ඔබත්, මමත් මේ අනවරාග්‍ර වූ සසරේ නොනිමි ගමනක යෙදෙමින් මේ වනවිට බොහෝ වෙහෙසට පත්ව ඇත. පූර්ව ආත්මයේ කළ කුසල් බලයකින් මේ සසරේ ලැබිය හැකි උසස්‌ම ආත්මභාවය වන මිනිස්‌ ආත්මයක්‌ අපි ලබා ඇත්තෙමු. ඉදින් මේ ඝෝර සසර අප තවත් දික්‌ කර ගන්නවද? නැතිනම් ලැබූ මේ මිනිස්‌ භවය සසර එතෙරවීම උදෙසා භාවිත කරනවාද යන තීරණය ඇත්තේ අප අතමය. භද්‍ර කල්පයක මිනිස්‌ ආත්මයක්‌ ලැබූ අප බොහෝ පුණ්‍යවන්තයෝ වන්නාහ. උතුම් ශ්‍රී සද්ධර්මය අප සසර එතෙර කිරීම පිණිස තවමත් ජීවමාන යුගයකය අප ඉපිද ඇත්තේ. ඉදින් ඒ සද්ධර්මය නිවැරැදි තැනින් අල්ලාගෙන නිවැරැදි ලෙස ජීවිතයට බද්ධ කරගතහොත් සසර අරගලයෙන් අපට ජයගත හැකිය. මේ අකුරු කරන අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ හිමියන්ගේ සදහම් දෙසුම ඔබට ඒ සඳහා උපකාරයක්‌ම වේවා!

ඔබ ඇහැ කියන කාරණය මනසින් මෙනෙහි කරන්න. අම්මාගේ මවුකුසට මනසින් යන්න. අම්මාගේ ගර්භාෂයේ හිරවෙලා ඉන්න වෙලාවෙ මගේ ඇස කොයි විදිහටද තිබ්බෙ කියල නුවණින් දකින්න. මවුකුසින් බිහිවෙන වෙලාවෙ මේ ඇස තිබ්බෙ මොන විදිහටද කියල නුවණින් දකින්න. ඒ වගේම ළමා කාලයෙ, තරුණ කාලයේ, වැඩිවියට පත්වෙලා මේ ඇසේ සුද ඇවිල්ල ඒවගේම තමන් මැරිල ඉන්න දේහයේ මේ ඇස ගැන නුවණින් දකින්න. එහෙම දැකල මේ ඇස කෙරෙහි තිබෙන තෘෂ්ණාව අත්හරින්න. එහෙම නම් මේ මැරෙන ඇස කවද හරි ගින්දරට, දුමට අයිති වන ඇහැක්‌ බව මෙනෙහි කරන්න. එතකොට අවබෝධ වෙනව ඇහැ කියල යමක්‌ රැක්‌ක නම් එහෙම දෙයක්‌ සැබෑවටම තිබුණෙ නැති බව. අවසානයෙ ඒව පොළොවට අළු දූවිලි ගින්දර බවට පත් දෙයක්‌ පමණයි. මෙවැනි ඇස්‌ ලක්‌ෂ ගාණක්‌ ඔබට සංසාරයේ තිබුණු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. ඒ ලක්‌ෂ ගාණෙන් ඔබ හෙලූ කඳුළු මේ මහා සාගරයට වැඩි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. එහෙනම් ඒ හැම ඇහැකම ස්‌වභාවය අනිත්‍ය වූ දෙයක්‌. එහෙම නම් මේ දරාගෙන ඉන්න ඇසේ ස්‌වභාවය අනිත්‍යයි.

