දස අකුසල්වලින් අත් මිදෙමු – 3

පින්වත් ඔබ දැකලා ඇති කොළඹ නගරයේ තිබෙන උද්ඝෝෂණවලදී, ස්‌වාමීන් වහන්සේලාට ආරක්‌ෂක අංශවල නිලධාරී පින්වතුන් බැටන් පොලුවලින් පහර දෙනවා. ස්‌වාමීන් වහන්සේලා ගිහි පින්වතුන් සමඟ පෙළපාලි, උද්ඝෝෂණවලට සම්බන්ධවීම සම්පූර්ණයෙන්ම ධර්ම විනයට පටහැනි, ධර්ම විනයට අගෞරවයක්‌ වන දෙයක්‌ බව ඇත්ත. නමුත් ඔබ සිතන්න, ආරක්‌ෂක නිලධාරි මහත්වරුන්ගේ බැටන් ප්‍රහාරවලට ලක්‌වෙලා, යම් ස්‌වාමීන් වහන්සේ නමක්‌ පාර අයිනේ වැටිලා සිටිනවා. යම් පින්වතෙක්‌ අපහසුවෙන් සිටින මේ ස්‌වාමීන් වහන්සේව දැකලා, තමන් ඇඳගෙන සිටින කමිසය ගලවලා බිම ආසනයක්‌ කොට අතුරලා, එම ස්‌වාමීන් වහන්සේ එම ආසනය මත වැඩ හිඳුවා මහා සංඝරත්නය අරමුණුකොට උන්වහන්සේට බෙහෙත් ගල්වා, උවටැන්කොට ගිලන්පස පූජා කළොත් එම පින්වතාට මහා සංඝරත්නය අරමුණු කොට සිදුකළ පූජාවන්ගේ ආනිශංස ජීවිතයට ලැබෙනවා.

පහර කෑමට ලක්‌වූ, උද්ඝෝෂණයට සම්බන්ධ වූ ස්‌වාමීන් වහන්සේට කළ රෝගී උපස්‌ථානයට, සංඝරත්නය අරමුණුකොට ලැබෙන කුසල් ආනිශංසය ලැබෙනවා නම්, එම ස්‌වාමීන් වහන්සේට බැටන් ප්‍රහාරය දුන් පින්වතුන්ටත් මහා සංඝරත්නයට කළ අගෞරවයට හා හිංසාවට අදාළ අකුසලය ලැබෙනවා. ඒවාට නියෝග දුන් පින්වතුන්ලාගේ සිට චේතනා සකස්‌ වෙනවා. ඒ වගේමයි උතුම් සංඝරත්නය කියන අර්ථයේ ගුණයන් දුර්වල කොටගෙන උද්ඝෝෂණය කිරීමට යාමෙන්, එම ස්‌වාමීන් වහන්සේට ද උතුම් ධර්ම විනයට හිංසා කිරීමේ, අගෞරව කිරීමේ අකුසලය ලැබෙනවා. ඉහත තුන් පිරිසෙන්, කවුද මෙතනදී බේරුණේ, සංඝයා අරමුණු කොටගෙන උපස්‌ථානයන් සිදුකළ පුද්ගලයා පමණක්‌මයි. පින්වත් ඔබ ස්‌විච් එක දමන්න. එවිට ඔබට ආලෝකය නියත වශයෙන්ම ලැබේවි. ස්‌විච් එකේ හරි වැරැදි ඔබ සොයන්න යන්න එපා. එහෙම සොයන්න ගියොත්, ආලෝකය ලැබීමට පෙරාතුව ඔබට විදුලිසර වදීවි. වර්තමානයේ සමහර පින්වතුන් මේ අනුවණකම කරගන්නා බව පෙනෙන්නට තිබෙනවා.

