බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක්‌ තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ නැහැ, සතුන් හිංසාවට පත්වෙන්නේ නැහැ, කාන්තාවන් දූෂණය වන්නේ නැහැ, දේපළ විනාශ වන්නේ නැහැ, මනුෂ්‍යයන් අංගවිකල බවට පත්වන්නේ නැහැ. ඒ උතුම් යාගය තමයි පංචශීලයේ යාගය’ කියලා. ‘පංච ශීලයේ යාගය තරම් ශ්‍රේෂ්ඨ යාගයක්‌ මේ ලෝක ධාතුවේ නැහැ’ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පංචශීලය නමැති යාග භූමියේ අවංකවම යාගයන් සිදුකරන මනුෂ්‍යයන්ට අයිතිවෙන ප්‍රධානම ඵලය තමයි, තමන්ගේ කුසල් ශක්‌තිය, පිනේ ශක්‌තිය වැඩිවනවිට රටට, ජාතියට, ජනතාවට දුශ්ශීලභාවයෙන් පීඩාවන් කරන කණ්‌ඩායම්වල අකුසල් පක්‍ෂය අතර පරතරය වැඩිවෙලා එම දුශ්ශීල පිරිස්‌ පිරිහීමට ලක්‌වීම. නොසිතූ ආකාරයෙන් පරාජයට පත්වෙනවා. කුමන රටක වේවා අවුල් වියවුල් වැඩිවෙන විට, පාලක පිංවතුන්ලා දුශ්ශීල භාවයෙන් කටයුතු කරන විට රටට, ජාතියට ආදරය කරන, ජාතික සමගියට, ආගමික සමගියට ආදරය කරන පිංවත් ඔබ දුශ්ශීලභාවයෙන් පිළිතුරු දෙන්න යන්න එපා. රටට කුමන විපතක්‌ පැමිණිය ද මුළු රටම ශීලයේ යාග භූමියක්‌ බවට පත්කරගන්න.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා සංඝරත්නය කියන්නේ ශීලය නමැති යාග භූමියේ නිරතුරුවම ශීල යාගයේ යෙදෙන ශ්‍රාවක පිරිසයි. සංඝ සමාජය ඉදිරියට කුමන අභියෝගයක්‌ පැමිණිය ද සංඝයා වහන්සේගේ ශක්‌තිය විය යුත්තේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සහ උතුම් සාමණේර දස ශීලයේ ශක්‌තියයි. මහා සංඝරත්නයේ සැබෑ සටන් භූමිය කියන්නේ ද උද්ඝෝෂණය කියන්නේ ද විරෝධතාව කියන්නේ ද දුසිල්වත්භාවයට එරෙහි වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි. මහා සංඝරත්නයේ පොලිසිය, අධිකරණය, විනිශ්චය, තීන්දුව කියන්නේ ද මේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි. සම්මා සම්බුද්ධ ශාසනයේ ඉදිරියට පළිබෝධයන් පැමිණෙන විට මේ අභියෝගයන් ජය ගැනීමේ අවිය විය යුත්තේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයමයි. විශේෂයෙන්ම රටේ ආගමික සමගියට කුමන පාර්ශ්වයෙන් අභියෝග පැමිණිය ද එම අභියෝගයන් ජයගැනීම උදෙසා භික්‍ෂු සමාජය විශ්වාසය තැබිය යුත්තේ උතුම් ප්‍රාතිමෝක්‌ෂ ශීලය කෙරෙහිමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝ සමාජයේ සාමාජිකයන් වන අපට, රටේ රජවරු පනවන නීතිරීතිවලට ගරු කරන්නය කියල. වර්තමානයේ රජවරු පනවන නීතිරීති කියන්නේ රටේ ව්‍යවස්‌ථාවයි. එම නිසාම සංඝ සමාජයේ සාමාජිකයන් වන අපි ව්‍යවස්‌ථාවට පිටින් කටයුතු කිරීම නොකළ යුත්තක්‌. සංඝ සමාජය ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කළොත් රටේ සිටින අන්තවාදී කණ්‌ඩායම් සංඝ සමාජය ප්‍රදර්ශනයට ගෙන රාජ්‍ය විරෝධී කටයුතු කරන්න පුළුවන්. එසේ වුවහොත් එය රාජ්‍යයට බලවත් අනතුරක්‌ වෙනවා වගේම සමස්‌ත සංඝ සමාජයටම බලවත් විවේචන එල්ලවන්න පුළුවන්. එම නිසාමයි, බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ සාමාජිකයන් වන අපට දේශනා කර තිබෙන්නේ රජවරු පනවන නීතිරීතිවලට ගරුකරන්නය කියල. නමුත් යම් රජයක්‌ ව්‍යවස්‌ථාව උපයෝගී කරගෙන රටේ ජාතික, ආගමික සමගියට බාධා පමුණුවනවා නම් එම අභියෝගයට සංඝ සමාජය මුහුණදිය යුත්තේ උතුම් ප්‍රාතිමෝක්‌ෂ ශීලයේ අර්ථය තුළින්මයි.

එම නිසා සංඝ සමාජයේ සාමාජිකයන් වන අපි ප්‍රාතිමෝක්‌ෂ ශීලය තුළ ශක්‌තිමත් වෙමු. අදට වඩා වැඩිපුර සිල්පදයක්‌ හෙට දවසේ රකිමු. හෙටට වඩා වැඩිපුර සිල් පදයක්‌ පසුවදාට රැකගනිමු. ශීලයට අපේ භික්‍ෂු ජීවිතය තුළින් වැඩි වටිනාකමක්‌ ලබාදෙමු. ශීලයේ ආනිශංස තුළින්මයි, ජනතාව තුළ භික්‍ෂු සමාජය කෙරෙහි ප්‍රියභාවය, අභියෝගයන් ඉදිරියේදී ශක්‌තිමත් වෙන්නේ.