ඉතින් මා පෙර කිව්ව වගෙ මේක නුවණින්ම දකින්න ඕන. ඒකට එරමිණිය ගොතාගෙන භාවනා කරන්න ඕනම නෑ. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඔබ නිදිපැදුරට යන මොහොතේ, විවේකීව ඉන්න මොහොතක මේ ස්‌වභාවය දකිමින් ඉන්න ඕන. අම්මාගේ ඇහැට මොකක්‌ද වුණෙ? තාත්තගෙ ඇහැට මොකද වුණේ? සීයාගේ ඇහැට මොකක්‌ද වුණෙ? ආච්චිගේ ඇහැට මොකක්‌ද වුණේ? අම්මාගේ රූපයට මොකක්‌ද වුණේ? ඒ අය දැන් කොහෙද ඉන්නෙ…..? ආදී ලෙසින් ඒවා නුවණින් මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරද්දි දැනෙනව අනේ අපිටත් කවද හරි ඒ දේම සිද්ධ වෙනව කියල. තිරිසන් ආත්මයක ඉපදී ඉන්න බල්ලෙක්‌, පූසෙක්‌ ගන්න. උන් පෙර ආත්මයක හොඳ මිනිස්‌ ආත්මයක්‌ ලැබූ අය තමයි. නමුත් දැන් තිරිසන් අපායට වැටිල දුක්‌ විඳිනව. ඒ අයට තව කල්ප ගාණකට ගොඩ ඒමක්‌ නෑ. මෙන්න මේ දේවල් අපි නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕන. එවිටයි අපිට අවබෝධය සකස්‌ වෙන්නෙ. ඒ නිසා දකින දකින කොයි දේත් අපි නුවණින් මෙනෙහි කරන්න ඕන. ලෙඩෙක්‌ දැක්‌කත් ඒ ලෙඩා තුළින් තමන් දකින්න උත්සාහ කරන්න ඕන. ලෙඩාට අනුකම්පා කරනව කියන කාරණය නෙමෙයි. මම මේ සංසාරයේ මේ විදිහට ලෙඩ වෙලා කොච්චර නම් ඉන්න ඇතිද? මේ ජීවිතයෙදි මමත් මෙලෙස ලෙඩෙක්‌ වෙන්න පුළුවන් කියල මනසින් දකින්න ඕන. මළමිනියක්‌ දැක්‌කත් ඒ මළමිනිය තුළින් තමාව දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ඔබ මේ සංසාරයේ මැරිල එකතු වුණු ඇටකටු ගොඩගැහුවොත් එය ගිඡ්ජකූට පර්වතයට වඩා උසයි කියල. ඒ නිසා මේ ජීවිතයෙදි සතර අපායෙන් මිදුණෙ නැත්නම් මේ සා තවත් ඇටකටු ගොඩක්‌ ගොඩගහන්න අපට සිද්ධ වෙනව. මේව දකිමින්ම තමයි අපි මේ රූපය කෙරෙහි, භවය කෙරෙහි තිබෙන තෘෂ්ණාව නැතිකරගන්න ඕන. එතැනින් තමයි සක්‌කාය දිට්‌ඨීය නැතිවෙන්නෙ.

පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනකොට ක්‍රමානුකූලව සක්‌කාය දිට්‌ඨීය හීනවෙනව. කෙනෙක්‌ සෝවාන් වෙද්දි සක්‌කායදිට්‌ඨී, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස කියන සංයෝජන තුනම අයින් කරනව. සක්‌කායදිට්‌ඨීය අයින් වෙන්නෙ පංචඋපාදානස්‌කන්ධයෙ තියෙන අනිත්‍යභාවය දැකීම තුළ විචිකිච්ඡාව සහ අන්‍ය සීලවෘත කෙරෙහි තියෙන බැඳීම නැති වෙන්නෙ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පත්වීම තුළ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ආර්යකාන්ත සීලයත්, පංචඋපාදානස්‌කන්ධ තියෙන අනිත්‍යභාවයත් දකිනකොට සක්‌කායදිට්‌ඨීය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාස අයින්වෙලා යනව. අපි සංසාර භය දකිමින් මේක කොහොම හරි කරගන්න ඕන. මේ ලැබුණු ජීවිතය අපට හැමදාම තියන්නෙ නෑ. අපි දන්නෙ නෑ කොයිවෙලාවෙ අපේ ඇස්‌ දෙක පියවෙයිද කියල. ඒ ඇස්‌ දෙක පියවිලා නැවත අපි උපතක්‌ කරා යනකොට මේ අම්මා, මේ තාත්ත, මේ පුතා, මේ දූ අපිට නැවත හම්බවෙන්නෙ නෑ. ඒ අය අපට මේ ජීවිතයෙදි හම්බවුණු අවසන් කොටසක්‌ විතරයි. මේ සංසාරයෙ අපට දරුව නොවෙච්ච කෙනෙක්‌ නෑ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. මෙතන්ට දැන් බල්ලෙක්‌ ආවත් හරකෙක්‌ ආවත් ඒ බල්ලා, ඒ හරකා මේ සංසාරයේ මගෙ අම්ම තාත්ත වෙලා තියෙනවාමයි. සහෝදරයෙක්‌ ඥතියෙක්‌ වෙලා තියෙනවමයි. ඒ සා ඥතීත්වයක්‌ අපිට ලොව තුළ තියෙනව. ඒ ඥතීත්වය දකිද්දි තවත් සංසාරයෙ දුර යන එක තේරුමක්‌ නෑ කියල අපි දකින්න ඕන. ඒ නුවණින් දකිමින්ම තමයි අවබෝධය කරා එන්න ඕන.

