පිංවත් ඔබේ හෘදසාක්‌ෂියට තට්‌ටුකර අහන්නකෝ ඔබත් මේ කරමින් ඉන්නේ ලෝකය යනු ඔබමයයි හඳුනා නොගෙන ඔබට අයිති නැති අනුන්ගේ ලෝකයක්‌ හැදීමට යැම නොවේ ද කියලා. අනුන්ගේ ලෝකය හැදීමට යැමෙන් තමන්ගේ ලෝකය භව ගමනේ රස්‌තියාදුකාරයෙක්‌ බවට පත්කරවන ක්‍රියාන්විතයකයි ඔබ මේ යෙදී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දන්නවා තෘෂ්ණාවෙන් ගොඩනැගෙන පංච උපාදානස්‌කන්ධ ලෝකය හදන්න බැහැය කියලා. තෘෂ්ණාව තිබෙනවා නම් දුක එතැන තිබෙනවා. එම නිසාම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වන අපට දේශනා කරන්නේ හදන්න බැරි ලෝකය හදන්න ගිහිල්ලා ඔබත් නොහැදෙන කෙනෙක්‌ වෙන්න එපාය කියල.

කෙනෙක්‌ සිදුකරන වැරැද්දට හේතුව වෙන්නේ තෘෂ්ණාවමයි. කෙනෙක්‌ සිදුකරන නිවැරැද්දට හේතුව වෙන්නේත් තෘෂ්ණාවමයි. වැරැදි කරන සමාජයත් වැරැදි නිවැරැදි කිරීමට යන සමාජයත් යන දෙකම තෘෂ්ණාවේ ඵලයක්‌මයි. ඔබ කළ යුත්තේ වැරැද්ද ඉදිරියේ නිවැරදි දෙය කිරීමට නොව වැරැද්දත් නිවැරැද්දත් දෙකෙන්ම මිදීමයි. එතැනයි තෘෂ්ණාවෙන් මිදීම. ඉහත පාඩම තෘෂ්ණාවේ සැබෑම හැඩතල අවබෝධයෙන් හඳුනාගත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපට මහා කරුණාවෙන්ම දේශනා කළ උතුම්ධර්මයක්‌ වෙනවා. ඉහත කාරණය බුදුරජාණන් වහන්සේ මහා කරුණාගුණයෙන්ම ප්‍රකාශිත ධර්මයක්‌ බව තෘෂ්ණාවෙන් පෝෂිත, පංචඋපාදානස්‌කන්ධ මාරයාගේ සියුම්භාවය හඳුනා නොගත් කෙනකුට ප්‍රශ්නාර්ථයක්‌ වෙනවා.

පංචඋපාදානස්‌කන්ධ මාරයා අකුසලය තුළින් ලෝකය විනාශ කරන පිරිසගේත්, යහපත තුළින් ලෝකය නිවැරදි කිරීමට වෙහෙසෙන පිරිසගේත් යන දෙපාර්ශවයේම මහ මොළකරුවා වෙනවා. උදාහරණයක්‌ කියනවා නම්, කැලයේ අලින් මරා දමන පව්කාර පිරිසගේත්, කැලයේ අලින් වෙනුවෙන් පෙනී සිටින පිංවත් පිරිසගේත්, රටේ ජාතික ධනය සොරකම් කරන පිරිසගේත්, රටේ ජාතික ධනය රැකගන්න උත්සහ කරන පිරිසකගේත් කියන දෙපාර්ශවයේම මහ මොළකරුවා යනු පංචඋපාදානස්‌කන්ධ මාරයායි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක්‌ මුණ ගැසුන අවස්‌ථාවේ පිංවත් ඔබ කළ යුත්තේ ලෝකයට අයහපත කිරීමෙන් මිදී ලෝකයට යහපත කරමින්, යහපතත් අයහපතත් දෙකම මාර ධර්මයන් බව හඳුනාගෙන යහපත සහ අයහපත යන දෙකින්ම මිදී ලෝකයෙන් නිවී යැමයි. එසේ නොවුණ තැන පටිච්චසමුප්පන්නව ඔබම ලෝකය විනාශ කරමින්, ඔබම ලෝකයට යහපත කරමින් තෘෂ්ණවෙන් ඔද්දල් වූ පංච උපාදානස්‌කන්ධ මාරයා තට්‌ටු මාරු ක්‍රමයට ඔබ ගොනාට ඇන්දෙනවා.

