දස අකුසල්වලින් අත් මිදෙමු – 2

ගිහි පින්වත් ඔබ කායික පිරිසිදු භාවයෙන් යුතුවයි, මානසික පිරිසිදු භාවය සකස්‌කොට දෙන සම්බුද්ධ වන්දනාවට, සම්බුද්ධ පූජාවට සහභාගි විය යුත්තේ. කවදාකවත් අඩුදෙයක්‌, පොඩි දෙයක්‌, ලාභදෙයක්‌ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න එපා. ඔබ සතු උතුම්ම දෙය, වටිනාම දෙය, අග්‍රම දෙය බුදුරජාණන් වහන්සේට කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව පූජා කරන්න. පයිප්පය ඇරලා යෝගට්‌ කෝප්පයට පැන් පූජා කරන්න එපා. නොවටිනා භාජනයකට බත් හැන්දක්‌ බෙදලා, වෑංජන හැන්දක්‌ බෙදලා බුද්ධ පූජාව පූජා කරන්න එපා. බුදු පිළිම වහන්සේ ඉදිරියට කකුල් දෙක දික්‌කරගෙන වන්දනා කරන්න එපා.

සෑම බුද්ධ වන්දනා ඉරියව්වකදීම, ධර්ම විනය නමැති, ශාස්‌තෘන් වහන්සේ තමන් ඉදිරියේ ජීවමානව සිටිනවාය කියන ගෞරවය ඔබ තුළ ඇතිකොට ගන්න ඕනේ. එසේ නොවුණහොත් වර්තමානයේදී ද පින්වත් ඔබ අතින් බුදුරජාණන් වහන්සේට අගෞරවයක්‌, හිංසාවක්‌ සිද්ධ වෙනවා, එම අගෞරවයන්, බරපතළ අනාගත අකුසල් විපාකයන් සකස්‌කොට දෙනවා වගේම, දිනෙන් දිනම අශ්‍රද්ධාව ඔබ තුළ වැඩෙනවා.

ඉහත දස අකුසල්වලට අදාළව, කාය කර්මයන් හැටියට ගැනෙන සත්ව ඝාතනය සහ සත්ව හිංසනයට අදාළ සටහනෙන් පින්වත් ඔබට වැටහෙන්න ඇති. වර්තමානයේදී ද, පින්වත් ඔබ අතින් බුදුරජාණන් වහන්සේට වගේම ජීවමාන ශාස්‌තෘන්වහන්සේ වන ධර්ම විනයට ද හිංසනයන් සහ අගෞරවයන් සිදුවිය හැකිය කියන කාරණය.

බුදුරජාණන් වහන්සේට සහ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන ධර්ම විනයට සිදුවන හිංසනය ගැන සටහන තබන කොට භික්‌ෂුව වැඩසිටි ගම්මානයේ මහත්මයෙක්‌, රාත්‍රියේ මත්වතුර පානය කරල නිවසට ඇවිල්ලා, නිවසේ බුද්ධ වන්දනා කරමින් සිටි තම බිරිඳට පහර දී, අනුන්ට වඳින්න ඉස්‌සර වෙලා, තමන්ට කන්න දෙන මනුෂ්‍යයාට වඳින්න කියලා, ඇය වන්දනා කරපු කුඩා බුදුපිළිම වහන්සේව පොළවේ ගැසූ සැමියෙක්‌ ගැන භික්‌ෂුව අසා තිබෙනවා. මෙවැනි අකුසල් ක්‍රියාවන් ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනයට කරන්නා වූ බරපතළ හිංසනයන්, අගෞරවයන් හැටියටයි ගැනෙන්නේ.

යම් පින්වතෙක්‌ ඉහත සටහන කියවලා, තර්ක කරන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස්‌ හයසීයක්‌ වෙනවා. එම නිසා වර්තමානයේ බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම සිදු නොවන දෙයක්‌ය කියලා. එහෙම හිතන්න කැමති පින්වතුන්ලා එහෙම හිතපුදෙන්. එහි වරදක්‌ නැහැ. පින්වත්, දසකුසල් ධර්මයන් ජීවිතයට නිවැරදිව එකතුකොට ගැනීමට කැමති පින්වතුන්ලා ඉහත අර්ථයන් ජීවිතයට එකතුකොට ගන්න දක්‌ෂ වෙන්න.

