තරුණයෙක්‌ සෝවාන් වුණත් එයා හෙට විවාහ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක්‌ නෑ. විශාඛාව සෝවාන් වෙන්නෙ අවුරුදු හතේදිනෙ. පස්‌සෙ එයා අවුරුදු දහහතරෙදි කසාද බඳිනව. දරු මුණුපුරන් ලබනව. ඒ සියල්ල කරනව. කෝටි ගාණක්‌ වටින මහා මේඝ පළඳනවා පැළඳගෙන තමයි හිටියෙ. සෝවාන් වුණා කියල රත්තරන්, මාළ වළලු අයින් කරන්න ඕන නෑ. හැබැයි විශාඛාවක්‌ ඒව පළඳගෙන හිටියට ඒව කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකරගෙන හිටියෙ නෑ. ඒක ඕන වෙලාවක අතහරින්න එයා දක්‌ෂ වුණා. ඒ නිසා සෝවාන් ඵලය කියන්නෙ සාමාන්‍ය සමාජයෙන් පලා යැමක්‌ නෙමේ. සමාජය තුළ ජීවත්වෙමින් ඒ කටයුතු කරමින් අපිට ලබන්න පුළුවන් බොහොම සරල තැනක්‌. හැබැයි ඒ සරලභාවය අපි දකින්න ඕන නුවණින්. මේක ගැඹුරුත් නෑ, හැබැයි ලේසිත් නෑ. ඒ වුණත් අමාරුයි කියල අත්හැරල දැම්මොත් අපිට මේක කරගන්න හම්බවෙන්නෙ නෑ. බිම්බිසාර රඡ්ජුරුවො රටක්‌ පාලනය කළේ සෝවාන් ඵලයට පත්වෙල.

ඊළගට විචිකිච්ඡාව ගනිමු. විචිකිච්ඡාව කියන්නෙ තෙරුවන් කෙරෙහි තියෙන සැකය. මේ සැකය නැතිකරගන්න පුළුවන් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවෙන්ම පමණයි. එහෙම ශ්‍රද්ධාව ඇතිකරගත් කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි චතුරාර්ය සත්‍ය කෙරෙහි පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය කෙරෙහි සැකයක්‌ නෑ. එහෙම සැකය බැහැර කරපු තැන විචිකිච්ඡාව බැහැර වෙනව. ඒ සැකය නිසා එයා අන්‍ය සීතවෘත කෙරෙහි බැඳෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙමයි එයා ඉන්නෙ. හේතුඵල ධර්මයන් මේව. මේක නැතුව මේක සිද්ධ වෙන්නෙ නෑ. ඔබට යම් නරකක්‌ වුණ විට ඒක හේතුඵලයක්‌ විදිහට දකිනව හැරෙන්න ඒක නැති කරගන්න අපි අන්‍ය වෘත කෙරෙහි ඇදී යන්න ඕන නෑ. මේක නැතිකරන්න යැමේදි ඇතිකරගෙන නැතිකරගන්නව කියන කාරණාවෙන් අපිට නිදහසක්‌ ලබාගන්න බෑ. මොකද සංසාරයේ කළා වූ අප්‍රමාණ වූ අකුසල් අපි පිටිපස්‌සෙ තියෙනව. ඒ වගේම සංසාරයෙ කළා වූ අප්‍රමාණ කුසලුත් අපි පිටි පස්‌සෙ තියෙනව. ඒ වගේම මේ මොහෙතෙත් කුසල් අකුසල් රැස්‌ කරනව. ඒ නිසා මේක එහෙම කරල අවසන් කරන්න බෑ. මේකෙ නිදහසක්‌ දකින්න නම් වෙන කොතනකටවත් ගිහිල්ල වැඩක්‌ නෑ. එහෙම ගිහිල්ල යම් තාවකාලික සැනසීමක්‌ ලැබෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඒ සහනය ලැබුවට අපිට තවත් විපාකයක්‌ එනව. ඒක නවත්වන්න බැහැ.

