සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්‌කාරයන් හේතුවෙන්ම සකස්‌වෙන ස්‌වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා දෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්‌මහ බැලුම් බලලා බුදුරජාණන් වහන්සේනමක්‌ පහළවන යුගය කුසල් ධර්මයන්ගේ ඵලයෙන් ගොඩනැගෙන සුන්දර පාරිසරික කතාවක්‌ අපට කියලා දෙනවා. කුසල් ධර්මයන්ගේම ඵලයෙන් බිහිවුණා වූ සුන්දර පරිසරයක්‌. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලා මහනුවර නියං සායෙන් මතුකොට දුන් දුර්භික්‍ෂයෙන් මීනි කඳු ගොඩගැසෙන තරමට අකුසලයේ අසුන්දර පාරිසරික කතාවනුත් ඔබ අසා තිබෙනවා. මේ දෙආකාරයේම කතාවන් ගොඩනැඟෙන්නේ මනුෂ්‍යයාගේ කුසල්, අකුසල් ක්‍රියාකාරිත්වයන් හේතුවෙන්මයි. ලෝකය ඔබම වූ කල, ලෝකය තුළ සකස්‌ වෙන හොඳ නරක දෙකේම නිර්මාණකරු ඔබම වෙනවා. නමුත් පිංවත් ඔබ හරිම අසාධාරණයි. හොඳ දෙයක්‌ විපාක දෙනකොට උඩ පැනලා එය ඔබේ කරගන්නා ඔබ, නරක දෙයක්‌ විපාක දෙනකොට ආණ්‌ඩුවට, නැති නම් තවත් කාටහරි ඇඟිල්ල දිගු කරනවා.

භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ අභය භූමියක්‌ ආශ්‍රිතව තිබෙන කුටියක. අවුරුදු තුනකට පසුවයි භික්‍ෂුව මේ කුටියට වැඩියේ. මීට පෙරාතුව මේ කුටියේ වැඩසිටි සෑම අවස්‌ථාවකදීම දිනපතාම වාගේ අලියකුගේ අතු බිඳීමක්‌ හෝ දර්ශනයක්‌ දකිනවා. මෙවර භික්‍ෂුව කුටියට වැඩම කරලා අදට දින දහයක්‌ වෙනවා. අලියෙක්‌ තබා, අලි අඩි සලකුණක්‌වත් භික්‍ෂුව තවම දැක්‌කේ නැහැ. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවයි අලියාගේ තෘෂ්ණාවයි දෙකම එකතුවූ තැන දෙපාර්ශ්වයම දුකට පත්වෙලා. මිනිස්‌සු අලි මරණවා. මැරෙන අලි පටිච්ඡසමුප්පන්නව නැවත අලි වෙලා මිනිස්‌සුන්ව මරනවා. අලි මිනිස්‌ ගැටුම භවයෙන් භවයට ගලාගෙන යනවා. තෘෂ්ණාව සැඟවිලා අපි හැමෝටම ඔච්චම් කරනවා.

අතීතයේ විශාලා මහනුවර ජනතාවකගේ විපාකයට පැමිණි බලවත් අකුසල මූලයන් නිසාම, බුදුරජාණන් වහන්සේට සිදුවෙනවා පන්සියයක්‌ මහා සංඝරත්නය මහරහතන් වහන්සේලා ප්‍රමුඛව විශාලා මහනුවරට වැඩම කරවන්නට. ශක්‌තිමත් අකුසලයක්‌, ශක්‌තිමත් කුසලයකින් යටපත් කිරීමේ උපක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මෙතැනදී උපයෝගීකර ගන්නේ. එසේ නොවී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්‌වාමීන් වහන්සේට කථාකොට ආයුෂ්මත්නි, ඔබවහන්සේලා විසිපස්‌නමක්‌ සමඟ විශාලා මහනුවරට වැඩම කොට රතන සූත්‍රය දේශනා කරන්න කියලා, ආනන්ද ස්‌වාමීන් වහන්සේ පිටත්කොට හැරියා නම්, විශාලා මහනුවර ජනතාවගේ අකුසලයෙන් උපන් බලවත් දුර්භික්‍ෂය නිමාකොට වැසි වැටීම සිදුනොවන බව බුදුරජාණන් වහන්සේ මැනවින්ම දැනගෙන සිටින්නට ඇති. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සීයයක්‌ මහා සංඝරත්නය විශාලා මහනුවරට වැඩම කරන්නේ.

ඉහත කාරණයෙන් පිංවත් ඔබ තේරුම් ගත යුතුයි, ධර්මය අමතක කරලා, ශීලය මගහැරලා, සදාචාරයට තිත තියලා, තෘෂ්ණාවේ බලු පොරයට වැටිලා මුදල් සොයාගෙන ආශ්වාදය පසුපසම හඹායන සමාජය අනාගතයේදී දුකට වැටුණොත් රතන සූත්‍රය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේවත් ලෝකයේ නැහැය කියන කාරණය. අපි රතන සූත්‍රය දේශනා කළත්, ඒ තෘෂ්ණාව විසින් තෘෂ්ණාවටම පිරිත් කීවා හා සමාන වෙනවා. ලොකු ප්‍රාතිහාර්යයක්‌ බලාපොරොත්තු වෙන්න බැහැ. ඔබම ලෝකය වූ කල ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් නිසාම ඔබ ගොඩගසා ගත්තා වූ අකුසල් කඳු සතර මහා ධාතුවේ කිපීම් ඔස්‌සේ ඔබේම හිස මතට කඩා වැටෙද්දී පිංවත් ඔබව ආරක්‍ෂා කරන, එකම ආරක්‍ෂක පවුර වන්නේ උතුම් සද්ධර්මයමයි. එසේ නැතිව වැරදි නිවැරදි කිරීමට යැම නොවෙයි.

බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වන අපට සමාජය නිවැරදි කරන්න යන්නය කියලා දේශනා කරලා නැහැ. යම් මනුෂ්‍යයෙක්‌, පිරිසක්‌ පරිසරය විනාශ කරනවා නම්, සතුන් මරනවා නම්, ගස්‌ කොළන් විනාශ කරනවා නම්, රාජ්‍ය ධනය සොරකම් කරනවා නම්, රජවරු දූෂිත වෙනවා නම්, අධිකරණය දූෂිත වෙනවා නම් මේවාට එරෙහිව සටන් කරන්න, පොලීසි යන්න, අධිකරණයටත් යන්න ජනතාව පෙළගස්‌වන්න කියලා භික්‍ෂූන් වන අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින් වන අපට අවවාද කරන්නේ, භික්‍ෂුවක්‌ වන ඔබ ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ආරක්‍ෂාව තුළ සිටිමින් වරදේ ආදීනවය සමාජයට දේශනා කරන්නය කියලයි. ආදිනවය අසලා එම පිංවතුන් නිවැරදි නොවනවා නම් ඊට එහා කළයුත්තක්‌ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වන අපට පවරලා නැහැ. හැදෙන නොහැදෙන එක සමාජයේ වගකීමක්‌. ලෝකය යනු ඔබම යෑයි ධර්මානුකූලව හඳුනා නොගෙන, හදන්න බැරි ලෝකය හදන්න ගොස්‌ මෙලොව, පරලොව දුකට වැටුණ මොන තරම් පිරිසක්‌ ගිහි පැවැදි සමාජයේ සිටියා ද, සිටිනවා ද කියලා ඔබම සිතා බලන්නකෝ.