දස අකුසල්වලින් අත් මිදෙමු – 1

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දස කුසල් ධර්මයන් වැඩෙන ආකාරයෙන් පින්කම් කළ යුතුයි කියලා. පින්වත් ඔබ දස අකුසල් ධර්මයන් වැඩෙන ආකාරයට පින්කම් සිදුකොට ගතහොත්, ඔබ කරගත්තා වූ පිනේ ශක්‌තිය, අකුසල් මූලයන්ගේ බලවත්භාවය විසින් ගිල ගන්නවා. මෙම සටහන්වලින් භික්‌ෂුව උත්සාහ ගන්නේ පින්වත් ඔබට දස අකුසල් ධර්මයන් පිළිබඳව යම් දැනුවත් කිරීමක්‌ කරන්නයි.

වර්තමාන සමාජයේ ජීවත්වන ගිහි පින්වතුන්ලා බොහොම උද්යෝගයෙන් ධනය වියදම්කොට පින්කම් සිද්ධකර ගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දස කුසල් ධර්මයන් වැඩෙන ආකාරයෙන් පින්කම් කළ යුතුයි කියලා. පින්වත් ඔබ දස අකුසල් ධර්මයන් වැඩෙන ආකාරයට පින්කම් සිදුකොට ගතහොත්, ඔබ කරගත්තා වූ පිනේ ශක්‌තිය, අකුසල් මූලයන්ගේ බලවත්භාවය විසින් ගිල ගන්නවා. එළදෙනක්‌ සිටිනවා, පැටවෙක්‌ සමඟ. ඔබ එම එළදෙනට පසුදා උදෑසන කිරිදොවා ගැනීමේ බලාපොරොත්තුවෙන්, තණකොළ, පුන්නක්‌කු දෙමින් හොඳින් පෝෂණය කරනවා. නමුත් ඔබ උදෑසන එළදෙනගේ තන බුරුල්ල සෝදලා නොවේ කිරි දොවන්නේ. එම නිසා තන බුරුල්ලේ තැවරී ඇති ගොම, කිරි බාල්දියට මුසු වී දොවාගත් කිරි නරක්‌ වී යනවා. පින්වත් ඔබ වෙහෙස මහන්සියෙන් දානයේ ශීලයේ හා භාවනාමය පින්කම් සිදු කරගත්තත්, එම පින්කම් දස අකුසල් ධර්මයන්ගෙන් කිලිටි වුණොත්, එළදෙනගේ තන බුරුල්ල නොසෝදා කිරි දෙවීම සිදු කරන්නාක්‌ මෙන්, පින්වත් ඔබ ගමන් කරන්නේ දස අකුසල් මූලයන්ගෙන් කිලිටි වූ පින විපාකයට පැමිණවීමෙන් අඩු ආයුෂ උපත්, රෝගී උපත් සහ ශක්‌තිමත් ප්‍රේත නිරයන් ලෝකයේ උපද්දවීමයි. ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ ජීවත්වන ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩි සත්ත්වයින් කියන්නේ දස අකුසල් ධර්මයන්ගේ කිලිටි වූ පිනේ බලයයි.

මෙම සටහනින්, භික්‌ෂුව උත්සාහ ගන්නේ පින්වත් ඔබට දස අකුසල් ධර්මයන් පිළිබඳව යම් දැනුවත් කිරීමක්‌ කරන්නයි. දස අකුසල් කියන්නේ කයෙන්, වචනයෙන් සහ සිතින් කෙරෙන්නා වූ අයහපත් ක්‍රියාවක්‌මයි. කයෙන් සිදුවෙන අයහපත් ක්‍රියාවන් තමයි සතුන් මැරීම, සතුන්ට හිංසා කිරීම, සොරකම් කිරීම සහ කාමයේ වරදවා හැසිරීම. වචනයෙන් සිදුවන අයහපත් ක්‍රියාවන් තමයි බොරු කීම, පිසුණාවාචා කීම, පරුෂ වචන කථා කිරීම සහ සම්ප්‍රප්පලාප කතා කිරීමයි. පින්වතුන්ලාට තේරෙන විදියට කියනවා නම්, ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා තුන තමයි සිතින් සිදුවන අයහපත් ක්‍රියාවන්.