පින්වත් ඔබ ඔබේ නිවසේ දානමය පින්කමට, පිරිත්, ධර්ම දේශනා පින්කමට ස්‌වාමීන් වහන්සේලාට ආරාධනය කිරීමට විහාරස්‌ථානයට යනකොට, ඔබ තුළ චේතනාවක්‌ ඇතිවෙන්න ඕනේ, මා මේ යන්නේ මේ ලෝක ධාතුවේ වැඩසිටින ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අටදෙනා හමුවෙන්නය කියලා. එම නිසා ශ්‍රද්ධාව, ගෞරවය, කර්මය, කර්මඵල විශ්වාසය කියන අර්ථයන් තුනම, ජීවිත තුළ දරාගෙනයි එම ආරාධනා කිරීමේ කටයුත්තට ඔබ විහාරස්‌ථානයට යා යුත්තේ. කවදාකවත් රැකියාවට ගොස්‌ පැමිණෙන ගමන් අපිරිසිදුව, නොසුදුසු ඇඳුමෙන් ආරාධනා කිරීම්වලට විහාරස්‌ථානයට යන්න එපා. දුරකථනයෙන් ආරාධනා කරන්න එපා. කායික පිරිසිදුභාවය ඇතිකොටගෙන ගැළපෙන සුදු ඇඳුමක්‌ ඇඳගෙන අවේලාවක්‌ නොවන වේලාවක විහාරස්‌ථානයට යන්න. එහෙම යනකොට නායක ස්‌වාමීන් වහන්සේට දැහැත් වට්‌ටියක්‌, එසේත් නැත්නම් සීනි, තේකොළ, බුලත් අතක්‌ රැගෙන යන්න ඔබ දක්‌ෂ වෙන්න. අතීතයේ පටන් පැවතෙන යහපත් පුරුදු සමාජයෙන් අතුරුදන් කරන්න පින්වත් ඔබ දායක වෙන්න එපා. මහා සංඝරත්නය කියන්නේ පින් කෙතක්‌, එම නිසා මහා සංඝරත්නය දකින්නට යනකොට අබ ඇටයක තරම් දෙයක්‌ හෝ එම පුණ්‍ය කෙතේ රෝපණය කොට ගැනීමට ඔබ දක්‌ෂ වෙන්න.

පින්වත් ඔබ ඔබේ නිවසේ තිබෙන පින්කමට ආරාධනා කරන්නට විහාරස්‌ථානයට යනකොට, ඔබ සිතන්නේ ඔබ පමණයි විහාරස්‌ථානයට යන්නේ කියලා. ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරැදියි. ඔබේ පින්කමට ආරාධනා කරන්න ඔබ විහාරස්‌ථානයට යනකොට, ඔබ පසුපස ඔබේ පින්කමෙන් පින්ගන්න බලාපොරොත්තු වන ඔබේ මියගිය ඥාතීන්, දෙමාපියන්, ඔබ පසුපසින් විහාරස්‌ථානයට පැමිණෙනවා. මේ අය, දැඩි ප්‍රීතියකින් මේ මොහොතේ සිටින්නේ. අනේ අපිට පින්දෙන්න පින්කමක්‌ කරන්නයි යන්නේ. මගේ පුතා, දුව පන්සලට යනවා පින්කමට ආරාධනා කරන්න කියලා. නමුත් ඔබට මේ අය පෙනෙන්නේ නැහැ. මේ අය සමහර විට, පිනට කැමති පරදත්තූපජීවී ප්‍රේත සහ සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් වෙන්න පුළුවන්. පිනට කැමති එම ඥාතීන් සතුටින් ඉපිලෙමින් තමයි ඔබ පසුපසින් විහාරස්‌ථානයට යන්නේ. ඔබ නායක ස්‌වාමීන් වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කරනකොට, එම අයත් වන්දනා කරනවා. ඔබ දැහැත් වට්‌ටිය පූජා කරනකොට එම ඥාතීනුත් දැහැත් වට්‌ටියට අතගසනවා. මොකද අතීතයේ ජීවත්වෙච්ච අපේ වැඩිහිටියන්ගේ යහපත් පුරුදු තමයි, දැහැත් වට්‌ටියක්‌ පූජාකොට ස්‌වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම.

පින්වත් ඔබ ස්‌වාමීන් වහන්සේගේ හැඳුනුම්කමට, එසේත් නැතිනම් ලෝභකමට, දැහැත් වට්‌ටියකින් තොරව ආරාධනයකට විහාරස්‌ථානයට ගිය විට එම යහපත් පුරුදු දන්න ඥාතීන් ඔබ සමඟ ගැටෙනවා. එවිට ඔබ පින්කමේ ආරම්භය සකස්‌කොට ගන්නේ, පින් දීමට බලාපොරොත්තුවන මියගිය ඥාතීන් අසතුටුභාවයට පත්කරමින්. පින්වත් ඔබ දක්‌ෂ වෙන්න ඕනේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන විට එම මියගිය මවු දෙමාපියන් රැකගෙන පැමිණ අමෝහයට අදාළ යහපත් ගුණධර්මයන් තවදුරටත් රැකගෙන පින්කම සිදුකොට ගන්න.

