රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක්‌ නිසාද කියලා. එවිට රට්‌ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්‌වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්‌වභාවය, රෝගී වන ස්‌වභාවය, මරණයට පත්වන ස්‌වභාවය කාටවත්ම වළක්‌වන්න බැහැ. ඥාතීන්, හිතවතුන්, රටවැසියන් ඔබතුමා වටකරගෙන ‘අනේ රජතුමනි, වයසට යන්න එපා. ලෙඩවෙන්න එපා. මැරෙන්න එපා’ කීවාට මේවා නතර වෙන්නේ නැහැ. මෙම යෞවන ජීවිතයටත් උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකම බව දැකලයි මම පැවිදි වූයේ’ කියලා. ‘දෙවැනි හේතුව අපි කොච්චර දේවල් මගේ කරගෙන, අයිතිකොටගෙනද ජීවත් වෙන්නේ. මුලින්ම අම්මාගේ ගර්භාෂ කුටිය මගේ කොටගන්නවා. අම්මාගේ උණුසුම, කිරි සුවඳ මගේ කොටගන්නවා. ශිල්ප ශාස්‌ත්‍ර, බිරිඳ, දරුවන්, ඥාතීන්, සම්පත්, දේපළ, තනතුරු…. මේ හැම දෙයක්‌ම මගේ කොටගෙන ජීවත් වෙනවා. නමුත් රජතුමනි, මේ මගේ කොටගෙන පෝෂණය කරන මේ හැමදෙයක්‌ම, අපි මැරෙන දවසට මේ ලෝකයේ තියලයි මියපරලොව යන්නේ. මගේ කොට තිබූ මේ ලෝකයේ කිසිම ධනයක්‌, සම්පතක්‌, මට අයිති නැති බව දැකලයි රජතුමනි, මම පැවිදි වුණේ’ කියලා.

‘තුන්වැනි හේතුව තමයි, සත්ත්වයාට කොපමණ ලැබුණත් සෑහීමක්‌ නැහැ. තෘප්තියක්‌ නැහැ. නොසෑහීම තුළමයි ජීවත් වෙන්නේ. අතෘප්තියෙන්මයි ජීවත් වෙන්නේ. රට දිනන පුද්ගලයා ලෝකය කෙරෙහි බලය පතුරුවන්න හදනවා. ලෝකය දිනන කෙනා, අභ්‍යවකාශය තුළ තම බලය පතුරුවන්න හදනවා. මනුෂ්‍යයා තුළ තිබෙන මේ නොසෑහීම අතෘප්තිමත්භාවය දැකලාමයි රජතුමනි, මම පැවිදි වූයේ’ කියලා.

‘හතරවැනි හේතුව තමයි, සත්ත්වයා තෘෂ්ණාවට ඇති දාසභාවය නිසාම පුන පුනා භවයට යනවා. ගර්භාෂ කුටිවලට ඕපපාතික සත්ත්ව උපතකට, බිත්තරයක්‌ තුළ උපතකට නිමාවක්‌ නැහැ. අවසානයක්‌ නැහැ. මෙන්න මේ සත්ත්වයාගේ තණ්‌හාවට ඇති දාසභාවය නිසාම භවයෙන් භවයට යන දුක දැකලයි රජතුමනි, මම පැවිදි වුණේ’ කියලා.

පිංවත් රට්‌ඨපාල කුමරුන් කෝටි ගණනක්‌ වස්‌තුව අතහැරලා, උතුම් පැවිදි ජීවිතයට පත්වෙන්නේ ඉහත බිය නුවණින් දැකලයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, යමෙක්‌ ඔබට කියනවා දිනකට ඔබේ පපුවට තියුණු උලකින් තුන්සිය වතාවක්‌ අනිනවා, දිනකට තුන්සිය වතාව බැගින් අවුරුදු 300 ක්‌ එක දිගටම නොකඩවාම ඔබට මේ දඬුවම දෙනවා. අවුරුදු 300 ක්‌ ගෙවුණු දවසේ මම ඔබට සෝවාන් ඵලය ලබාදෙනවා’ ය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත, ඔබ එම තියුණු දුක අවුරුදු 300 ක්‌ විඳලා සෝවාන් ඵලය ලබාගන්නය කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවකුයි මේ දේශනා කරන්නේ. ඉහත ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ මතුකොට පෙන්වන ගැඹුරු සංසාර දුක, යම් ගිහි පිංවතෙක්‌ නුවණින් මෙනෙහි කරයි නම්, ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 300 ක්‌ එක දිනකට යවුල් පහර 300ක්‌ විඳ දරාගෙන සෝවාන් ඵලය ලබාගන්න කියලා. අනිත්‍ය භව ගමනේ ඔබත් මමත් නිරයන්ට වැටිලා අවුරුදු ලක්‍ෂ ගණන් ගින්දර, ලෝදිය, අත් පා සිඳ දැමීම්, තියුණු තුඩ ඇති පණුවන්ගේ ආහාරයට පත්වීම් ආදියෙන් වින්දා වූ දුකත්, අනාගතයේ විඳීමට ඇති කල්ප ගණන් වූ නිරයේ දුකත්, සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලාමයි, බුදුරජාණන් වහන්සේ උල් පහර තුන්සියයේ ඉහත සඳහන් කළ සරල දුක අවුරුදු 300 ක්‌ විඳලා ඔබට සෝවාන් ඵලය ලබාගත්තත් කමක්‌ නැහැ කියලා දේශනා කරන්නේ.

කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සද්ධර්මය ශ්‍රවණය කරලා, ධර්මයට අදාළව නුවණින් ලෝක ධර්මයන් මෙනෙහි කරලා, යම් පිංවතෙක්‌ සංසාර බිය නුවණින් දකිනවා. ජීවත්ව සිටින මනුෂ්‍යයෝ මැරිලා යනවා. නීරෝගී මනුෂ්‍යයෝ රෝගී වෙනවා. තබන බලාපොරොත්තු සුන් වෙලා යනවා. හොඳට වඩා නරක වැඩියි. සත්පුරුෂභාවයට වඩා අසත්පුරුෂභාවය වැඩියි. ධර්මය තුළින් ජීවිතයට කලකිරීම එකතුකොටගත් පිංවතා ගිහි ජීවිතයෙන් මිදී පැවිදි වීමට තීරණය කරනවා. පැවිදි වීමට තීරණය කරන පිංවතා පැවිදි භාවය ලැබීමට සුදුසු පැවිදි ගුරුවරයෙක්‌ සොයාගතයුතු වෙනවා. බුදුරජාණන්වහන්සේ විනය කාරණයක්‌ පනවලා තිබෙනවා, වස්‌ දහයකට අඩු කිසිම ස්‌වාමීන්වහන්සේ නමකට ශිෂ්‍යයෙක්‌ පැවිදි කිරීම ඇවතක්‌ය කියලා. පිංවත් ඔබ පැවිදි කිරීමට සුදුසුකම් ලබන නායක ස්‌වාමීන්වහන්සේ වස්‌ දහයක්‌ ඉක්‌මවූ ස්‌වාමීන්වහන්සේ නමක්‌ වීම අත්‍යවශ්‍ය වෙනවා.

පිංවත් ඔබ පැවිදිභාවය ලැබීමට නම් අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ අවසරය අවශ්‍ය වෙනවා. භාරකරුවන්ගේ අවසරයකින් තොරව, යම් පිංවතෙක්‌ පැවිදි කිරීමට එකම එක ක්‍රමයක්‌ විනයේ සඳහන් වෙනවා. යම් පිංවතෙක්‌ වැඩිහිටි ස්‌වාමීන්වහන්සේනමක්‌ ළඟට පැමිණිලා ‘මාව පැවිදි කළේ නැතිනම්, මම සියදිවි නසාගන්නවා’ ය කියලා ප්‍රකාශ කළොත් එම ප්‍රකාශය සත්‍ය විය හැකි බව ඒත්තුගියහොත්, භාරකරුවන්ගේ අවසරයෙන් තොරව එම පිංවතා පැවිදි කිරීමට විනයෙන් නිදහස ලබාදී තිබෙනවා. පැවිදි වෙන්න තීරණය කරපු පිංවතා අනිවාර්යයෙන්ම ගුරු ඇසුර තුළ අවම වශයෙන් මාසයක්‌වත් දසසිල් සමාදන්ව සිටීම අවශ්‍ය වෙනවා. අවශ්‍ය විනය කාරණයක්‌ පරිපූර්ණ කරලා, උතුම් පැවිදිභාවයට පත්වූ භික්‍ෂුවට තම අම්මා තාත්තා පවා වන්දනය කරනවා. රටේ රජතුමා පවා වන්දනා කරනවා. ලෝකයාගෙන් පසඟ පිහිටුවා වන්දනා ලබනවා. දෙපා දෝවනය කරනවා. දෙපයට පාවඩ එලනවා. උඩුවියන් බඳිනවා. චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලන්පස කැමැත්තෙන්ම ගෞරවයෙන්ම පූජා කරනවා. අග්‍රම දෙය, ප්‍රනීතම දෙයින් දන්දෙනවා. සැප දුක්‌ ගිලන් බව සොයා බලනවා. ගෞරවයෙන් රැකවරණය සලසනවා. භික්‍ෂුවක්‌ දුටු තැන ආසනයෙන් නැඟිට ගරු කරනවා. මෙය පැවිදි ජීවතයේ ලබන මුල්ම ඵලය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.