කයෙන් සිදුවන සත්ත්ව ඝාතනය සහ හිංසා කිරීම ගැන මුලින්ම සටහන් තබනකොට මනුෂ්‍ය ඝාතනය සහ හිංසනය බලවත් විපාකයන් ලැබෙන අකුසල් කර්මයන් වෙනවා. මනුෂ්‍යභාවය තුළින් අති ශ්‍රේෂ්ඨම අවබෝධය ලබන ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා මොනම හේතුවක්‌ නිසාවත් ඝාතනයට ලක්‌වෙන්නේ නැහැ. එය ලෝක ධර්මතාවයක්‌ වෙනවා. නමුත් ලොව්තුරු බුදුරජාණන් වහන්සේලා අසත්පුරුෂ මාරයින්, දෙවියන්, මනුෂ්‍යයින් අතින් හිංසනයට, රුධිරය සෙලවීම්වලට ලක්‌වෙනවා. වසවර්ති මාරයා සහ දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට හිංසා කළ ප්‍රධාන අසත්පුරුෂ බලවේගයන් දෙක බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අතීත අකුසල් විපාකයන් නිසාමයි, උන්වහන්සේලා හිංසාවට ලක්‌වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේලාට කුමන හිංසාවක්‌ සිදුවුවද ඒවා කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සකස්‌වන්නේ නැහැ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේගේ රුධිරය සෙලවීම, මේ ලෝකධාතුවේ අතිශය රුදුරු අකුසල විපාකය වන ආනන්තරීය පාපකර්මයක්‌ බවට පත් වෙන්නේ.

වර්තමානයේ පින්වත් ඔබට සිතෙන්නට පුලුවන් බුදුරජාණන් වහන්සේ පිරිනිවීගොස්‌ ඇති නිසා, අපි අතින් බුදුරජාණන් වහන්සේට අගෞරවයක්‌, මානසික හිංසනයක්‌ සිදුවීමට හැකියාවක්‌ නැහැ කියලා. මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී දේශනා කරනවා, “මහණෙනි, මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක, ශාස්‌තෘන් වහන්සේ බවට පත්වෙනවා” කියලා. මෙයින් අදහස්‌ වෙන්නේ, බුදුරජාණන් වහන්සේ කියන උතුම් අර්ථයත්, ධර්ම විනය කියන උතුම් අර්ථයත් දෙකක්‌ නොව එකක්‌ම බවයි. බුදුරජාණන් වහන්සේ, ධර්ම විනය නිසා බබලනවා, ධර්ම විනය බුදුරජාණන් වහන්සේ නිසා බබලනවා. බුදුරජාණන් වහන්සේගේ ඉහත දේශනය, පින්වත් ඔබ දකින්න දක්‌ෂ වෙන්න ඕන. ජීවමාන බුදුරජාණන් වහන්සේ, එනම් ධර්ම විනය කියන ශාස්‌තෘන් වහන්සේ වර්තමානයේ ජීවමානව වැඩ සිටිනවායි කියන කාරණය. ඒ නිසාම වර්තමානයේ දී පින්වත් ඔබ තුළින්, සතිය, සිහිය ගිලිහුණොත් ශාස්‌තෘන් වහන්සේට අගෞරවයක්‌, හිංසනයක්‌ සිද්ධවෙන්න පුලුවන්ය කියලා සිතන්න. ධර්ම විනය නමැති ශාස්‌තෘන්වහන්සේ තවමත් ජීවමානව සිටින නිසා, ගිහි පින්වත් ඔබ වගේම උතුම් පැවිදි උතුමන් ද ධර්ම, විනය සමඟ කටයුතු කිරීමේ දී හුඟාක්‌ පරිස්‌සම් වෙන්න ඕන. වර්තමානයේ අපි ධර්ම විනයට අගෞරවයක්‌ කරන මොහොතක්‌ පාසා ජීවමාන ශාස්‌තෘන් වහන්සේට අගෞරව කළා වෙනවා, හිංසා කළා වෙනවා.