සක්‌කායදිට්‌ඨීය මුලින්ම දුරු කරන්නෙ සෝවාන් ඵලයෙදි. සෝවාන් ඵලය තුළදිත් ඒ කෙනා තුළ කාම රාග, පටිඝ තියෙනව. සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය අවසන් වෙන්නෙ රහත් වුණායින් පස්‌සෙ. සෝවාන් ඵලයෙදි පටිච්චසමුපන්න ක්‍රියාවලිය දකිනව විතරයි. මේ ගමනෙදි ඉදිරියට යද්දි කුසල් සංස්‌කාර ඇතිකරගන්න ඕන. එහෙම නම් කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි ශ්‍රද්ධාව, ප්‍රඥව කියන කාරණය ඇතිවෙන්නෙ. ඒ නිසා වැඩිවැඩියෙන් කල්‍යාණ මිත්‍ර ඇසුර සකස්‌ කරගෙන, සද්ධර්ම ශ්‍රවණය කරමින්, ඒ ශ්‍රවණය කරන්නා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන විට ලෝකයේ යථාර්ථය වැටහෙන්න පටන් ගන්නව. එතනදි අපි ලෝකයේ තියන්නෙ දුකය කියන කාරණය දකිනව. ඒ දුකට හේතුව තෘෂ්ණාව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. දුකින් මිදෙන්න නම් අපි තෘෂ්ණාව අඩුකර ගැනීමේ මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සංසාර ගමනෙ සැප අවශ්‍ය නම් නිරෝධය අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරල තියෙනව. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ලෞකික සැපයන් තියෙනව, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ලෝකෝත්තර සැප තියෙනව. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළයි, අපි සිටිය යුත්තෙ.

හිතන්න කෙනෙක්‌ කරන ක්‍රියාවක්‌ කෙරෙහි තරහක්‌ ඔබ තුළ ඇතිවෙනව. ඒ ඇතිවෙන්නෙ ඒක මට වුණා කියල හිතල. සක්‌කායදිට්‌ඨීය ඇතිවුණ කෙනෙක්‌ තුළත් මේ තරහ ඇතිවෙනව. නමුත් සාමාන්‍ය කෙනෙක්‌ට වඩා එහා ගිහින් එයා ඒක දකිනව. හේතුඵල ධර්ම අනුව ඒක දකිනව. ඒක නිසා බලවත් ආකාරයෙන් එයා ඒක ඉස්‌සරහට අරගෙන යන්නෙ නෑ. එයා අනිත්‍ය සංඥව වඩල තියෙන නිසා.

ඒ විදියට තරහ ඇතිවෙනව. ඒ ඇතිවෙච්ච ගමන් එයාට අවබෝධ වෙනව. ඊට පස්‌සෙ සතියෙ, සිහියෙ එයා පිහිටනව. මේක මට අයිති දෙයක්‌ නෙමේ කියල. ඔබට ඊයේ දවසෙ කේන්තියක්‌ ආව නම් අද ඒක නෑනෙ. ඊයෙ දවසෙ කේන්තියක්‌ ආවෙ කුමක්‌ නිසාද කියල දැන් ඔබ දුක්‌වෙනව නේද? නමුත් ඒ කේන්තිය ඊයෙ ඔබේ කරගත්ත. අද වෙද්දි තේරෙනව ඒ කේන්තිය ඔබට අයිති නෑ කියල. කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය පිටිපස්‌සෙ ඇතිකරගත්ත අකුසලය ඔබ පිටිපස්‌සෙ තියෙනව.