පින්වත් ඔබ, පින්කමට ආරාධනා කිරීමට දැහැත් වට්‌ටිය නායක ස්‌වාමීන් වහන්සේට පිළිගැන්වූවාට පසුව, නායක ස්‌වාමීන් වහන්සේට මට අහවල් දිනයට මෙච්චරක්‌ සංඝයා වහන්සේලා අවශ්‍යයි කියලා සංඝරත්නයට නියෝග කරන්න යන්න එපා. එය සංඝයාට කරන බලවත් අගෞරවයක්‌ වගේම මානසික හිංසනයක්‌ වෙනවා. සමහර පින්වතුන්ලා දිනය සහ සහභාගි විය යුතු ස්‌වාමීන් වහන්සේලා සංඛ්‍යාව පිළිබඳව අවසන් තීරණය අරගෙනයි විහාරස්‌ථානයට යන්නේ, මහා සංඝරත්නය ඔබේ තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවාය කියන දැක්‌මෙන්. මේ දුර්වල දැක්‌ම මහා සංඝරත්නයට කරන මානසික හිංසනයක්‌මයි. මෙතනදී පින්වත් ඔබ, ගිහි මගේ තීරණය මහා සංඝරත්නය කළ යුතුයි කියන දැක්‌ම නොව මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කොට තීරණයකට පැමිණෙනවාය කියන දැක්‌මට එන්න දක්‌ෂ වෙන්න. ගිහි පින්වත් ඔබේ තීරණය නම් මුල්විය යුත්තේ, ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අටදෙනා කියන අර්ථයට ඔබ පිටුපෑවා වෙනවා. ඔබ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් තුළ සිටිමිනුයි පින්කමට මූලාරම්භය සකස්‌කොට ගන්නේ. විහාරස්‌ථානවල ස්‌වාමීන් වහන්සේලා ප්‍රමාණයෙන් අඩු නිසාම, සමහර පින්වතුන්ලා තමන්ගේ නිවසේ පින්කමට ස්‌වාමීන් වහන්සේලා වැඩමවාගන්න යන කටයුත්තේදී, දිනය සහ අවශ්‍ය ස්‌වාමීන් වහන්සේලා ප්‍රමාණය ගැන ලෝභ සිත් ඇති කොටගෙන මහා සංඝරත්නය කියන උතුම් අර්ථයට මානසික හිංසාවන් සහ අගෞරවයන් සිද්ධකොට ගන්නවා. පින්වත් ඔබ ඔබේ කුසල් ධර්මයන් කෙරෙහි ඡන්දයෙන් සංඝරත්නය කියන අර්ථය මුලටම ගන්න. සංඝරත්නයේ කැමැත්ත මතම ඔබ තීරණයකට එන්න. එසේ නොමැති තැන උතුම් සංඝරත්නයේ උතුම් ගුණයන්ට පිටුපාමින්, සංඝරත්නය දෙවැනි තැනට දමමින් පින්කමේ නාමයෙන් ඔබ අකුසල් මූලයන් දෙසටමයි ගමන් කරන්නේ.

පින්වත් ඔබ නායක ස්‌වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා මගේ තාත්තාගේ තුන් මාසේ දානය පළමුවැනිදා තිබෙන්නේ. මගේ පින්කමට ස්‌වාමීන් වහන්සේලා, පහළොස්‌නමක්‌ අවශ්‍යයි කියලා. එවිට නායක ස්‌වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහත්තයෝ, පළමුවැනිදාට පින්කමක්‌ යෙදිලා තිබෙනවා. එම නිසා දෙවැනිදාට පින්කම යොදා ගන්න, ස්‌වාමීන් වහන්සේලා දහනමක්‌ ලබා දෙන්නම් කියලා. පින්වත් ඔබ නායක ස්‌වාමීන් වහන්සේගේ එම ඉල්ලීම තර්කයකින් තොරව සතුටින් පිළිගන්න ඕනේ. එතැන තමයි ඔබ සිදු කිරීමට බලාපොරොත්තු වන පින්කමේ ශ්‍රද්ධාව, ගෞරවය සහ කර්මය, කර්මඵල විශ්වාසය කියන අත්තිවාරම ඔබ ශක්‌තිමත් කොට ගත්තා වෙන්නේ. එසේ නොවී, මෙච්චර ස්‌වාමීන් වහන්සේලා අවශ්‍යයි, මේ දිනයම අවශ්‍යයි කීමෙන්, ඔබ ස්‌වාමීන් වහන්සේලාව මානසික හිංසනයට මෙන්ම සංඝරත්නය කියන අර්ථයට අගෞරව කරගන්න එපා.

