මිච්ඡා ශ්‍රාවකත්වයෙන් මිදීමේ භාග්‍යය අත්දකින්න

සංඝානුස්සතිය – 1

දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්‌ පසුකොට බුද්ධරත්නය, ධම්මරත්නය, ලොව පහළවීමෙන් අනතුරුවයි, උතුම් සංඝරත්නය පහළවීම සිද්ධ වන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අතීත පාරමී පුරාගෙන පැමිණි, ප්‍රථම ආර්ය ශ්‍රාවකයා වන්නේ කොණ්‌ඩඤ්ඤ මහරහතන් වහන්සේයි. ප්‍රථම ආර්ය ශ්‍රාවකයා, මුලින්ම උතුම් ධර්මයේ ඇස, සෝවාන් ඵලය අවබෝධ කොටගත් මොහොතේ, සමස්‌ත දිව්‍ය, බ්‍රහ්ම තලවල දෙව්බඹුන්, සද්ධර්මයේ ඇස පහළ වුණාය කියලා සාධුකාර දුන්නා.

සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ආරක්‍ෂා කරන, සංඝරත්නය කියන අර්ථය ලෝකයට බිහිවීමේදී සමස්‌ත දිව්‍ය බ්‍රහ්ම තලවල සාධුකාර හඬ නැඟෙන්නේ සංඝරත්නයේ ඇති ආශ්චර්යවත් භාවය නිසාමය. ආර්ය මහා සංඝරත්නය ලෝකයේ පහළවීමට පෙරාතුව මිච්ඡා පැවිදි පක්‍ෂයන්ට තමයි, ලෝකය ගරු බුහුමන් දැක්‌වූයේ. පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ පියාගෙන අබුද්ධෝත්පාද කාලයක පහළවෙන මිච්ඡා ශ්‍රාවකයන්ගේ විමුක්‌ති මාර්ගය නුවණින් සිහිකරන්න. නිර්වස්‌ත්‍ර නිගණ්‌ඨයන්, ආජීවකයන්, ශීතල ජලයේ උදේ සවස ගිලෙමින්, පව් සෝදාහරින දර්ශනයන්, තද අව්වේ තපිමින් අතීත දුක්‌ ගෙවාදමන මිච්ඡා ශ්‍රාවකයන්, බලු ව්‍රත – ගෝ ව්‍රත රකිමින් අසූචි, තණකොළ කමින්, බිමට දැමූ ආහාර දිවෙන් ගෙන අනුභව කරමින් විමුක්‌තිය සෙවූ මිච්ඡා ශ්‍රාවකයන්, සත්ත්ව යාග, ගිනි යාග කරමින් තිරශ්චීන වන්දනාවන් කරමින් මිච්ඡා ආජීවයෙන් අකුසල් මූලයන්ම විමුක්‌තියේ නාමයෙන් රැස්‌කොටගත් මිච්ඡා පැවිදි ජීවිත නුවණින් දකින්න. එම මිච්ඡා ශ්‍රාවකයන් ලෝකයාට දුන් මෝහමූලික ආදර්ශයන්, ලෝකයට දුන් මෝහ මූලික ධර්මයන් නුවණින් දකින්න. එම මෝහ මූලික ධර්මයන් නිසාම ඔබත්, මමත් සංසාරයේ කොතෙක්‌ නම් සතර අපායන්ට වැටී දුක්‌ විඳිනවා ඇතිද?

වරක්‌ බුදුරජාණන් වහන්සේ හමුවට බලු ව්‍රත රකින, ගෝ වෘත රකින ආජීවකයන් දෙදෙනෙක්‌ පැමිණෙනවා. බලු ව්‍රත රකින ආජීවකයා දෙවැලමිට දෙදණිස්‌ බිම තබාගෙන සුනඛයෙක්‌ හැටියටයි ජීවත්වුණේ. බිමට දමන ආහාර දිවෙන් අහුලාගෙන අනුභව කළේ, මුත්‍රා කළේ සුනඛයෙක්‌ වගෙයි. ගෝ – ව්‍රත රකින ආජීවකයා තණකොළ බුදිමිනුයි ජීවත්වුණේ. මේ මිච්ඡා ආජීවකයන් දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ‘භාග්‍යවතුන්වහන්ස, අපි දෙදෙනා මරණින් පසු කිනම් උපතකට පත්වේද?’ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලු ව්‍රත රකින ආජීවකයා, ඊළඟ ජීවිතයේ සුනඛයෙක්‌ ලෙසත්, ගෝ – ව්‍රත රකින ආජීවකයා ඊළඟ ආත්මයේදී හරකෙක්‌ ලෙසත් උපදිනවාය කියලා. අබුද්ධෝත්පාද කාලවල මෙවැනි මිච්ඡා ශ්‍රාවකයන් තමනුත් මුළාවට පත්වී, අනුන්වත් මුළාවට පත්කරනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ රැකවරණයට පයින් ගැසූ දෙදෙනා කෝකාලික, සුනක්‌ඛත්ත වැනි මිච්ඡාශ්‍රාවකයන් නිසා විනාශයට පත්වූ කොපමණ පිරිසක්‌ සිටින්නට ඇතිද?

