ගෞතම බුදුසසුන කරා එකම රෑනක්‌ සේ ඈදුණු උතුමන්ගේ ගමනක ආශ්චර්යය ම නොවේද මේ…

සංඝානුස්සතිය – 7

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයැයි නොකියයිද, ගැලී නොසිටීද…. පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යැයි නොකියන, ගැලී නොසිටින… එම භික්‍ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේය කියලා. භික්‍ෂුවක්‌ උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්‌තිය පැවිදි දිවියක පස්‌වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත් යම් මහණ කෙනෙක්‌, ඔහු රහත්භාවයට පත්වීමට පෙර, රහත්භාවය කෙරෙහි යම් ඡන්දයක්‌ වීද, රහත්ඵලයට පැමිණි කල්හි එම ඡන්දය සන්සිඳී යනවා. වීර්යයක්‌, චිත්තයක්‌, විමංසාවක්‌ වීද ඒවා සංසිඳී යනවා. එසේ වූ කල්හි ඒකාන්තයෙන්ම එම භික්‍ෂුව ශාන්ත වූවෙක්‌ වෙනවා’ ය කියලා.

අහසේ පියාඹා ගිය කුරුල්ලන්ගේ ගමන් මඟ කාටවත්ම කියන්න බැහැ. ගමක වේවා, වනාන්තරයක වේවා, කඳුගැටයක්‌ වේවා රහතන් වහන්සේලා යම් තැනක වැඩසිටිනවා නම්, ඒ ගම ඇත්තෙන්ම සුන්දරයි. වනාන්තරය හරිම ලස්‌සනයි. නමුත් කම් සැප සොයන ජනයා ඒවාට ඇලෙන්නේ නැහැ. වීතරාගී නම් කැලයට කැමැතියි. උන්වහන්සේලා කම් සැප නොසොයන නිසාමයි එහෙම වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වරක්‌ සිංහ නාදයක්‌ කරනවා “මම ගිහි පිංවතුන්ලාට ණය වී පිණ්‌ඩපාතය වැළඳුවේ දින 7ක්‌ පමණයි. අට වැනි දිනයේදී මම චතුරාර්ය සත්‍යය අවබෝධ කළා” කියලා. මෙවන් සිංහනාදයක්‌ කළ හැක්‌කේ උතුම් සංඝරත්නයට පමණක්‌මයි.

නික්‌ලේශී මහා සංඝරත්නය කියන්නේ දීර්ඝ පාරමී ගමනක අයෝමය කුසල් කදම්භයක්‌. කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ, සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ සිහිපත්කොට මේ සටහන් තබන භික්‍ෂුවගේ සිත අතීත භවයේ කල්ප ගණනක්‌ ඈතට දිවයනවා. පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ සිසුන් දහස්‌ ගණනකට ශිල්ප ශාස්‌ත්‍ර උගන්වන දිසාපාමොක්‌ ආචාර්යවරයෙක්‌ ලෙසින් ඉපදිලා, පදුමුත්තර බුදුරජාණන්වහන්සේ ඇතුළු 500ක්‌ රහතන් වහන්සේලාට සතියක්‌ පුරා ඇප උපස්‌ථාන සිදුකරලා, තමන් මතු සම්මා සම්බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක්‌ වන බවට ඇතිකරගත් අධිෂ්ඨානය කල්ප ගණනාවක්‌ පාරමී කුසල් ධර්මයන්ගෙන් පෝෂණය කොටගෙන පැමිණි දීර්ඝ භවගමන නුවණින් දකින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ යැයි සිහිපත් වෙද්දී කල්ප දස දහස්‌ ගණනක්‌ ගලාගෙන පැමිණි ඒ කුසල් ගංගාව සිහිපත් කර ගන්න. අතීතයේ වැඩසිටියා වූ හැම රහතන්වහන්සේ නමක්‌ම එවන් දීර්ඝ පාරමී ගමනක ප්‍රතිඵලයක්‌මයි. යශෝධරා රහත් උත්තමාවිය කියන්නේ දීපංකර බුදුරජාණන්වහන්සේගේ පාද මූලයේදී, දිපංකර බුදුරජාණන්වහන්සේට නෙළුම් මල් පූජාකොට ‘මම ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ගිහිකල අගබිසව වෙමි’ යැයි ඇතිකොටගත් උපාදානයේ ඵලයමයි. කල්ප ලක්‍ෂ කීයක කුසල් පාරමී ශක්‌තියේ එකතුවක්‌ද….

මෙය සටහන් තබද්දී භික්‍ෂුවගේ දෑත් දෙක එක්‌වී එම උතුම් ගුණයන්ට වන්දනා කෙරුණා.

එකම පොකුරක්‌ සේ, එකම ඥාතීත්වයක්‌ සේ භවයෙන් භවය උපාදානය දරාගෙන බෝධි සත්ත්වයන් සමඟ කල්ප ලක්‍ෂ ගණනාවක්‌ මේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය සොයාගෙන පැමිණි ගමන මොන තරම් ආශ්චර්යමත් ලෝක ධර්මයක්‌ද?

එම ආශ්චර්යමත් ධර්මය විසින් අපට කියාදෙන එකම පාඩම, සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියන ධර්මයයි.

සාරිපුත්ත මහෝත්තමයානන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ඒ බව දැනගත් ආනන්ද ස්‌වාමීන්වහන්සේ දැඩි ලෙස ශෝකයට පත්වෙනවා. ‘භාග්‍යවතුන්වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවීමෙන් මහා අඳුරක්‌ ඇතිවුණා. මට කිසිම දිශාවක්‌ නොපෙනේ. ධර්මය මට නොවැටහේ. පිරිනිවීගිය කල්හි ලොවම අඳුරුවූවා සේයි’ යනුවෙන් ආනන්ද ස්‌වාමීන්වහන්සේ දේශනා කරනවා. අවිද්‍යාවෙන් අඳුරු වූ ලොවක්‌ ධර්මයෙන් ඒකාලෝක කිරීමේ ශක්‌තියක්‌ මහා සංඝරත්නයට තිබෙනවා. අතීත පාරමී ශක්‌තියෙන් පෝෂණය වී උපාදානයන්ගේ විවිධත්වයෙන් එකිනෙකට වෙනස්‌ වූ චර්යාවන්ගෙන්, හැකියාවන්ගෙන් යුක්‌ත වුවද, චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සවිවූ රහතන්වහන්සේලාගේ ප්‍රාතිහාර්යයන් නුවණින් සිහිකරන්න. අමුසොහොනේ මළමිනිය ඔතා තිබූ සුදු රෙදිකඩ, කසළගොඩේ දමා තිබූ රෙදිකඩ, පාංශුකූල ඇහිඳගෙන, සිවුරු බවට පත්කොටගෙන, ගෙන් ගෙට පිණ්‌ඩපාතයේ වඩිමින්, ලද දෙයින් සතුටුවෙන, නුදුන් දේ නොගන්න, පිළිගන්න දෙය පමණක්‌ පරිහරණය කරන, සංඝ රත්නයේ ගුණයන් නුවණින් දකින්න.