දෙවැනි බරපතළ මනුෂ්‍ය ඝාතනය සහ හිංසනය බවට පත්වෙන්නේ, රහතන් වහන්සේ නමක්‌ ඝාතනය කිරීම සහ හිංසනයට ලක්‌ කිරීමයි. රහතන් වහන්සේ නමක්‌ ඝාතනය කිරීම අනිවාර්යයෙන්ම අවීචි මහා නිරයට අයත් ආනන්තරිය පාපකර්මයක්‌ වෙනවා. රහතන් වහන්සේ නමක්‌ කායිකව හෝ මානසිකව හිංසනයට ලක්‌ කිරීම බරපතළ දීර්ඝ දුක්‌ සහිත නිරයගාමී අකුසලයක්‌ වෙනවා. රහතන් වහන්සේ නමක්‌ එවැනි ඝාතනයකට හෝ හිංසනයකට ගොදුරු වීමට සිදුවන්නේ ද උන්වහන්සේගේ අතීත අකුසල් විපාකයන් නිසාමයි. රහතන් වහන්සේ නමක්‌ ඝාතනයකට සහ හිංසනයට ලක්‌වීම පැවිදි පින්වතුන් අතින් වගේම ගිහි පින්වතුන් අතිනුත් සිදුවිය හැකියි. ඝාතනය උදෙසා, හිංසනය උදෙසා කෙරෙන්නා වූ පූර්ව සැලසුම් සහ උපයෝගිකොට ගන්නා වූ කුරිරු, වියරු ක්‍රමවේදයන්ගේ ස්‌වභාවය අනුව අකුසල් විපාක දීමේ ස්‌වභාවය වැඩිවෙනවා.

වර්තමාන සමාජයේ ගිහි පින්වත් ඔබ මහා සංඝරත්නය සමග කටයුතු කිරීමේ දී හුඟක්‌ පරිස්‌සම් වෙන්න ඕනේ. මොකද යම් භික්‌ෂුවකගේ අවබෝධාත්මක ස්‌වභාවය කථාබහෙන්, හැසිරීමෙන්, බාහිර සාධකයකින් හඳුනගන්න බැහැ. අතීතයේ ශිල්ප ශාස්‌ත්‍ර නොහැදෑරූ තරුණයෙක්‌ සිටියා. මේ තරුණයා උතුම් පැවිදි උපසම්පදාව ලබා බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා කැලයට ගොස්‌ රූපයේ අනිත්‍යභාවය දකිමින් භාවනා කළා. කෙටි කාලයකින් උන්වහන්සේ රහතන් වහන්සේ නමක්‌ බවට පත් වුණත්, උන්වහන්සේ බාහිර සමාජයට කියන්නට දැනගෙන සිටියේ රූපය අනිත්‍යයි, සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියන ධර්මය පමණක්‌මයි. රාත්‍රියට උන් වහන්සේ සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියලා සඡ්ඣායනය කරනකොට දෙවිවරුන්ගේ සාධුකාර දෙන හඬ දසත පැතිරෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ ලකුණ්‌ඨභද්දිය කියලා බොහෝම උසෙන් අඩු, රූපයෙන් අවලස්‌සන රහතන් වහන්සේ නමක්‌ වැඩ සිටියා. උන්වහන්සේ ගම්මානවලට පිණ්‌ඩපාතය වැඩියහම ගමේ ළමයි, ලකුණ්‌ඨභද්දිය රහතන් වහන්සේට ටොකු අනිනවා. විහිළු තහළු කරනවා. ලකුණ්‌ඨභද්දිය රහතන් වහන්සේට ළමුන් අනින ටොක්‌ක තුළ උන්වහන්සේට වේදනාව තිබුණත්, උන්වහන්සේගේ ඵස්‌සය තුළ තෘෂ්ණාව නිරෝධය වෙලයි තිබුණේ. ඒ නිසාම උන්වහන්සේට අනින ටොක්‌කට, උන්වහන්සේගේ ප්‍රතිචාරය වුණේ ‘සුවපත් වෙත්වා’ කියන සිතුවිල්ල පමණක්‌මයි. බාහිර ලෝකය මනින දන්නාභාවයෙන් හෝ නොදන්නාභාවයෙන් භික්‌ෂුවකගේ අවබෝධාත්මකභාවය අපිට මනින්න බැහැ. එම නිසා ගිහි පින්වත් ඔබ සංඝරත්නය කියන අර්ථය, රහතන් වහන්සේ නමක්‌ය කියන අර්ථය තුළ දකිමින්ම කටයුතු කිරීමට දක්‌ෂ වෙන්න ඕනේ. අනුන්ගේ අවබෝධය අපිට වැදගත් නැහැ. අපේ අවබෝධය අපිට සාක්‌ෂාත් කොට ගත හැක්‌කේ අනුන්ගේ අවබෝධයන් ගැන සෙවීමෙන් හෝ සිතීමෙන් නොව අනුන්ගේ අවබෝධය ගැන සිතන, සොයන ඔබේ සිතුවිලිවල අනිත්‍යභාවය දැකීමෙන් පමණක්‌මයි. වර්තමානයේ අපි කියන්නේ, අතීතයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේත්, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේත් අවබෝධය ගැන සොයන්න, පරීක්‌ෂා කරන්න, සිතන්න ගිය අයයි. ඒ සාංසාරික පුරුදු තවමත් අපට තිබෙනවා. ඒ නිසාම උන්වහන්සේලා නිවීගියත් අපි තවමත් සොයනවා, පරීක්‌ෂා කරනවා.

