ධර්ම රත්නයේ තවත් උතුම් ලක්‍ෂණයක්‌ තමයි ‘සිත්හි ලා දැරීමට සුදුසුයි’ කියන කාරණය. තමා තුළින් වැඩීමට සුදුසු යෑයි කියන කාරණය.

තමා තුළින් දැරීමට සුදුසු, නුසුදුසු දේවල් තිබෙනවා. මිථ්‍යා දෘෂ්ටිය තමා තුළින් දැරුවොත්, සැපයට හේතුවෙන සම්මා දිට්‌ඨිය අහිමි වෙනවා. දුශ්ශීලභාවය ඔබ දැරුවොත්, සැපයට හේතු වන සිල්වත්භාවය ඔබට අහිමි වෙනවා. ලෝභකම ඔබ දැරුවොත් සැපයට හේතුවන දානය ඔබට අහිමිවෙනවා. ද්වේෂය ඔබ දැරුවොත්, සැපයට හේතුවෙන මෛත්‍රිය ඔබට අහිමි වෙනවා. දුකට හේතුවන අකුසලය ඔබ වැඩුවොත්, සැපයට හේතුවන සුගතිය ඔබට අහිමි වෙනවා. දුකත් සැපත් දෙක තුළම ඔබව දෝලනය කරන ‘පින’ ඔබ විදර්ශනා නුවණින් නොවැඩුවොත්, මාර්ගඵල සැපය ඔබට අහිමි වෙනවා.

උතුම් බුදුගුණයක්‌ වඩන මොහොතේම, සුගතියට අදාළ සංස්‌කාරයන් රැස්‌වෙනවා. අතීතයේ රජ, සිටු, ඇමැතිකම් අතහැරලා, අඹුදරුවන් අතහැරලා, ශාසනයේ රැකවරණයට පිංවතුන්ලා පැමිණෙන්නේ, ශාසනයේ අර්ථය තමා තුළින් දැරීමට සුදුසු නිසාමයි. තමා තුළින් දැරීමෙන් යහපතක්‌ වන නිසාමයි, තමා තුළින් දුක නැතිවෙන නිසාමයි, බිම්බිසාර රජතුමාගේ බිසව රජසැප අතහැරලා භික්‍ෂුණී ශාසනයේ පැවිදි වෙන්නේ, ධර්මය තමා තුළින් දැරීමෙන් රජසැපට වඩා සැපයක්‌ ධර්මය තුළින් ලැබූ නිසාමයි.

සශ්‍රික දිව්‍ය තලයක පංචකල්‍යාණයෙන් ශෝභමාන වූ දිව්‍යාංගනාවන්ට ලොල්වෙලා එය අරමුණු කරමින් ධර්ම මාර්ගය වඩපු නන්ද ස්‌වාමීන්වහන්සේ, උතුම් ධර්මාවබෝධය ලැබීමෙන් පසුව ඒ සුරූපී දිව්‍යාංගනාවන් මට දැන් පෙනෙන්නේ දාගිය හේනක වැඳිරියක්‌ වගේ යෑයි සිංහ නාදයක්‌ කරන්නේ උච්ඡම සැපයටත් වඩා, ධර්මයේ සැපය උතුම් නිසාමය.

භාහියදාරුචීරිය බුදුරජාණන් වහන්සේට ‘භාග්‍යවතුන්වහන්ස මට එක බණ පදයක්‌ කියන්න’ යෑයි ඇවිටිලි කරන්නේත්, සන්තිස්‌ ඇමැතිවරයා දරාගත නොහැකි සිත්තැවුලකින් බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්නේත් සියල්ලටම වඩා උතුම් සද්ධර්මය සිත්හි දැරීමට සුදුසු නිසාමය.

පිංවත් ඔබ නිරතුරුවම, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම රත්නයම සිත්හි දරාගෙන විවේකයක්‌ තුළ පමණක්‌ නෙමෙයි බියක්‌, තැතිගැනීමක්‌, නොසන්සුන්භාවයක්‌ හටගත් අවස්‌ථාවක්‌ තුළත් ධර්මයක්‌ම සිහිපත් කරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න.