අහවල් දිනයම ඕනේ, මෙච්චර ස්‌වාමීන් වහන්සේලා ඕනේ කියන්නේ, ලෝභ සිතක්‌. ඒ සිත පිටුපස්‌සේ ද්වේෂය සැඟවිලා තිබෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ මහා සංඝරත්නයේ තීරණයට අවනත නොවී තම තීරණය මුලට ගැනීමේ මෝහය නිසාමයි. නායක ස්‌වාමීන් වහන්සේව මානසිකව හිංසනයකට පත්කොට, පින්වත් ඔබ එම පින්කම ඔබට අවශ්‍ය ආකාරයට සිදුකොට ගන්නවා. එම පින්කමේ අත්තිවාරම වෙන්නේ දශ අකුසල් ධර්මයක්‌මයි. මහා සංඝරත්නය මානසිකව හිංසනයට ලක්‌කිරීමේ අකුසලය බලවත් අකුසලයක්‌.

පින්වත් ඔබ බස්‌ රථයක ගමන් කරනකොට පූජ්‍ය පක්‌ෂයට වෙන්කොට ඇති ආසනය ස්‌වාමීන් වහන්සේ නමකට පරිත්‍යාග කිරීමට අදිමදි කරන්න එපා. මේ මොහොතේ භික්‌ෂුවට මතක්‌ වෙනවා, රාත්‍රී දුර ගමන් යන බස්‌ රථයකට ප්‍රධාන බස්‌ නැවතුමෙන් භික්‌ෂුව බස්‌ රථයකට ගොඩ වූවත්, ඉදිරි ආසනයේ වාඩි වී සිටි පින්වත් මැදිවියේ මහත්මයා භික්‌ෂුවට ආසනය පරිත්‍යාග කළේ නැහැ. ඒ වෙලාවේ භික්‌ෂුව බස්‌ රථයෙන් බහින්න සූදානම් වුවත්, කොන්දොස්‌තර මහත්මයා භික්‌ෂුවට බස්‌ රථයෙන් බහින්න ඉඩ දුන්නේ නැහැ. කොන්දොස්‌තර මහත්මයාගේ විරෝධය දැක්‌වීමෙන් පසුවයි එම පින්වත් මහත්මයා ආසනය පරිත්‍යාග කළේ. සමහර රියෑදුරු මහත්වරුන්, ස්‌වාමීන් වහන්සේලා බස්‌ නැවතුම්වල සිටින විට බස්‌ රථ නවත්වන්නේ නැහැ. සමහරක්‌ පින්වත් කොන්දොස්‌තර මහත්වරු භික්‌ෂු කූපන් යොමු කරනවාට කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ. මෙවැනි ක්‍රියාවන්ගෙන් පින්වතුන්ලා නොදන්නා භාවය නිසාම, මහා සංඝරත්නයට මානසිකව හිංසා කිරීම සහ අගෞරව කිරීමේ අකුසල් අයිතිකොට ගන්නවා.

මහා සංඝරත්නය නමැති මහා පුණ්‍යකෙත යම් පින්වතෙක්‌ මඟහැර යනවා නම්, හිංසනයට ලක්‌කරනවා නම් ඒ මොහොතේම එම පින්වතා දස අකුසල් ධර්මයන්ම ජීවිතයට එකතුකොට ගන්නවා. මෙය සටහන් තබන භික්‌ෂුව ගම්මානවල සමහර නිවෙස්‌වලට වැඩියම ගෙදර සිටින දුප්පත් මහත්මයා, අල්මාරිය ඇරලා ගමනක්‌ අඳින්න හෝදලා නමලා තිබෙන සුදු සරම තමයි පුටුවට ඇතිරිල්ලක්‌ හැටියට දමන්නේ. ගමනක්‌ අඳින්න අල්මාරියේ තබා තිබෙන සුදු සාරිය තමයි ඇතිරිල්ලට පාවඩයට එළන්නේ. භික්‌ෂුවට මතකයි එක ගෙදරකට වැඩිය වෙලාවේ දෙපා සෝදලා පාවඩය දිගේ වඩිනකොට, එම සුදෝ සුදු දිලිසෙන පාවඩයට එළලා තිබුණේ තමන්ගේ මඟුල් සාරිය. තමන් මනමාලියක්‌ වෙච්ච දවසේ අඳින්න, මේ මඟුල් සාරිය මිලදී ගන්න ඇයට රුපියල් විසිපන්දාහක්‌වත් වියදම් වෙන්න ඇති. මෙච්චර මුදල් වියදම් කරලා, ඇය මඟුල් ගෙදර දවසේ මෙම සාරිය පැළඳගෙන සිටියත් එම සාරිය නිසා ඇය තුළත්, අනුන් තුළත් සකස්‌වුණේ කාමච්ඡන්දයන්, පංචනීවරණ ධර්මයන් පමණක්‌මයි. නමුත් ඇගේ මඟුල් සාරිය මහා සංඝරත්නය අරමුණුකොට මහා සංඝරත්නයට පාවඩයක්‌ හැටියට එළපු මොහොතේ, ඇය තම මඟුල් සාරියට දිය හැකි ශ්‍රේෂ්ඨම වටිනාකම ලබා දුන්නා. මඟුල් දවසේ සාරිය නිසා පංචනීවරණයන් වැඩුණත්, මහා සංඝරත්නයට පාවඩයක්‌ කොට එළපු මොහොතේ ඇය තුළ වැඩුණේ සප්තබොඡ්ධංග ධර්මයන්මයි.