දේවදත්තගේ මිච්ඡා ශ්‍රාවක ඇසුර තිබීමෙන් අජාසත්ත රජතුමා අවීචි මහා නිරයටයි වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේව පසු කාලයේදී සරණ ගියත්, මිච්ඡා ශ්‍රාවකත්වයෙන් කළ අපරාධය වළක්‌වාගන්න පුළුවන්කමක්‌ අජාසත්ත රජතුමාට ලැබුණේ නැහැ. මිච්ඡා ශ්‍රාවකයන්ගේ එක මෝහ මූලික අදහසක, අනුශාසනාවක මෙතරම් කටුක දුකක්‌ සැඟවී තිබෙනවා. අජාසත්ත රජතුමා දේවදත්ත හාමුදුරුවන්ගේ ආරාමයට දිනකට බත් මුට්‌ටි 500 ක්‌ දානය හැටියට පිරිනමනවා. මේ කාරණය අරබයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, අඥාන පුද්ගලයා සිවුපසය වැඩිවෙනකොට තව තවත් පිරිහීම දෙසටම යනවා’ ය කියලා. වරක්‌ දානමය පිංකමක්‌ අවසානයේදී බොහොම වටිනා සිවුරක්‌ පූජා කළ යුත්තේ සාරිපුත්ත රහතන්වහන්සේට ද දේවදත්ත හාමුදුරුවන්ට ද කියලා ගමේ පිංවතුන් අතර ප්‍රශ්නයක්‌ ඇතිවෙනවා. කණ්‌ඩායමේ බහුතරයක්‌ම ප්‍රකාශ කළේ දේවදත්ත හාමුදුරුවෝ තමයි අපේ මරණයට, මඟුලට වඩින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අකලට වැටෙන වැස්‌සක්‌ වගේ කාලයකට පසුවයි අපේ ගමට වඩින්නේ එම නිසා දේවදත්තටයි, මේ වටිනා සිවුර පූජා කළ යුත්තේ කියලා බහුතරයකගේ තීරණය අනුව වටිනා චීවරය දේවදත්ත හිමිට පූජා කරනවා. පසුව දේවදත්ත හිමි මේ විටිනා චීවරය පොරවාගෙන තව තවත් මාන්නයම ඇතිකොට ගත්තා. මිච්ඡා ශ්‍රාවකයන් තමනුත් විනාශයට පත්වෙලා අනුන්ටත් වැරදි ආදර්ශ ඔස්‌සේ, වැරදි අනුශාසනා ඔස්‌සේ අකුසලයට, මිථ්‍යා දෘෂ්ටියට අදාළ පූර්වාදර්ශයන්ම ලබාදෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් දවසක සද්ධර්මය වේශයෙන් අධර්මය පහළවුණොත් එදාට සද්ධර්මය අතුරුදන් වෙනවාය කියලා. රත්රතන් වේශයෙන් රත්තරන් නොවන දෙයක්‌ පහළවුණොත් එදාට රත්තරන් අතුරුදන් වෙනවා වගේ කියලා. ‘මහණෙනි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදන් කරන්නේ නැහැ. ඒ හිස්‌ පුද්ගලයා, මිච්ඡා ශ්‍රාවකයා ඇතිවන්නේ මේ ශාසනය තුළමයි ‘ කියලා. නැවක්‌ බඩු වැඩිවීමෙන් ගිලීයන්නා සේ, සද්ධර්මය අතුරුදන්ව යන්නේ නැහැ. සද්ධර්මයට අතුරුදන් වන්නේ තෙරුවන් කෙරෙහි අශ්‍රද්ධාව, ශීලයට ගරු නොකිරීම, සමාධියට ගරු නොකිරීම නිසා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.