වරක්‌ කාශ්‍යප මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ බැහැ දැක ප්‍රකාශ කරනවා, “භාග්‍යවතුන් වහන්ස, දැන් ඉන්න තරුණ ස්‌වාමීන් වහන්සේලා වැඩිහිටි අපට ගරු කරන්නේ නැහැ. අපි කරන අවවාද අනුශාසනා තකන්නේ නැහැ. මම දැන් ආරණ්‍යය මැදින් වඩිනකොට තරුණ හිමිවරු දෙනමක්‌ ලොකු වාදයක පැටලිලා සිටිනවා මම දැක්‌කා” කියලා. අතීතයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කරන මේ පැමිණිල්ලේ සැබෑම අර්ථය වෙන්නේ සමහරක්‌ ස්‌වාමීන් වහන්සේලා, තම ශාස්‌තෘන් වහන්සේට, ධර්ම විනයට ගරු කරන්නේ නැහැ කියන අර්ථය නේද? ගරු නොකිරීම කියන අර්ථය තුළ මානසිකව හිංසා කිරීම කියන අර්ථය තිබෙනවා. පැවිදි පක්‌ෂය වූ අපි උතුම් ධර්ම විනයෙන් ඈත් වෙනකොට ජීවමාන ශාස්‌තෘන් වහන්සේට මානසිකව හිංසා කිරීමේ, අගෞරව කිරීමේ බලවත් අකුසලය කරා අපි ගමන් කරනවා. මේ අනතුරේ විපාකයන් නිසා තමයි, අනාගතයේ යම් දවසක තුන්සිවුරත්, පාත්‍රයත් අතුරුදහන් වුණ, අතේ කහපාට නූල්පටක්‌ පමණක්‌ බැඳගත්ත කාසායකණ්‌ඨක කියන තැනට සමාජය ගමන් කරන්නේ. කාසායකණ්‌ඨක යනු වර්තමානයේ අප උතුම් ධර්ම, විනය නමැති ජීවමාන ශාස්‌තෘන් වහන්සේට කරන මානසික හිංසනයේ අගෞරවයන්ගේ ඵලයක්‌මයි. අනාගතයේ බිහිවෙන මුරුග සංඥාව නමැති මනුෂ්‍යයාගේ මනෝභාවය, එනම් රුධිරය දකින්නට කැමති, මිනීමස්‌ අනුභව කරන, එකිනෙකා මරා දමන ස්‌වභාවය යනු වර්තමානයේ අපි උතුම් ජීවමාන ශාස්‌තෘන්වහන්සේ වන ධර්ම විනයට කරන්නා වූ අගෞරවයත් හිංසනයන්ගේත් හේතුවක්‌ම වෙනවා.

දෙවැනිව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සූත්‍රගත ධර්මය, වර්තමාන සමාජය තුළ බලවත් ආකාරයෙන් විකෘති කිරීම්වලට ලක්‌ කරනවා. ධර්මයට වැරදි අර්ථකථනයන් දෙනවා. ප්‍රාතිමෝක්‌ෂ ශීලයට අදාළ විනය කාරණයන්ට තම තමන්ගේ මනාපයට කරන අර්ථ දැක්‌වීම සමාජය තුළින් අසන්නට ලැබෙනවා. සමාජය තුළ මෙවැනි ධර්ම විරෝධී ක්‍රියාවන් සිදුවන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව, වර්තමානයේ ධර්ම විනය නමැති ශාස්‌තෘන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවාය කියන කාරණය ගැන නොවැටහීමයි. ධර්ම විනයෙන් ඈතට ගිය භික්‌ෂුවට, බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස්‌ අවුරුදු දෙදහස්‌ පන්සියයක්‌ වෙනවා. මුළු ලෝකයම එක ගොඩකට ගිහිල්ල, මෙම සටහන් තබන භික්‌ෂුව, හොරෙක්‌ කියලා චෝදනා කළත්, භික්‌ෂුවට බියක්‌, තනිකමක්‌, තැතිගැනීමක්‌ සකස්‌ වෙන්නේ නැහැ. මෙය සටහන් තබන භික්‌ෂුව තවමත් බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලගෙන, උන්වහන්සේගේ පියවර පසුපසින් වඩින භික්‌ෂුවක්‌ මිස බුදුරජාණන් වහන්සේගෙන් ඈත්වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් දුරස්‌වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන උන්වහන්සේගේ පියවර පසුපසින් වඩින භික්‌ෂුවට උන්වහන්සේගේ සම්බුදු ගුණය, සම්බුදු ඥානය, සම්බුදු මහා කරුණා ගුණය, සුවඳ තවමත් දැනෙනවා. ඒ නික්‌ලේෂි සම්බුදු අසිරිය, නික්‌ලේෂිව විඳීමකුයි, භික්‌ෂුව මේ සටහන නිමේෂයේදීත් පසුවෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දුරස්‌වෙලා නැහැ. ඈත්වෙලා නැහැ. ඒ නිසාම බය කියන කාරණය භික්‌ෂුව තුළින් නිෂේධ වෙලයි තිබෙන්නේ. මෙවැනි සටහනක්‌ තබන්න පුළුවන් පුද්ගලයන් දෙදෙනෙක්‌ මේ ලෝක ධාතුව තුළ සිටිනවා. එක පුද්ගලයෙක්‌ තමයි, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ නමැති මහා සිංහයාගේ ළයේ උපන් සිංහ පැටවෙකුට මෙවැනි සටහනක්‌ තබන්න පුළුවන්. දෙවැනි පුද්ගලයා තමයි, මානසික රෝගියෙකුටත් මෙවැනි සටහන් තබන්නට පුළුවන්. පින්වත් ඔබ හොඳාකාරව දන්නවා, සත්පුරුෂ ඔබ සැකහැර දන්නවා, මේ සටහන් තබන භික්‌ෂුව මානසික රෝගියෙක්‌ නොවේය කියන කාරණය. භික්‌ෂුව මෙවැනි සටහන් තබන්නේ මේ බිම් කඩේ ආර්ය මාර්ගය තුළ වීර්ය වඩන, බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන, උන්වහන්සේ පසුපසින් වඩින දහස්‌ ගණනක්‌ ස්‌වාමීන්වහන්සේලාට, ජවය, ශක්‌තිය, පූර්වාදර්ශයක්‌, පරමාදර්ශයක්‌ ලබාදීම සඳහාමය. ධර්ම විනය නමැති ශාස්‌තෘන් වහන්සේ වර්තමානයේදීත් ජීවමානව වැඩ සිටිනවා. ඒ උතුම් ධර්ම විනය නමැති ශාස්‌තෘන්වහන්සේට හිංසනයක්‌ අගෞරවයක්‌ කරන්න එපා කියන කාරණය සිහිපත් කොට දෙන්නයි භික්‌ෂුව මේ සටහන තබන්නේ.

