බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සාරිපුත්ත ඔබලාගේ කිරිමව’ ය කියලා. සංඝ සමාජයේ හැමෝගේම දුක සැප සොයා බලනවා. සිව්පසය ලැබීම, නොලැබීම සොයා බලනවා. හැමෝටම ආදර්ශයෙන් ගුරුහරුකම් දෙනවා. කුසලය තුළ සැවොම ශක්‌තිමත් කරනවා. රාහුල ස්‌වාමීන් වහන්සේ යම් වරදක්‌ පෙන්වා දුන්නත් නිහතමානීව එම වරද නිවරුදිකර ගන්නවා. මෙවන් උතුම් ගුණයන් දෑසින් දකින්න නොහැකිවීම අපි සැමගේම අවාසනාවක්‌ වෙනවා. පිංවත් ඔබට පුළුවන්, එම අවාසනාව වාසනාවක්‌ බවට පෙරලා ගන්න. වර්තමානයේ එම උතුම් සංඝරත්නයේ ගුණයන් සිහිපත් කර ගැනීමෙන්, එම ආර්ය මහා සංඝරත්නය සිහිපත් කර දන් පැන් පූජාකර ගැනීමෙන්. නමුත් මේ වාසනාව, නොදන්නාභාවය නිසාම, ශ්‍රද්ධාවේ දුර්වලභාවය නිසාම සමහර පිංවතුන් අහිමිකරගන්නවා.

මහා සංඝරත්නය සුපටිපන්න ගුණයෙන් යුක්‌ත වෙනවා. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවනින් මෙනෙහි කිරීම තුළින් කාමයේ කෙටි ආශ්වාදය, රූපයේ කෙටි ආශ්වාදය දැකලා ඒවා තුළින් සකස්‌වෙන දීර්ඝකාලීන ආදීනවය නුවනින් දැකලා, කාමයන් කෙරෙහි කලකිරීමක්‌ තමන් තුළ ඇතිකොට ගන්නවා. කාමයේ අස්‌වාභාවිකභාවය හරිම අමිහිරියි. හරිම තුච්ඡයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ අම්මා කෙනෙකුයි, තම තරුණ පුතයි ගිහි ජීවිතය කලකිරීලා, පැවිදිභාවයට පත්වෙලා, වස්‌ සමය ගත කරන්න ගම්මානයක බොහොම යාබද කුටි දෙකක්‌ තෝරා ගන්නවා. මව්-පුතු සෙනෙහසින් බොහොම සමීපව ජීවත්වූ මෙම භික්‍ෂුව සහ භික්‍ෂුණිය වස්‌ සමය නිමාවෙද්දී අඹුසැමියන් ලෙසින් හැසිරෙන තත්ත්වයට ශීලයෙන් බරපතළ ලෙස දුර්වලතාවයට පත්වෙනවා. මේ කාමයන්ගේ අස්‌වාභාවික ස්‌වභාවය නුවනින් දැකලා, කාමයන් කෙරෙහි කලකිරීම ඇතිකොටගෙන එකී බන්ධනවලින් මිදීමට තීරණය කරනවා.