ඇතැම් අය හිතනව මෙතනින් ජීවිතය නතර වෙනව කියල. මැරිල වැළලුවට පස්‌සෙ ආයෙත් පැවැත්මක්‌ නෑ කියල. නමුත් ශ්‍රද්ධාව සකස්‌ කරගත්ත කෙනෙක්‌ එහෙම දකින්නෙ නෑ. හේතුඵල දහම අනුව නැවත අපි ඉපදීමක්‌ ගැන විශ්වාස කරනව. එහෙම විශ්වාසයෙන් දකින අපිට ඕන නිරෝධයක්‌ මිසක්‌ තාවකාලික විසඳුම් නෙමේ. බුදුරජාණන් වහන්සෙ අපි අපු මේ සංසාර ගමනෙ දීර්ඝ භාවය ගැන හොඳ උදාහරණයකින් පැහැදිලි කරනව. උන් වහන්සෙ දේශනා කරනව පොළවෙ තියෙන සියලුම පස්‌ අරගෙන වෙරළු ගෙඩි ගාණට ගුලි කරන්න කියල. ගුලි කරල එක වෙරළු ගෙඩිය ගෙඩිය මේ මම ගෙවාගෙන ආපු එක කල්පයක්‌, මේ මම ගෙවාගෙන ආපු තව කල්පයක්‌ කියල අයින් කරන්න කියල. එහෙම ගණන් කරල වෙරළු ගෙඩි ඉවර වෙනව. නමුත් කල්ප ප්‍රමාණය අවසන් වෙන්නෙ නෑ කියල උන්වහන්සෙ දේශනා කරනව. එහෙම නම් අපි කවද මේක ඉවර කරන්නද? ඒ නිසා මේකෙ ගැඹුරයි අපි දකින්න ඕන. ඒ ගැඹුර අවබෝධ වෙද්දි අනාගතයෙදි ගොඩනැඟෙන ගැඹුර අපිට පේනව. දීර්ඝ අබුද්ධෝද්පාද කාලයක්‌ ඉදිරියට එන්නෙ. ධර්මයක්‌ නෑ. මේ ශාසනය දුර්වල වුණාට පස්‌සෙ මෛත්‍රී බුදුහාමුදුරුවො පහළ වෙන්න තවත් අවුරුදු ලක්‌ෂ විසිපහක්‌වත් යනව. අවුරුදු හැට හැත්තෑව අපිට දීර්ඝ වෙනකොට, හිතන්න අවුරුදු ලක්‌ෂ විසිපහක්‌ කියන්නෙ කෙතරම් නම් දීර්ඝ කාලයක්‌ද කියල. අවුරුදු ලක්‌ෂ විසිපහක කාලයකට ධර්මය ලෝකය තුළ නෑ. අපි කොතන ඉපදුනත් දුක තුළයි ඉපදෙන්නෙ ඕන. එදාට අපේ කදුළු නිවන්න කවුරුවත් නෑ. ඒ නිසා ඒක දුක තමයි අපි දකින්න ඕන. මෙතනින් ගැලවුනොත් අපිට කොතනටද යන්නෙ වෙන්නෙ කියන එක නුවණින් දකින්න ඕන. අන්න එහෙම දකිද්දි සංසාර භය කියන එක අපිට ඉබේම එනව. මේකෙන් මිදෙන්න ඕන කියන කාරණය අපි සකස්‌ කර ගන්නව. මේක අපිට පොදුවේ කතාකරල යන්න පුළුවන් ගමනක්‌ නෙමෙයි. සංසාර භය තමන්ට තනියෙන් දැනිල තමන් තනියෙන්ම ගැලවිලා යන්න ඕන. මොකද ලෝකය කියන එක සුන්දරයි. කොතන බැලුවත් සුන්දරත්වය කියන කාරණය තියෙනව. ඒ සුන්දරයි කියන්නෙ අනිත්‍යයි කියන නිසාමයි. හැම දේම වෙනස්‌ වෙන නිසාමයි අපි ඒ දේවල් සුන්දරයි කියල දකින්නෙ. ඒව වෙනස්‌ වෙන්නෙ නැත්නම් හැමදාම එකම විදිහට එකම තැන තියෙනව නම් ඒ දේවල සුන්දරත්වයක්‌ පේන්නෙ නෑ.

