාලට ‘මම නැවතුණා, ඔබ නවතින්න’ කියලා ගැඹුරු කමටහනක්‌ පුංචි වචන කීපයකින් දෙනවා. කල් නොයවාම අංගුලිමාල මහරහතන්වහන්සේ නමක්‌ වෙනවා. භාගියදාරුචීරියට බුදුරජාණන්වහන්සේ මහ මඟ පිඬුසිඟා වඩින අතරතුර ‘භාගිය, දැක්‌ක දේ දැක්‌කාය කියලා සිතන්න….’ ආදී වශයෙන් පද හතරක ගාථාවක්‌ කමටහනක්‌ වශයෙන් දෙනවා. කල් නොයවාම ගාථා පද හතර අවසානයේදී භාගිය මහරතන්වහන්සේ නමක්‌ බවට පත්වෙනවා.

මෙම කල් නොයවා විපාක දීම ධර්මරත්නයේ උතුම් ගුණයක්‌ම වෙනවා.

දේවදත්ත බුදුරජාණන්වහන්සේට අප්‍රමාණ පීඩාවක්‌ සිදුකිරීමට වෙර දරනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීම දේවදත්ත අවීචි මහා නිරයට පොළොව පලාගෙන ගොස්‌ උපත ලබනවා. උතුම් ධර්මරත්නය කල් නොයවා විපාක දෙනවා.

භික්‍ෂුවක්‌ සප්ත බොඡ්ඣංගයන් හරහා නිවන් මෙහෙයුමේ යෙදී සිටින එක්‌ තීරණාත්මක රාත්‍රියකදී, ධර්මරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් තමා තුළින් තීරණයක්‌ ගන්නවා තමන්ට දුන් අවසාන පිණ්‌ඩපාත දානයයි අද උදෑසන දුන්නේ, අදින් පසුව ජීවිතයේ මේ ශරීරයට නැවත පිණ්‌ඩපාතයක්‌ දෙන්නේ නැහැ කියලා. මේ අධිෂ්ඨානයට භික්‍ෂුවක්‌ එන්නේ අවබෝධය නොලැබීම ගැන ගැටීමෙන්වත්, අවබෝධය ලැබීමට ඇති ඇලීමත් නිසා නොවෙයි. ලැබීමත් නොලැබීමත් අතර දෝලනය වන උපේක්‍ෂාවෙන්ද නොවෙයි. ලෝකය අරමුණුකොට සකස්‌වෙන සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය දකිමින් සර්පයෙක්‌ හැව අතහරින්නාක්‌ සේ සෑම සිතිවිල්ලක්‌ම බැහැර කරනවා. තමා තුළින් තමා දකිනවා. තමා තුළින් සිදු වන යථාර්ථය ඒ සිතුවිල්ලෙන් අනිත්‍ය වූ සිතක්‌ වෙනවා. කල් නොයවා විපාක දෙනවා. ධර්මරත්නය කල් නොයවා විපාක දීමේ ගුණයේ විශ්වාසයෙන් මාර්ගය කෙරෙහි සැකය මරාදමලයි තිබෙන්නේ. තමා තුළින් තමා දකිමින් ධර්මය කල් නොයවා විපාක දීමේ විශ්වාසයෙන් සන්නද්ධ වෙමින් මරණය තුළිනුත් අවබෝධය විශ්වාසයෙන් භික්‍ෂුව ලෝකය බැහැර කරමින් ඉදිරියට යනවා.

ලෝකයේ ආධිපත්‍යය දරන වසවර්ති දිව්‍ය පුත්‍රයාගේ අසද්බලය, මාර දූතියන්ගේ උපක්‍රමශීලී මාරවේශයන් පයට පෑගෙන දුහුවිල්ලක්‌ තරමටවත් තැකීමක්‌ ඒ භික්‍ෂුවට නැහැ. මේ වන විට මාර බලවේග අඩපණකොට අවසන්. බියක්‌ හෝ නොබියක්‌ භික්‍ෂුවට නැහැ. සෑම සිතක්‌ම අනිත්‍ය වූ ධර්මයක්‌. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රීව්රභාවය නිසාම නිවීමේ මාර්ගය තුළ එක්‌ තීරණාත්මක රාත්‍රියකදී සද්ධර්මයේ උතුම් ගුණයන් තුළින් ගත් ‘එක්‌කෝ අවබෝධය, එක්‌කෝ මරණය ‘ යන තීරණය ඉක්‌බිති හෝරා කිහිපයකින්ම කල් නොයවා විපාකය පිණිස එනවා. එය ධර්මරත්නයේ උතුම්ම ගුණයක්‌ වෙනවා. මේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් උත්තමයා මේ ජීවිතයේදීම පිරිනිවී යනවා. එයත් කල් නොයවා විපාකදීමේ ධර්මයට අයත් ගුණයක්‌ වෙනවා.