අතීතයේ එක්‌ ගොවි මහත්තයෙක්‌ සිටියා, ඔහුගේ සන්තකයේ තිබුණු එකම ධනය වුනේ උදැල්ලක්‌ පමණයි. උදැල්ල මිස වෙන කිසිම ධන සම්පතක්‌ ඔහුට තිබුණේ නැහැ. තමන් ජීවත්වීමට ගෙනයන කටුක අරගලය දැකලා, පැවිදි උතුමන් පැවිදි ජීවිතය තුළ ලබන සැනසීම දැකලා මේ දුප්පත් ගොවි මහත්මයා, තමා සතු එකම වස්‌තුව වූ උදැල්ල සඟවා තබා පැමිණ පැවිදිවෙනවා. පැවිදි ජීවිතය තුළ ටික දවසක්‌ ගතකරන කොට එම භික්‍ෂුවට උදැල්ල කෙරෙහි, ගොවිතැන කෙරෙහි තෘෂ්ණාව ඇතිවෙලා, සිව්රු හැරගොස්‌ උදැල්ල අරගෙන ගොවිතැනට යනවා. මේ ආකාරයට තුන් වතාවක්‌ මේ භික්‍ෂුව තම ගිහි ජීවිතයේ කළ ගොවිතැන සහ උදැල්ල කෙරෙහි තෘෂ්ණාවෙන් සිවුරු හැරයනවා. හතරවැනි වතාවේ උදැල්ල සහ උදැල්ල කෙරෙහි තමා තුළ සකස්‌වෙන තෘෂ්ණාව මාරයා හැටියට දකින එම ගොවි මහතා උදැල්ල විනාශකොටයි හතරුවනි වතාවේ පැවිදි වෙන්නේ. එම පිංවත් භික්‍ෂුව අවසානයේ තෘෂ්ණාව විනාශකොට දමා උතුම් රහත් ඵලයට පත්වෙනවා. පුංචි කථාවස්‌තුවක්‌, එක රූපයක්‌, දීර්ඝ වූ කටුක වූ ලෝකයක්‌ නිර්මාණයකොට දෙන බව දැකලා, යම් පිංවතෙක්‌ කාමයන් උපද්දවන, බාහිර බැඳීම් සියල්ල අතහැරලා උතුම් පැවිදි උපසම්පදාව ලබාගෙන කාය සුචරිතය, මනෝ සුචරිතය, වාග් සුචරිතය පුහුණු කිරීමේ අර්ථයෙන් සංඝරත්නය සුපටිපන්න ගුණයෙන් යුක්‌ත වෙනවා.

රාහුල කුමාරයා, නන්ද කුමාරයා අතහැරදා පැමිණි ධන සම්පත්, රාජ සම්පත්…. උපතිස්‌ස කෝලිත පිප්ඵලී බමුණු තරුණයන් අතහැරදා පැමිණි ධන සම්පත්, භෝග සම්පත්…. උරුවෙල කාශ්‍යපයන් හැරදා පැමිණි පරිවාර සම්පත්… මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණය ශක්‌තිමත් කළ ධර්මතාවයන් වෙනවා.

බාහිර කෙලෙස්‌ ධර්මයන්ගෙන් වන පලිබෝධ අතහැරීම, දුරුකිරීම නිසාම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළට එම භික්‍ෂුව අවතීර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇට්‌ටේරියා වනයක වැඩසිටියදී තම දෝතට ඇට්‌ටේරියා කොළ අහුරක්‌ අරගෙන දේශනා කරනවා ‘මහණෙනි, මා ඔබට දේශනාකර ඇති ධර්මය මේ මගේ දෝතේ තිබෙන ඇට්‌ටේරියා කොළ ටික වගෙයි. මා උතුම් සම්මා සම්බුද්ධ ඤාණය තුළින් අවබෝධ කොටගත් ධර්මය, මේ ඇට්‌ටේරියා වනයේ ඇති සියලුම කොළ ප්‍රමාණය වගේය කියලා. මහණෙනි, මා නොකියන ලද දෙය බොහෝය. කුමක්‌ හෙයින් මා මේවා නොකියන ලදද, මේවා වැඩ සහිත නොවේ, බඹසර පිණිස නොවේ, විරාගය පිණිස නොපවතී, නිරෝධය පිණිස නොපවතී. එහෙයින් මා විසින් ඒවා නොකියන ලදී. මා විසින් කියන ලද්දේ, මේ දුක යෑයි කියන ලදී. මේ දුකේ හටගැනීම යෑයි කියන ලදී. මෙය දුකෙන් වැලකීම යෑයි කියන ලදී. මෙය දුක නැති කරන මාර්ගය යෑයි කියන ලදී. කුමක්‌ හෙයින්ද? මේ බඹසරට මුල්වී, විරාගය නිරෝධය පිණිසම හේතුවෙන නිසාය’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.