උපසම්පදා භික්‌ෂූන් වන අපි, උතුම් ප්‍රාතිමෝක්‌ෂ ශීලයේ අර්ථයම විය යුතුයි. එසේත් නොමැති නම් එම අර්ථය ජීවිතයට එකතුකොට ගැනීමට වීර්යය වඩන පිරිසක්‌ම විය යුතුයි. සමාජය දෙස බලනකොට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ක්‍රීඩා තරු තිබෙනවා. සිනමා ක්‍ෂේත්‍රයේ සිනමා තරු, තාරකා තිබෙනවා. නමුත් සංඝරත්නය කවදාකවත් තරුවක්‌ වෙන්නේ නැහැ. ඉර, හඳ, තාරකා නිෂේධ කළ අර්ථයයි සංඝයා කියන්නේ. සංඝරත්නය යම් දවසක මේ අයෝමය ලෝකයට ආධිපත්‍යය පතුරන ඉර, හඳ, තාරකා තම විදර්ශනාමය අවබෝධඥානයෙන් විනිවිද දකිනවා. ඉර, හඳ, තාරකා යනු සතර මහා ධාතුවක්‌. සතර මහා ධාතුවක්‌ යනු අනිත්‍ය වූ ධර්මතාවයක්‌ බව තම විදර්ශනා ඥානයෙන් අවබෝධ කොට ඒ කෙරෙහි තෘෂ්ණාව ක්‍ෂය කළ අර්ථයයි, සංඝරත්නය කියන්නේ. ඉර, හඳ, තාරකා කෙරෙහි තෘෂ්ණාව ප්‍රහීනය කළ මහා සංඝරත්නය නැවත කවදාකවත් තරුවක්‌ වෙන්නේ නැහැ. තරුවක්‌ නොවන නිසාම ප්‍රදර්ශන භාණ්‌ඩයක්‌ ද වෙන්නේ නැහැ. සංඝරත්නය යනු උතුම් පූජනීය ප්‍රාතිමෝක්‌ෂ ශීලයේ අර්ථය පමණක්‌මයි. මේ උතුම් අරමුණ කෙරෙහි අපේ සතිය, සිහිය ගිලිහී යන මෙහොතක්‌ පාසා උපසම්පදා භික්‌ෂූන් වන අපි අතින් වර්තමානයේදීත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනයට අගෞරවයක්‌ හිංසනයක්‌ වෙන්න පුළුවන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින උතුම් පුණ්‍ය භූමි හැටියට ගැනෙන, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ, ස්‌වර්ණමාලි සෑ සමිඳුන් වහන්සේ, ථූපාරාම සෑ සමිඳුන් වහන්සේ, සෝමාවතී සෑ සමිඳුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ, ශ්‍රී පාද පද්ම වහන්සේ ඇතුළු අනෙකුත් උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින පුදබිම් වන්දනා කිරීමට යැමේදී, ඇසුරු කිරීමේ දී ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න යනවා කියන අර්ථයෙන්මයි, එම පූජා භූමිවලට පින්වතුන්ලා යොමු විය යුත්තේ. අගෞරවයෙන්, අපිරිසිදුව, අසංවරව, අශීලාචාරව එම පූජා භූමි ඇසුරු කිරීමෙන් පින්වත් ඔබ අතින් ජීවමාන ශාස්‌තෘන් වහන්සේට, උතුම් ධර්ම විනයට ඔබ අගෞරව කළා වෙනවා, හිංසා කළ වෙනවා. මෙවැනි අකුසල් බලවත් අනාගත විපාකයන් සකස්‌ කොට දෙන අකුසල් වෙනවා.