ගිහි පින්වතුන්, මහා සංඝරත්නය සමග කටයුතු කරනවිට ශ්‍රද්ධාව, ගෞරවය කියන කාරණා දෙක තුළ සිටිමිනුයි කටයුතු කළ යුත්තේ. මහා සංඝරත්නය කෙරෙහි ගෞරවය, ශ්‍රද්ධාව සකස්‌කොට ගැනීමට නම් පින්වත් ඔබ මුලින්ම මහා සංඝරත්නය සතු ගුණයන් මොනවාද කියන කාරණය මුලින්ම දැනගැනීම වැදගත් වෙනවා.

මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණය කියලා කියන්නේ කාමයන්ගේ නිසරුභාවය දැකලා, සංසාර බිය දැකලා, සත්වයා තෘෂ්ණාවට ඇති දාසභාවය දැකලා, ගිහි ගෙදරින්, කෙලෙස්‌ ධර්මයන් වැඩෙන ගෙදරින් නික්‌මුණාය කියන අර්ථයයි.

තෘෂ්ණාව සියුම් කොට දුක නිරෝධය කරන සෘජු මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන හෙයින් මහා සංඝරත්නය උජුපටිපන්න ගුණයෙන් යුක්‌ත වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමැති දුක නැතිකරන සෘජු මාර්ගයේ වීර්යයෙන් ගමන්කොට සම්මා ඥාන තුළින් චුතූපපාත, පුබ්බේනිවාසානුස්‌සති ඥාණ, දිබ්බ චක්‌ඛු, දිබ්බ ස්‍රෝත වැනි ලෞකික ඥානයනුත්, සෝවාන් ආදී වූ විදර්ශනාමය ඥානයනුත් ජීවිතයට එකතුකොට ගත්තාය කියන අර්ථයෙන් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක්‌ත වෙනවා.

මහා සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණය කියලා කියන්නේ තමන් අත්දුටුවා වූ සාමීචිපටිපන්න ගුණයන්ගේ, උජුපටිපන්න ගුණයන්ගේ, ඤායපටිපන්න ගුණයන්ගේ අර්ථයන් ලෝකයාට දේශනා කරනවා. තමන් කාමයන්ගේ නිසරුභාවය දැකලයි, ලෝකයාට කාමයේ නිසරු බව දේශනා කරන්නේ. තමන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරමිනුයි ලෝකයාට ආර්ය මාර්ගය ගැන දේශනා කරන්නේ. තමා උතුම් ලෞකික, විදර්ශනා ඥානයන් ලබමිනුයි ලෝකයාට ඒවා ලබා ගැනීමේ මාර්ගය දේශනා කරන්නේ. මහා සංඝරත්නය සතු ඉහත උතුම් ගුණයන් හතර නිසාම මේ ලෝකයේ සිටින අති ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අටදෙනා වන සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය, අරහත්ඵලය සාක්‌ෂාත් කොට ගත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම විදර්ශනාමය ගුණය සංඝරත්නය කියන අර්ථය තුළ මුසුවෙලා තිබෙනවා. එම නිසාම දෙවියන්ගේ, බ්‍රහ්මයින්ගේ, මනුෂ්‍යයින්ගේ උතුම් දෙයින්, අග්‍රම දෙයින්, ප්‍රනීතම දෙයින්, පිරිසිදුම දෙයින්, පූජා ලැබීමට සුදුසු ලෝකයේ උතුම්ම පුණ්‍යකෙත මහා සංඝරත්නය වෙනවා.

