රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක්‌ සිදු වන බවට බියක්‌ පැතිරී යනවාය කියලා දායක මහත්තයෙක්‌ මතක්‌ කළා. සත්වයන් රැස්‌ කොට ගන්නා අකුසල් සංස්‌කාරයක්‌ හේතුවෙන් ඒවායේ විපාකයන්ට අදාළව ලෝකය කිපෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ ඔබමය කියලා. ලෝකය යනු ධර්මානුකූලව ඔබම වූ කල, ලෝකය තුළ සිදුවන බියවීම, කිපීම්, කැඩීම්, බිඳීම්, විසිරීම් සියල්ලේම වගකිවයුත්තා ද ඔබම වෙනවා. පිංවත් ඔබ, ලෝකය යනු ඔබම බව තවමත් හඳුනා නොගත් නිසාම ඔබ තුළ ඇතිවන සැකය, බිය, දුක, ශෝකය ගැන ඔබ සම්මුති ලෝකයට ඇඟිල්ල දිගු කරනවා. පිංවත් ඔබ කැඩපතක්‌ ඉදිරියට ගිහිල්ලා ඔබේ ප්‍රතිබිම්බය කැඩපතින් දකිද්දී, ඔබේ රූපය අවලස්‌සන නම්, ඔබේ රූපය බියජනක, ශෝකජනක ස්‌වභාවයෙන් ඔබ දකියි නම් ඔබ කැඩපත වෙනස්‌ කරලා වැඩක්‌ නැහැ. වෙනත් කැඩපතක්‌ ඉදිරියට ගිහින් රූපය බලලා වැඩකුත් නැහැ. ඔබයි වෙනස්‌ වෙන්න ඕනේ. මොකද ඔබේ කායික, මානසික ස්‌වභාවයයි ඔබ කැඩපතින් දකින්නේ. නමුත් ඔබ උත්සාහ කරන්නේ කැඩපතේ සටහන් වන ඔබගේ රූපයේ බියජනක, ශෝකජනක ස්‌වභාවයට ධර්මානුකූලව හේතුව සොයා පිළියම් කරගැනීමට නොව, සමාජය තුළ කාලගුණික, දේශගුණික කිපීම් ස්‌වභාවයන් පිළිබඳව ඔබ බියකින් පසුවන්නේ නම් එම බියෙන් මිදීමට සම්මුති ලෝකයෙන් පිළිසරණ සොයලා වැඩක්‌ නැහැ. තමා තුළින්මයි, සද්ධර්මය තුළින්මයි බියෙන් මිදිය යුත්තේ. පිංවත් ඔබ නිවැරදි වීමට කවදාවත් සම්මුති ලෝකය නිවැරදි වනතෙක්‌ බලාසිටින්නට එපා. එය පෘථග්ජනභාවයට අයිති පුරුද්දක්‌ වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, හිතාගන්න බැරි දේවල් සිද්ධ වෙන තැනටයි ලෝකය කියන්නේ කියලා. පිංවත් ඔබ රූපයක්‌ කෙරෙහි තෘෂ්ණාවෙන් සිතනවා වැඩිකමට සිතාගන්න බැරි දේවල් සිද්ධවෙනවා. ඔබම සිතාබලන්නකෝ, ඔබ නොසිතා සිටින අවස්‌ථාවක්‌ තියෙනවාද කියලා. දිනය පුරාවට තොරතෝංචියක්‌ නැතිව ඔබ සිතනවා, කම්මුලට අත තබාගෙන, කොට්‌ටයට හිස තබාගෙන සිතනවා. සිතලා සිතලා විසඳුමක්‌ නැතිවෙනකොට මත්වතුර වීදුරුවක්‌ මේසය මත තබාගෙන සිතනවා, ඒත් සිතීමේ අවසානයක්‌ නැහැ. නැවතීමක්‌, අවසානයක්‌, නිනව්වක්‌ නොමැති සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌, කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින්, සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ පසුකරමින් පටිච්චසමුප්පන්නව, සංස්‌කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාව හේතුවෙන් සකස්‌කොට දෙන පංචඋපාදානස්‌කන්ධය නමැති ඵලය හේතුවෙන් සකස්‌වෙන ‘උපාදාන පච්චයා භවය’ කියන ධර්මතාව ඔස්‌සේ චුති සිතින් ප්‍රතිසන්ධි චිත්තයට පටිච්චසමුප්පන්නව පනිමින් තවමත් අවසානයක්‌ නොමැතිව සිතනවා.

මෙය සටහන් තබනකොට භික්‍ෂුවට සිනහවකුත් ඇතිවෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මෙපමණ සිතලත් අවසානයක්‌ නොමැතිනම් ඔබට නොසිතා ඉන්නය කියලා. ඊට මාර්ගය තමයි බුදුරජාණන්වහන්සේ චිත්තානුපස්‌සනාව කියලා දේශනා කරන්නේ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ පිංවත් ඔබ සිතීම නතර කරන මාර්ගය වන චිත්තානුපස්‌සනාව කියලා කියවෙනකොටත් ඔබ ඒ ගැන සිතන්නට පටන්ගන්නවා. චිත්තානුපස්‌සනාව ගැනත් සිතන්න ගත්තොත් කවදා නම් අපි චිත්තානුපස්‌සනාව තුළින් සිතුවිලිවල අනිත්‍ය ස්‌වභාවය අවබෝධකොට ගන්නද?

වර්තමානයේ සකස්‌වෙන සිතුවිල්ල චිත්තානුපස්‌සනාවට යොමුකොට දැකීමට ඇති අසමත්භාව නිසාම පිංවත් ඔබ තර්ක විතර්ක මතුකොටගනිමින් දුක, ශෝකය, බිය, ඇතිකොටගනිමින් සකස්‌වෙන සිතිවිල්ලට අදාළව අනාගත ලෝකය අස්‌වද්දවා ගන්නවා. අනාගත ලෝකය පටිච්චසමුප්පන්නව උපද්දවා ගන්නවා. ඒ උපද්දවාගන්න අනාගත ලෝකය, පංච නීවරණයන්ගේම ඵලයක්‌ වූ දුකෙන් පිරි ලෝකයක්‌ වෙනවා.

තවත් පිංවතෙක්‌ දැනුමට බුද්ධියට අදාළව සිතන්න පුරුදු වෙනවා. ඒ සංකීර්ණ වූ සිතිවිලිවලට අදාළව සම්මුති ලෝකය ගොඩනඟනවා. ඒ සම්මුති ලෝකය ගොඩනැඟෙන්නේ ස්‌වභාවධර්මය, ස්‌වාභාවිකත්වය මරා දමමින්. සදාචාරය, ශීලාචාර ධර්මයන් මරාදමමින්. මහා සාගරය ගොඩකරමින්, මහා නගර ඉදිවෙන්නේ, මහ පොළොවේ කළුගල් මතුකොටගනිsමින් තට්‌ටු නිවාස සංකීර්ණ ඉදිවෙන්නේ, සමාජයේ දූෂණ අපරාධ, සොරකම් මහා පරිමාණයෙන් සිදුවන්නේ මිනිසුන්ගේ සිතිවිලිවල සංකීර්ණභාව ධර්මානුකූලව මතුකොට පෙන්වමිනුයි.