භික්‍ෂුන් වන අපිට ප්‍රාතිමෝක්‍ෂ ශීලය දුර්වල කොටගෙන මහා පාරවල්වල, පොලීසි සිර ගෙවල්වල සමාජය හදන්න යන්නෙ නැතිව, සමාජයට තමන් කරන වරදේ ආදීනවය පමණක්‌ කියල දෙන්න කියන කාරණය මෙම සටහනේ ඉහතින් සටහන් කර තිබීම සමහර විට පිංවත් ඔබට ප්‍රශ්නයක්‌ වෙන්න පුළුවන්. ‘මෙය සටහන් තබන භික්‍ෂුවට සමාජයට ආදරයක්‌ නැතිද?’ කියලා. අවංකවම ආදරය කියන්නේ බොරුවක්‌. ප්‍රෝඩාවක්‌. බෝධිසත්වයන්ගේ ආදරය මීට අදාළ නැහැ. එම බෝසත් ආදරය, දස පාරමී ධර්මයන්ගෙන් පෝෂණය වුණ ආදරයක්‌. ඉන් මෙහා ආදරය කියන්නේ බොරුවක්‌, ප්‍රෝඩාවක්‌. මේ බොරුව ප්‍රෝඩාව ඔබ අවබෝධයෙන්ම හඳුනා ගන්න නම් ඔබ අකුසලය නිසාම කායිකව, මානසිකව, බිංදුවටම වැටෙන්න ඕනේ. එසේ නොවී ඔබ මේ ආදරය කියන අර්ථයේ තිබෙන බොරුව ඔබ හඳුනා ගන්නේ නැහැ. මාරයා කවදාකවත් පිංවත් ඔබට බිංදුවට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබව බිංදුවට වැටීමට පෙරාතුව කුමන හෝ සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමක ගොදුරක්‌ කරනවා. මොකද මාරයා දන්නවා ඔබ බිංදුවට වැටුණොත් අනිවාර්යෙන්ම ආදරය නැමති බොරුව ඔබ අවබෝධයෙන්ම අත්දකිනවාය කියන කාරණය. එම නිසාම මාරයාට ඔබව අහිමි වෙනවාය කියන කාරණය. නමුත් මෙය සටහන් තබන භික්‍ෂුව ගිහි ජීවිතයේදී කායිකව මානසිකව බිංදුවට වැටීමට යත්දී මාරයා මට දිගු කළ කිසිදු සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමක මම එල්ලුනේ නැහැ. මට අවශ්‍ය වුණා උවමනාවෙන්ම බිංදුවට වැටෙන්නට. මම මාරයා උපක්‍රමශීලීව දිගු කළ මාරයාගේ දෑත අතහැර බිංදුවට වැටුණ නිසා, ආදරය කියන බොරුව ප්‍රෝඩාව අවබෝධයෙන් හඳුනා ගත්තා. පිංවත් ඔබ මේ මොහොතේත් දෑඟිලි දවටාගෙන එක යහනේ සැතපී, එක පිඟානේ බත් කට කවමින් අත්විඳින සුන්දර ආදරය ගැන මා ලැබු ධර්මානුකූල සත්‍ය අත්දැකීම මට අතිශයින්ම උපකාරි වුණා, පැවිදි වීමෙන් පසුව, ආදරයත්, අනාදරයත් යන අර්ථයන් දෙකම අනිත්‍යවූ සංස්‌කාරයන්ය කියන ධර්මතාවය අවබෝධ කොට ගන්න. මම අද ආදරයත් අනාදරයත් දෙකින්ම මිදුන භික්‍ෂුවක්‌.