භික්‍ෂුවක්‌ කැලයේ හුදෙකලා කුටියක බිම පැදුර එලාගෙන මැදියම් රාත්‍රියේ නොනින්දේ සැතපී සිටින විට එක පාරටම බොහොම ශක්‌තිමත් අමනුෂ්‍යයෙක්‌ එම භික්‍ෂුව පොළොවට තදවන සේ හිර කරගෙන ඉඳලා තිබෙනවා. භික්‍ෂුව කෙළින් වෙන්න උත්සහ ගත්තත් කෙළින් වෙන්න බැහැ. තදබල ශක්‌තියකින් පොළොවට තදවෙලා. භික්‍ෂුව කරුණාවෙන් ‘ඉතිපිසෝ භගවා අරහං….’ ගාථාව සම්පූර්ණයෙන් මිමිණුවා. හරිගියේ නැහැ. දෙවැනි වරටත් ඉතිපිසෝ ගාථාව සම්පූර්ණයෙන්ම මිමිණුවා. බැඳීම ගැලවුණේ නැහැ. තෙවැනුව භික්‍ෂුව ‘සබ්බ පාපස්‌ස අකරණං – කුසලස්‌ස උපසම්පදා…’ කියන ගාථා පද දෙක කියනකොට එම ග්‍රහණය අතහැරුණා. උතුම් ධර්මයක්‌ සිත්හි දරාගැනීමෙන්, ධර්මයට අභියෝග කරන මාර බලවේග පවා දමනය වෙලා යනවා.

පිංවත් ඔබ සද්ධර්මය ශ්‍රවණය කරන්න. පුහුණු කරන්න. තමා තුළින්, නුවණින්, වචනයෙන්, සිත්හි දරාගැනීමෙන්, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන්, සද්ධර්මයේ උතුම් ගුණයන් ජීවිතයට එකතුකර ගන්න.

දුගතිය දකින විට, සුගතියට අදාළ ධර්මයන් ජීවිතයට එකතුකෙට ගන්න. සුගතිය දකිනවිට, සුගතියේ සැපයත් අනිත්‍යයි කියන ධර්මයත් සිතේ දරාගන්න. ධර්මය සිත්හි දරාගත් තැනැත්තා, ධර්මය විසින්ම ආරක්‍ෂා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ධර්ම රත්නයේ තිබෙන තවත් ශ්‍රේෂ්ඨ ගුණයක්‌ තමයි, තමන් අවංක නම්, ඕනෑම පිංවතෙක්‌ට වයස්‌ භේදයකින්, ජාති, ආගම්, කුල භේදයකින් තොරව, දුප්පත් -පොහොසත් භේදයකින් තොරව, මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන භේදයකින් තොරව, ධර්ම රත්නය කෙරෙහි අවංකභාවය, ධර්මරත්නයේ සැබෑම රැකවරණය ඔබට ලබාදෙනවා.

පිංවතෙක්‌ සිටිනවා, එම පිංවතා භික්‍ෂුවට කියනවා ‘මම කවදාකවත් බොරුවක්‌ කියන්නේ නැහැ’ ය කියලා. භික්‍ෂුව දන්නවා ඔහු ඒ කියන්නේ බොරුවක්‌ය කියලා. ඔහු ධර්මරත්නය කෙරෙහි අවංක නැහැ. තවත් පිංවතෙක්‌ ඉන්නවා. ඔහු කියනවා ‘ස්‌වාමීන්වහන්ස, මම දසදිශාවට මෛත්‍රිය පතුරවමින් ජීවත්වෙනවා’ කියලා. නමුත් ඔහු පොඩ්ඩ වැරදුණු තැන කේන්ති ගන්නවා. ධර්ම රත්නය කෙරෙහි අවංක නැහැ. පිංවතෙක්‌ සිටිනවා. ඔහු නිරතුරුවම අනිත්‍යය ගැන කතාකරනවා. සාකච්ඡා කරනවා. දේශනා කරනවා. නමුත් ලෝභකමින් ඔහු සම්පත් රැස්‌කරනවා. ධර්ම රත්නය කෙරෙහි අවංක නැහැ.

තමා තමාට අවංක වෙන්න ඕනේ. එවිටයි ඔබ උතුම් සද්ධර්මයට අවංක වුණා වෙන්නේ. මොකද තමා කියන්නේ ධර්මය. ධර්මයේ අර්ථයයි. ධර්මයත් සමග ගතකරන ඔබ, ධර්මය ජීවිතය කරගත් ඔබ, ඔබට අවංක නොවුණා කියන්නේ ධර්මයටද අවංක නොවුණා කියන කාරණයයි.