පින්වත් ඔබ දඹදිව වන්දනාවේ ගිහින් තිබෙනවා නම්, ඔබ දැකලා ඇති එම ප්‍රදේශ ආශ්‍රිතව පාරම්පරිකව ජීවත්වන මනුෂ්‍යයින් ඉතාමත් කටුක දුක්‌ විඳිනවා. බොන්න වතුර ටිකක්‌ නැහැ. ශරීරය පිරිසිදු කර ගන්න වතුර ටිකක්‌ නැහැ. අපිරිසිදු, අපවිත්‍ර, දුප්පත්, ජීවිත ගත කරන්නන්. මෙවැනි දර්ශනයන් දකින කොට පින්වත් ඔබ ධර්මයමයි මේ කටුකභාවයන් තුළින් දකින්න ඕනේ. වර්තමානයේ අපිරිසිදුභාවයෙන් දුක්‌විඳින මේ මනුෂ්‍යයෝ කියන්නේ, අතීතයේ බුදුරජාණන් වහන්සේගේ පාද ස්‌පර්ශයෙන් ආලෝකමත් වූ, පූජාභූමිවලට අගෞරව කළ අපිරිසිදු කළ, අවිනීතව හැසිරුණු අකුසල් විපාකයන්ගේ ඵලයන්මයි.

පින්වත් ඔබ පන්සලක ආරණ්‍යයකට, පූජා භූමියකට යා යුත්තේ, සප්ත බොඡ්ඣංගයන් වඩවාගන්නවාය කියන අරමුණෙන්මයි. සප්ත බොඡ්ඣංග ධර්මයන් කියන්නේ, සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි උපේක්‌ෂා, කියන කුසල් පාක්‌ෂික ධර්මයන්මයි. නමුත් වර්තමාන සමාජයේ සප්ත බොඡ්ඣංග ධර්මයන් වඩවා ගැනීමට පන්සලට, ආරණ්‍යයට යන පින්වතුන්ලාට, සමහරක්‌ තරුණ පින්වතුන්ලාගේ, අසංවර හැසිරීම්, නොගැළපෙන ඇඳුම්-පැළඳුම් නිසා, පංච නීවරණයන් සකස්‌වෙන පරිසරයක්‌ උදාවෙලා තිබෙනවා. පින්වත් ඔබ මොනම හේතුවක්‌ නිසාවත්, ආදරය කරන්න පන්සල් භූමිය, ආරණ්‍ය භූමිය තෝරගන්න එපා. ඔබලාගේ අසංවර, අවිනීත හැසිරීම් නිසා, සප්ත බොඡ්ඣංගයන් ජීවිතයට එකතුකොට ගැනීමට පන්සලට ආරණ්‍යයට පැමිණෙන පින්වතුන්ලා තුළ පංච නීවරණ ධර්මයන් ඇතිවෙනවා. පන්සල්, ආරණ්‍ය භූමි තුළ අසංවර ලෙස හැසිරීම් නිසා, මෙවැනි දේවල් දෑසින් දැකලා, සිතින් ස්‌පර්ශ කරලා, ශීලයෙන් දුර්වල වුණ, සිවුරු හැරගිය තරුණ ස්‌වාමීන් වහන්සේලා වගේම මැදිවියේ ස්‌වාමීන් වහන්සේලාත් හුඟාක්‌ සිටිනවා. ආදරය කිරීමට පින්වත් ඔබ පන්සල, ආරණ්‍ය භූමිය තෝරා ගතහොත්, එය ඔබ ජීවමාන ශාස්‌තෘන් වහන්සේට, උතුම් ධර්මවිනයට කරන බලවත් හිංසනයක්‌ වගේම අගෞරවයක්‌ වෙනවා. උතුම් ධර්ම විනය ආරක්‌ෂාකොට ගැනීමට වෙහෙසෙන ගෞරවණීය මහා සංඝරත්නය ද ඔබ මානසිකව හිංසනයට ලක්‌කළා වෙනවා. මෙවැනි අකුසල් පින්වත් ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනයට කරන හිංසනයක්‌, අගෞරවයක්‌ නිසාම, අනාගත විපාකය පිණිස, බලවත් දීර්ඝ, නිරයගාමී අකුසල් බවට පත්වෙනවා.