සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න. මෙසේ එම ගුණයන් දායාද කරගන්න.

සංඝානුස්සතිය – 12

සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක්‌ පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්‌, පාර අයිනේ සිට භික්‍ෂුවට පිණ්‌ඩපාතය පූජා කළා. භික්‍ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්‌කොට කියනවා ‘ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස්‌ සැප ලැබේවා’ කියලා. ඒ අවස්‌ථාවේ වයෝවෘද්ධ ඇයගෙන් භික්‍ෂුව විමසුවා ‘මෑණියෝ, යමෙක්‌ නිවන් අවබෝධ කළාට පස්‌සේ දෙව් මිනිස්‌ සැප ලැබෙන්නේ කොහොමද?’ කියලා. එවිට ඇය කියනවා, ‘ස්‌වාමීන්වහන්ස, සතුට වැඩිනිසාම මට පැටලුණා’ය කියලා. එම නිසා පිංවත් ඔබ සංඝරත්නයේ ගුණයන් ඉදිරියේ අවබෝධයක්‌ මිස, ආශ්වාදය ගන්න නම් එපා. මහා සංඝරත්නය ගිහි පිංවතුන්ලා නිරතුරුවම පෙළගස්‌වන්නේ ධර්මයක්‌ වැඩෙන දිශාවට මිස මෝහය වැඩෙන දිශාවට නොවේ. කෙළෙස්‌ සිඳෙන දිශාවට මිස, කෙළෙස්‌ වැඩෙන දිශාවට නොවේ.

පිංවත් ඔබ නුවණින් දකින්න අතීතයේ සිටි උපාසක උපාසිකාවන්, අනේපිඬු සිටුතුමා, විශාකා උපාසිකාව, උග්ග ගෘහපතිතුමා, මහානාම ශාක්‍යතුමා…. මේ සෑම පිංවතෙක්‌ම බුදුරජාණන් වහන්සේට, මහා සංඝරත්නයට හොඳින් දන් පූජා කළ පිංවතුන්. නමුත් මේ සෑම පිංවතෙක්‌ම බුදුරජාණන්වහන්සේට ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාට දන්පැන් පූජා කළේ උන්වහන්සේලා තමන්ගේ නගරයේ වැඩසිටින අවස්‌ථාවන්හිදී පමණයි. උන්වහන්සේලා වඩින ඈත දුරබැහැර නගරවලට ගොස්‌, බුදුරජාණන් වහන්සේට, ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාට දන් පැන් පූජා කරන්න ගියේ නැහැ. එම පිංවතුන් බුදුරජාණන්වහන්සේලාටම දන් පූජා කරන්න ඕනේය කියලා තෘෂ්ණාවක්‌ ඇතිකොටගත්තේ නැහැ. මහාසංඝරත්නය කියන චේතනාව හිතේ මුල්බැසගෙනයි තිබුණේ.

නිතිපතා තමන්ගේ නගරයේ වැඩසිටින ස්‌වාමීන්වහන්සේලාට, මහා සංඝරත්නය අරමුණුකොට දන් පූජා කළා. එම නිසා එම අවබෝධාත්මක උපාසක උපාසිකාවන්ට, ගුණයන් සොයාගෙන, ඥාණයන් සොයාගෙන රට වටේ දුවන්න අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ. ස්‌වාමීන්වහන්සේලාගේ ගුණයන්, ඥානයන් නිසා පෞද්ගලිකත්වය මත ගොඩනඟාගන්නා ආශ්වාදජනක සිත අනිත්‍ය වශයෙන් දකින තැන උතුම් සංඝරත්නයේ ඤායපටිපන්න ගුණයට අදාළ ධර්මයන් තමන් තුළ ඇතිකොටගන්න එම පිංවතුන් දක්‍ෂ වෙනවා.

ඒ වගේමයි, බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ශීල සමාධි ප්‍රඥා ඥානදර්ශන විමුක්‌ති සම්පන්න මහා සංඝරත්නය දැකීම, වදන් ඇසීම, ඇසුරු කිරීම, වෙත එළඹීම, සිහිකිරීම, අනුව පැවිදිවීම බොහෝ උපකාරක යැයි කියලා. මහණතෙමේ අනුනට දූත මෙහෙවර, ළාමකකම් නොකරන්නේය කියලා. අනෙකකුගේ සේවකයෙක්‌ නොවන්නේය. අන් අධිපතියෙක්‌ ඇසුරුකොට ජීවත් නොවන්නේය, ධර්ම වෙළෙඳාම නොකරන්නේය, ධනය ආදිය පිණිස ධර්මය නොකියන්නේය…. කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

වරක්‌ බුදුරජාණන්වහන්සේගෙන් අසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සිතින් කයෙන් වචනයෙන් වැරදි නොකරන, වැරදි ආශ්‍රව නැති කෙනා පැවිද්දෙක්‌ නේද?’ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘එසේනම් බමුණ තොටිල්ලේ නැලවෙන සිතෙන්, කයෙන්, වචනයෙන් වැරදි නොකරන, මිච්ඡා ආජීවයන් නොකරන ළදරුවාද පැවිද්දෙක්‌ වෙනවා’ය කියලා. සැබෑම පැවිද්ද කියන්නේ සංසාර බිය දකිමින්, කාමයන්ගේ නිසරු බව දකිමින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන, ඥාන දර්ශන විමුක්‌තිය උදෙසා වීර්යය වඩන අර්ථයෙන් පැවිදිවූ පිංවතාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මහා සංඝරත්නය ලැබූ දෙය පිළිබඳව සතුටු වෙන්නේ නැහැ. සතුටුවීම අනුමත කරන්නේ නැහැ. ලැබීමේත් නොලැබීමේත් අනිත්‍යභාවය දකිමින් නිදහස්‌ වීමයි අවසානය හැටියට දකින්නේ. එය සංඝරත්නයේ උතුම්ම ගුණයක්‌ වෙනවා.