පිංවත් ඔබට යම් දවසක්‌ එනවා චතුරාය්‍ය සත්‍ය ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවෙන. එදාට ඔබ චතුරාය්‍ය සත්‍ය ධර්මයත්, ජීවිතයත් එකක්‌ කොට දකිනවා. යම් දවසක්‌ ඔබට එනවා, පටිච්ඡසමුප්පාද ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවන. එදාට ඔබ දකිනවා, පටිච්ඡසමුප්පාද ධර්මයත්, ඔබට දෙකක්‌ නොව, එකක්‌ය කියන කාරණය. ඔබට යම් දවසක්‌ එනවා සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිද්ධවෙන. එදාට ඔබ සතර සතිපට්‌ඨාන ධර්මයත් ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයත් එකක්‌ කොට දකිනවා. යම් දවසක්‌ එනවා සප්ත බොඡ්ජඣංග ධර්මයන් තුළ ඔබේ ජීවිතයත් විසුරුවා දකින…. එදාට ඔබ සප්ත බොඡ්ජඣංග ධර්මයත් ඔබේ ජීවිතයත් එකක්‌ කොට දකිනවා. මේ ධර්මයන් ජීවිතයේම කොටසක්‌. ජීවිතයේ බද්ධයක්‌. ජීවිතයේ මුහුවක්‌. මෙය ඔබ දකින්නේ පංචඋපාදානස්‌කන්ධය තුළ ජීවිතය විසුරුවාහරින මොහොතේයි. එය ඔබව ධර්මාවබෝධය කරා ඔසවා තබනවා. ඔබ දකිනවා තමා තුළින්ම, මේ සෑම ධර්මතාවයක්‌ම තමා තුළින් වැඩුනේ රූපය ඇසුරින් සකස්‌ වුණ පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියටයි කියලා.

රූපය අනිත්‍යයි කියලා අවබෝධකරන තැනදී නාම ධර්මය ඉබේම නිරෝධය වී යනවා. මේ සියල්ල සිද්ධ වෙන්න නම් තමා තමාට අවංක වෙන්න ඕනා. බෝධිසත්වයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී තමා තමාට අවංකව තීරණය ගන්නවා ‘මගේ ලේ, මස්‌, සම්, ඇට, නහර වියෑලේවා… උතුම් සම්මා සම්බෝධිය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ’ ය කියලා. ඒ අවංකභාවය නිසාම බෝධි සත්වයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධකර ගන්නවා.

භික්‍ෂුවක්‌ උතුම් ධර්ම මාර්ගයේදී හේතුඵල ධර්මයන්ට අනුව යම් තීරණාත්මක විසඳුමක්‌ ගන්නේ තමා තමාට අවංකවමය. ‘අදින් පසුව මම ජීවිතයට පිණ්‌ඩපාතය දෙන්නේ නෑ. එක්‌කෝ මැරේවී. නැති නම් අවබෝධය ලබනවා’ කියන තීන්දුව ගන්නේ අවංකවම ඔහු මරණය ද, අවබෝධය ද දෙකම දකිමිනුයි. ධර්ම රත්නයේ ගුණයන් කෙරෙහි විශ්වාසය පමණයි ඔහුට ඉතිරිවී තිබෙන්නේ. රූපයත්, වේදනාවත්, සංඥාවත්, සංස්‌කාරත්, විඥානයත් තුළ සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින තැන, මේ ධර්මතාවයෙන් හුදු අනිත්‍යභාවයට පත්වන හේතුඵල ධර්මයන් හැටියට අවබෝධ කරන තැන පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ඔහු අවබෝධයෙන් අතහරිනවා. ඒ මොහොතේ මොහුගේ ලෝකය නැමති, පංචඋපාදානස්‌කන්ධය නමැති හැව ගැලවී යනවා. එවිට ඔහු ලෝකයට තැවරී නැති ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයෙක්‌ වෙනවා. තමා තුළින්ම ධර්ම මාර්ගය කෙරෙහි ඇතිකොටගත් අවංකභාවය ධර්මයේ උච්ඡතම ඵලය ඔහුට ලබාදෙනවා. අවිද්‍යාව හේතුවෙන්ම සකස්‌ වුණ සලායතන සහ ඵස්‌සය කියන ධර්මතාවයත් තෘෂ්ණාවත් සමඟ සුසංයෝජනයෙන් සත්ත්වයාට ‘මම, මගේ, අපි, අපේ, ඔබ මගේ, මම ඔබේ ආදී වශයෙන් හේතුඵල ධර්මයන් උපදින රූකඩ චරිතයක්‌ නිර්මාණයකොට ලෝකය හමුවේ කරන නාඩගම ඔබ විනිවිද දැක විනාශකොට දැමුවා වෙනවා.