පින්වත් ඔබ මහා සංඝරත්නය සමග කටයුතු කරන විට ඉහත ගුණයන්ට, ඥානයන්ට අදාළව ශ්‍රද්ධාවත්, ගෞරවයත් ඇතුවයි කටයුතු කරන්න ඕනේ. එසේ නොවන තැනදී පින්වත් ඔබ අතින් මහා සංඝරත්නය කියන අර්ථයට අගෞරවයක්‌, හිංසනයක්‌ වුණා වෙනවා. ඒ ඔබ අතින් අගෞරවයට හිංසනයට ලක්‌වෙන්නේ මේ ලෝක ධාතුවේ වැඩසිටින ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අටදෙනාගෙන් එක්‌ අයෙක්‌ බව ඔබ තේරුම් ගන්න ඕනේ.

පින්වත් ඔබට දස කුසල් ධර්මයන් එකතු කොටගෙන පින්කම් කරන්න අවශ්‍ය නම් ඔබ ගමේ පන්සලට, ආරණ්‍යයට, ස්‌වාමීන් වහන්සේ නමක්‌ මුණගැසීමට යා යුත්තේ මේ ලෝක ධාතුවේ වැඩසිටින ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අටදෙනා මුණගැසීමට යනවාය කියන චේතනාවෙන්මයි. එම උතුම් ගුණයන් සහ ශ්‍රේෂ්ඨභාවය පන්සලේ, ආරණ්‍යයේ වැඩ සිටින ස්‌වාමීන් වහන්සේලා තුළ තිබෙනවාද කියලා ඔබ සිතන්න, සොයන්න යන්න එපා. එතනදී පින්වත් ඔබ අකුසල් මූලයන් වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන්ට කොටුවෙනවා. බුදුරජාණන් වහන්සේ කොතනදීවත් දේශනා කරල නැහැ, ගිහි පින්වතුන්ලාට ස්‌වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න කියලා. මහා සංඝරත්නය අරමුණු කොට පන්සලේ, ආරණ්‍යයේ ස්‌වාමීන් වහන්සේලා සමග කටයුතු කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයම දන්නා ශාස්‌තෘන් වහන්සේ නමක්‌. අපි යමක්‌ දකින්නේ අතීතය, වර්තමානය ගැන පමණක්‌ හිතලා. බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයන් දේශනා කොට ඇත්තේ අනාගතය ගැනත් දැකලාමයි.

පින්වත් ඔබ ආලෝකය බලාපොරොත්තුවෙන් ස්‌වීච් එකක්‌ දැම්මාම, විදුලි බුබුළ දැල්වී ආලෝකය ලැබෙනවා. ස්‌වීච් එකේ ආලෝකය තිබෙන්නේද නැද්ද කියලා ඔබ සොයන්න යන්න අවශ්‍ය නැහැ. ආලෝකය අරමුණු කොටගෙන ඔබ ජනේලය විවෘත කළාම, ආලෝකය ලැබෙනවා. ඔබ ජනේලයේ ආලෝකය තිබෙනවාද නැද්ද කියලා සොයන්න යන්න අවශ්‍ය නැහැ. මේ දැක්‌ම තුළ සිටිමිනුයි පින්වත් ඔබ මහා සංඝරත්නය සමග කටයුතු කළ යුත්තේ. එසේ නොවන තැන පින්වත් ඔබ අතින් මහා සංඝරත්නයට අගෞරවයක්‌ සහ මානසික හිංසනයක්‌ සිද්ධවෙන්න පුළුවන්. සමහර පින්වතුන්ලා සිටිනවා, ස්‌වාමීන් වහන්සේලාට, පන්සලට බැණ බැණයි පන්සලට යන්නේ.