අද දවසේ ඔබට කේන්තියක්‌ ආව නම් ඔබට ඒ කේන්තියත් අයිති නෑ. කේන්තියක්‌ ආවෙ ඇයි? බාහිර රූපයක්‌ ඵස්‌සය වුණ නිසා. අපි ගැටෙන රූපයක්‌ පස්‌සය වුණා. අපි ගැටෙන සිතුවිල්ල ඇතිවුණා. ඔන්න කේන්තිය ඇතිවුණා. ඉතින් ඒ කේන්තිය අපිට අයිති නෑ කියල දකින්න ඕන. ඵස්‌සය නිසා ඇති වුණ දෙයක්‌. අපිට අයිති නැති දෙයක්‌ අපි අපේ කරගන්න යන්න ඕන නෑ. ඒ නිසා සෝවාන් කෙනා තුළත් කේන්තිය තියෙනව. නමුත් ධර්මානුකූලව එයා සිතන නිසා ක්‍රමානුකූලව එයා ඒක ඉවත් කරගන්නව. අපිට කේන්තියක්‌ ඇතිවුණත් ඇති වෙන්නෙ පසුගිය ආත්මෙක අපි කාවහරි කේන්ති ගස්‌සපු නිසාමයි. ඒ හේතුඵල ධර්මය. සමහරුන්ගේ ජීවිතයේ ගැටීම් ගොඩක්‌ වැඩියි. ඔබ මේ මොහොතෙ කඳුළක්‌ හෙළනව නම් සංසාරයෙ කාට හරි කඳුළක්‌ දීල තියෙනව. මේ මොහොතෙ හිනාවෙනව නම් සංසාරයෙ ඔබ කාව හරි සතුටුකරල තියෙනව. මේක තමයි ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාව කියන්නෙ. මේ අචල ශ්‍රද්ධාවට ආවට පස්‌සෙ එයා ගැටෙන්නෙ නෑ. එයා සංස්‌කාරයට අනුව ජීවිතය දකිනව. ධර්මානුකූලව හිතද්දි කවදාවත් අපි ගැටීමකට යන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ තුළ මහා කරුණාව සකස්‌ වෙන්නේ කොහොමද? ධර්මානුකූලව ලෝකය ගැන සිතනව. බුදුරජාණන් වහන්සේ දකිනව මේ ලෝකෙ හැම සතෙක්‌ම මට අම්ම වෙලා තාත්ත වෙලා තියෙනව කියල. බුදුරජාණන් වහන්සේ දකිනව මේ ලෝකයේ හැම දෙවියෙක්‌ම, මනුෂ්‍යයෙක්‌ම, තිරිසන් සතෙක්‌ම, ප්‍රේතයෙක්‌ම මට සංසාරයෙ ඥතියෙක්‌ වෙලා තියෙනව කියල. ඒක දකින්නෙ ධර්මය තුළ. ධර්මය තුළ දකිද්දි කොතැනකවත් ගැටෙන්නෙ නෑ. ඔබට යම් තරහකාරයෙක්‌ ඉන්නව නම් ඒ කෙනා සංසාරයෙ මගෙ අම්මා හෝ තාත්ත හෝ වෙලා හිටිය කියල හිතන්න. එතකොට තරහ එන්නෙ නෑ. මේ විදියට ධර්මය තුළින් දකිද්දි පේනවා මේ මුළු ලෝකයම මගේ ඥතීන් කියල. එතැනින් තමයි මහා කරුණාව ආරම්භ වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ රාහුල දිහා බලපු ඇහෙන්ම සුනීත දිහා බලන්නෙත් අන්න ඒ දැක්‌ම නිසා.