තෘෂ්ණාව නමැති එකම ධර්මය පරාජයකොට දැමීමෙන් ඔහු ලෝකය නමැති දුක මුලිනුපුටා දමනවා. තමා කෙරෙහි, ධර්මය කෙරෙහි, තමන් ගන්නා තීරණය, තීන්දුව කෙරෙහි ඇති අවංකභාවය ධර්ම මාර්ගයේ ජයග්‍රහණයක්‌ ලබාගැනීමට ඇති මූලිකම සුදුසුකම වෙනවා. ඔබ තුළ අවංකභාවය තවමත් නැති නම් ඊට ද එකම තේරුම තෘෂ්ණාව වෙනවා. තෘෂ්ණාව නමැති ඉන්ධන අහවර කරන තැන ජීවිතය ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් හේතුවෙන් හටගන්නා ඵස්‌සය තුළ දෝලනය වෙමින් අතීත සංස්‌කාරයන්ගේ ඕනෑ එපාකම් අනුව පිරිනිවීයන තෙක්‌ ජීවත් වෙනවා. අවංකභාවයේ සැබෑම ඵලය, අවසානයේ ඔහුගේ රූපය මහපොළොවේ සතර මහා ධාතුවට එකතුවෙනවා. තෘෂ්ණාවේ ඉන්ධන නැති නිසාම, රූපය තුළින්ම විඤාණයද නිවී යනවා. හිස්‌ දෙයක්‌, නැති දෙයක්‌, නිවිච්ච දෙයක්‌, කාත් කවුරුත් නැති දෙයක්‌, චතුරාය්‍ය සත්‍යය නොදන්නා නිසාම, බුදුරජාණන් වහන්සේට අවංක නොවීම නිසාම, තමන් ධර්ම මාර්ගයේ අවංකවම ගමන් නොකිරීම නිසාම, තෘෂ්ණාව හඳුනානොගත් නිසාම, දුක නමැති ලෝකය මගේ කරගත් අවාසනාවෙන් ඔහු මිදී යනවා. නිවී යනවා. උතුම් ධර්ම රත්නයේ පූජනීය, වන්දනීය අග්‍රම ඵලය ඔහු ලැබුවා වෙනවා.

අනිත්‍ය වන ඇස පිංවත් ඔබ තවමත් නිත්‍ය වශයෙන් ගන්නවා. අනිත්‍ය වන කන, නාසය, දිව, ශරීරය, මනස තවමත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නවා. ධර්මයට ඔබ තවමත් අවංක නැහැ. ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය තවමත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නවා. අනිත්‍යවන පංචඋපාදනස්‌කන්ධය තවමත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නවා. තවමත් ඔබ ධර්ම රත්නයට අවංක නැහැ. උදේම සමාදන්වන සිල්පදය සවසට බිඳිනවා. තවමත් ඔබ සද්ධර්මයට අවංක නැහැ. සක්‌කායදිට්‌ඨි, විචිකිච්ඡා, අන්‍යශීලවෘත ජීවිතය තුළ හොල්මන් කරනවා. තවමත් ඔබ ධර්ම රත්නයට අවංක නැහැ. සුගතිය තිබියදී තවමත් ඔබ දුගතියට අවශ්‍ය සංස්‌කාර රැස්‌කරනවා. තවමත් ඔබ ධර්මරත්නයට අවංක නැහැ. තමා තමාට අවංක වෙන්න ඕනේ. මෙතැනදී ‘තමා’ කියන්නේ අනිත්‍ය වූ ධර්මයක්‌. අනිත්‍ය වූ ධර්මයක්‌ තුළ සිටිමින් එහි අනිත්‍යය දකින්න ඕනේ. අනිත්‍යභාවය තුළ සිටිමින් අනිත්‍යය දැකීමේදී නිත්‍යභාවයට අදාළ හේතු සකස්‌ කරන ධර්මතාවයන්ගේ නිරෝධය සිදුවෙනවා.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ දස පාරමී ධර්මයන් පරිපූර්ණකොට, බුදුරජාණන් වහන්සේ නමක්‌ මතුකොට ගන්නා වූ උතුම් ධර්ම රත්නය, යම් ගිහි පැවිදි පිංවතෙක්‌ තමන්ගේ යෑයි සොරකම්කොට දේශනා කරන්නේ නම්, උතුම් ධර්මරත්නය විකෘති කොට දේශනා කරන්නේ නම් එම පුද්ගලයා දැඩි රැහැනින් බැඳ, වධක බෙර හඬවා, නුවර වටා ගෙනගොස්‌ හිස ගසා දැමීම යම් සේ දුකක්‌ද, ඊටත් වඩා අතිශය දුකක්‌ විඳීමට කැමති විය යුතු යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.