මේ සටහන කියවලා යම් පින්වතෙක්‌ තුළ සිතුවිල්ලක්‌ ඇතිවෙන්න පුළුවන් ස්‌වාමීන් වහන්සේලාට වඩින්න, මඟුල් සාරිය පාවඩයක්‌ හැටියට එලන්න කියන මේ භික්‌ෂුවට, මොළය හොඳ නැතිද කියලා. පින්වත් ඔබ දැකලා ඇති සමහර ප්‍රභූ මහේශාඛ්‍ය පින්වතුන් සමාජයේ ජීවත් වෙනවා. එම පින්වතුන් දෙපා තබන්නේ වටිනා පලස්‌ මතමයි. එක ගෙදර, සුඛෝපභෝගී වාහන දහයක්‌ පමණ තිබෙනවා. උදයට පාවිච්චි කරන වාහනය නොවේ සවසට පාවිච්චි කරන්නේ. මොකක්‌ද මේ අසිරිය. පෙර ජීවිතයේ මහා සංඝරත්නය නමැති පුණ්‍ය කෙතේ වැපුරුවා වූ දානයන්ගේ ඵලයන්මයි. රනින්, රිදියෙන්, මලින් එලුවා වූ පාවඩයන්ගේ ඵලයන්මයි.

සමාජයේ කෙනෙක්‌ සුඛෝපභෝගී වාහනයක ගමන් කරනකොට අපි තවමත් බස්‌රථයේ මගී තදබදයෙන් සිරවී, දහදිය මුගුරු දමාගෙන ගමන් කරන්නේ මහා සංඝරත්නය නමැති පින්කෙත මඟහැර ගිය නිසාමයි, මහා සංඝරත්නයට අගෞරවයක්‌, මානසික හිංසනයක්‌ සිදුකළ නිසාමයි. පින්වත් ඔබ බස්‌ රථයේ තෙරපී සිරවී ගමන් කරනකොට ඔබ පසුකොට යන සුඛෝපභෝගී රථයක්‌ දකිනකොට පින්වත් ඔබ චේතනාවක්‌ ඇතිකොට ගන්න මා සතු අග්‍රම දෙය, කැමතිම දෙය මහා සංඝරත්නය නමැති පුණ්‍ය කෙතේ වපුරලා මමත් මතු ජීවිතයක එවන් සුඛෝපභෝගී භාවයන් ලබනවාය කියලා. එසේ නොවී පින්වත් ඔබ මහා සංඝරත්නයේ ගුණයන් කෙරෙහි විශ්වාසයෙන් බැහැර වුණොත් මීළඟ ජීවිතයේ දීද ඔබ මනුෂ්‍යයෙක්‌ වශයෙන් යම්හෙයකින් උපත ලැබුවොත්, එදාටත් ඔබට ගමන් කරන්න වෙන්නේ මගී තදබදයෙන් පිරුණු බස්‌ රථවලමයි. එදාටත් ඔබව පසු කොටගෙන යන සුඛෝපභෝගී වාහන දැකලා, ඔබ ධනපතියන් භංගවේවා කියලා කිව්වට වැඩක්‌ නැහැ. එම පින්වතුන් සුඛෝපභෝගී යාන වාහනවල ගමන් කරන්නේ, රනින්, රිදියෙන් අග්‍රම දෙයින් මහා සංඝරත්නයට එලු පාවඩයන් නිසාමයි. පින්වත් ඔබේ නිවසේ පින්කමක්‌ තිබෙනවා නම් පරණ පාවිච්චි කරපු පිරුවට හොයන්න යන්න එපා. ඇතිරිල්ලට එළන්න, පාවඩවලට එළන්න ලෝභ සිත දුරු කරලා ඇඳුම් අල්මාරිය අරින්න. එම සිත තුළ දස කුසල් ධර්මයන්ම ගැබ්වෙලා තිබෙනවා. ලෝකයේ සිටින පුණ්‍ය කෙතයි ඔබේ නිවසට වඩින්නේ.