ඒ සුන්දරත්වය නිසා අපි ලෝකයෙන් ගැලවෙන්න කැමති නෑ. ඒකයි මේක දුර්ලභ දෙයක්‌ බවට පත්වෙන්නෙ. ඒ නිසයි බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ සෝවාන් වූ අයකුට ගෙවන්න තියෙන්නෙ මේ අතට ගත්ත පස්‌ ප්‍රමාණය විතරයි. මහපොළවේ තියෙන පස්‌ ප්‍රමාණය ඔබ ගෙවල ඉවරයි කියල. එච්චර දුකක්‌ එක පස්‌ මිටකට සීමා කරනව. මේක අපි තේරුම් ගත යුත්තේ ශ්‍රද්ධාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව අපිට මේක තේරුම් ගන්න බෑ. ක්‍රිස්‌තුස්‌ වහන්සේ, අල්ලා දෙවියන් මේ ධර්මය කියන්නෙ නෑ. ඒ අය හුදු පින කියන තැන තමයි අපිව නතර කරල තියෙන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ගාණක්‌ පෙරුම් පිරුවෙ ඒ කාටවත් දකින්න බැරි උතුම් ප්‍රඥව ලබන්න. ඒ නිසා ඒ දැක්‌ම තුළ අපි ප්‍රයෝජනයක්‌ ගත යුතුයි. නැත්නම් හුදු පින ගැන හිතමින් අපි ක්‍රිස්‌තියානි කෙනෙක්‌, මුස්‌ලිම් කෙනෙක්‌ නැවතුන තැන තමයි නැවතිලා ඉන්නෙ. බුදුරජාණන් වහන්සේ හැර කිසිම ශාස්‌තෘවරයෙක්‌ පින සංස්‌කාරයක්‌ විදිහට දැක්‌කෙ නෑ. පින අනිත්‍ය කියන කාරණය දැක්‌කෙ නෑ. ඒ නිසා මා නැවත මතක්‌ කරන්නෙ තමා කෙරෙහි අනුකම්පාවෙන් තමයි මේ ගමන යන්න ඕන. අනුන් ගැන සිතල නෙමේ. එහෙම නැතිව අපට මේ ගමන යන්න බෑ. මොකද ලෝකය හැම වෙලාවෙම අපිව බැඳීම් තියෙන දිසාවටම තමයි අරගෙන යන්න හදන්නෙ. ඒකයි මාරය කියන්නෙ හිත කියල බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ. රූපය කියන්නෙ මාරය. රූපයක්‌ දැක්‌කොත් ඒ රූපයට ඇලෙන ස්‌වභාවයෙන්මයි අපි ඉන්නෙ. රූපයක්‌ තුළින් සිතක්‌ සකස්‌ වුණොත් ඒ සිත අපිව කෙලෙස්‌ සකස්‌ කරන දිසාවටමයි අරගෙන යන්නෙ.

ඒ නිසා හිත මාරයා කියල දකිමින් හිත කියන ලෝකයෙන් බැහැර ලෝකයට, භව නිරෝධ පැත්තට යන්න අපි දක්‌ෂ වෙන්න ඕන. හැබැයි රූපයේ අනිත්‍යභාවය දැකීම පමණක්‌ම ප්‍රමාණවත් වෙන්නෙ ශ්‍රද්ධාවෙනුයි සීලයෙනුයි පරිපූර්ණ වුණාට පස්‌සෙ. මෙතනදි අනුන්ගෙ රූපයෙ අනිත්‍යභාවය දකින්න පෙර තමන්ගෙ රූපයෙ අනිත්‍යභාවයයි දකින්න ඕන. මොකද අපි මේ රූපයටයි බැඳිල තියෙන්නෙ. අනිත් රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන්නෙ මේ රූපය කෙරෙන්මයි. එනිසයි තමාගේ රූපය කෙරෙහි පළමුව අනිත්‍ය සංඥවෙන් බලන්න ඕන. කොයි රූපය දැක්‌කත් ඒ රූපයෙ යථා ස්‌වභාව දකින්න අපි දක්‌ෂ වෙන්න ඕන. ඔබට ගොඩක්‌ වෙලා එරමිණිය ගොතාගෙන භාවනා කරන්න බැරි වෙන්න පුළුවන්. අනේපිඩුසිටුතුමා, විශාඛාව සෝවාන් ඵලයට පත්වෙන්නෙ එරමිණිය ගොතාගෙන මාස ගණන් භාවනා කරල නෙමේ. ඒ අය නුවණින් මෙනෙහි කරලමයි සෝවාන්ඵලයට පත්වුණෙ. ඒ අයට බුදුරජාණන්a වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර තිබුණ. අපිට ඒක නෑ. නමුත් අපි දක්‌ෂ නම් ඒකත් අඩු කරගන්න පුළුවන්. මේ මොහොතේම බුදුරජාණන් වහන්සේගේ රූපකාය අපේ ඉදිරියේ මවාගන්න පුළුවන්.