දස අකුසල්වලින් අත් මිදෙමු – 5

ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමකගේ අවබෝධාත්මකභාවය බාහිර ඇවතුම් පැවතුම්වලින් පින්වත් ඔබට හඳුනාගන්න බැහැ. එම නිසා පින්වත් ඔබ දක්ෂවෙන්න, මහා සංඝරත්නය සමග කටයුතු කිරීමේදී මහා සංඝරත්නය යනු ලෝකයේ වැඩසිටින ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අටදෙනාය, කියන අර්ථය ජීවිතයට එකතුකොට ගන්න. එසේ නොවන සෑම අවස්ථාවකදීම, එම ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අටදෙනාම, පින්වත් ඔබගෙන් මානසික හිංසාවන් සහ අගෞරවයන් වගේම මේ ලෝක ධාතුවේ බලවත් සත්ව ඝාතන කි‍්‍රයාවක් හැටියට ගැනෙන ආර්යයන් වහන්සේලා ඝාතනය ඔබ අතින් සිද්ධ වෙන්න පු`ඵවන්කම වර්තමානයේ විවෘතව තිබෙනවා. පින්වත් ඔබ සෝවාන් ඵලයට පත්වීමට පෙරාතුව, සතර සතිපට්ඨාන ධර්මයන් වැඞීමට පෙරාතුව දස අකුසල් ධර්මයන් ගැන දැනුවත්වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.

බෞද්ධ නොවන ලෝක මනුෂ්‍ය ප‍්‍රජාව තාවකාලික සතුටකින් ජීවත්වන බව ඇත්ත. නමුත් එම අබෞද්ධ පින්වතුන්ලාගේ පරලොව ජීවිතය ඉදිරියේ විශාල අනතුරක් තිබෙනවා. නමුත් බෞද්ධ පින්වතුන්ලාට එම පරලොව අනතුරින් මිදීමේ මාර්ගය තවමත් විවෘතවයි තිබෙන්නේ. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ දක්වා විවෘතව පවතින්නේ මහා සංඝරත්නයේ කැපවීම නිසාමයි. මහා සංඝරත්නය අතුරුදන් වී ගිය ලොවක, භවයේ සැපයට, භව නිරෝධයට අදාළ ආර්ය මාර්ගය අතුරුදන්ව යනවා. මේ අතුරුදන් වීම සිද්ධ වෙන්නේ, වර්තමානයේ අප අතින් සිදුවෙන්නා වූ මහා සංඝරත්නයට මානසික හිංසා කිරීම් සහ අගෞරවයන්ගේ ඵලයන් නිසාමයි. පින්වත් ඔබ දක්ෂ වෙන්න ඔබ ඇසුරු කරන සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ලෝකයේ වැඩසිටින ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අටදෙනාගෙන් එක් පුද්ගලයෙක් වශයෙන්ම දකින්න.

වරක් භික්ෂුව සොයාගෙන පැමිණි එක් පින්වත් තරුණ ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුව ඉදිරියේ හඬමින් ප‍්‍රකාශ කළේ ‘‘ස්වාමීන් වහන්ස, සිතේ කාම සිතුවිලි වැඩෙනවා, පාලනය කොට ගන්න බැහැය” කියලා. මෙතනදී මේ තරුණ ස්වාමීන් වහන්සේ තමා තුළින්, තමා හිංසනයට පත්වෙනවා. මෙතනදී කාමයන්ගේ නිසරුභාවය දැකලා, ගිහිගෙදර දුක බව දැකලා, සංසාර බිය ගැන දැකලා, එම තරුණ ස්වාමීන් වහන්සේ ඇතිකොටගත් සුපටිපන්න ගුණයට අභියෝගයක් එල්ල වෙලා තිබෙන්නේ. ඒ උතුම් සුපටිපන්න ගුණයට අභියෝගයන් එල්ල වෙන්නේ, ශ‍්‍රද්ධාවෙන් දුර්වල ගිහි සමාජය තුළින්මයි.

මෙතනදී පින්වත් කාන්තා පක්ෂය ආගමික ස්ථානයකට යාමේදී ඇඳුමෙන්, පැළඳුමෙන්, හැසිරීමෙන්, ගොඩාක් සංවර වෙන්න ඕනේ. භික්ෂුව දැකලා තිබෙනවා ආරණ්‍යවල, සීමා මාලකය තුළත්, තරුණ පිරිස් අසංවර ආකාරයට ආදරය කරනවා. මේ ලෝකයේ තිබෙන පූජනීයම, පිරිසිදුම බිම්කඩ තමයි, සීමා මාලකයක් කියන්නේ. මෙවැනි කි‍්‍රයාවන් තෙරුවන්වම හිංසනයකට, අගෞරවයට ලක්කිරීමක් වෙනවා වගේම මහා සංඝරත්නය නියෝජනය කරන තරුණ ස්වාමීන් වහන්සේලාව බලවත් මානසික හිංසනයන්ට ලක්කිරීමේ, මහා සංඝරත්නයට හිංසා කිරීමේ අකුසලය ඔබලා ජීවිතයට එකතුකොට ගන්නවා. මෙතනදී භික්ෂුව සමාජයට චෝදනාවක් කරනවා නොවේ. වපුරන බීජයන්ගේ අස්වැන්නයි සමාජය පෙරලා ලබමින් සිටින්නේ. මේ සියළු දුර්වලතාවයන් තුළින්ම අප ධර්මයයි දකින්නේ. ධර්මය තිබෙන්නේ ගැටෙන්න, චෝදනා කරන්න නොවේ. දක්ෂයාට නිවැරදි වෙන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මනුෂ්‍ය සමාජයේ සද්ධර්මයේ අර්ථයන්ට අදාලව දක්ෂයින් සිටින්නේ තමන්ගේ සුළැඟිල්ලේ නිය සිලට ගන්නා පස් ප‍්‍රමාණයමයි කියලා. මේ අභියෝගයයි, භික්ෂුව ඔබට මේ සටහන් තුළින් මතක්කොට දෙන්නේ. එසේ නැතුව ලෝකය හදන්න, නිවැරදි කරන්න යන්න කියනවා නොවේ. පින්වත් ඔබ හැදෙන්න උත්සාහ කරන, වීර්යය වඩන පින්වතුන්ට හැදෙන්න උපකාරක ධර්මයන් සකස්කොට දෙන්න. සතිය, සිහියේ දුර්වලභාවය නිසාම, පින්වත් ඔබත් විනාශ වී අනුන්වත් විනාශය කරා තල්ලූකොට දැමීමට හේතු ධර්මයන් සකස්කොට දෙන්න එපා.

ස්වාමීන් වහන්සේ නමක් සමග කතා කිරීමේදී තමන් කතා කරන්නේ ලෝකයේ වැඩසිටින ශ්‍රේෂ්ඨම ආර්ය පුද්ගලයන් අටදෙනා සමගයි කියන සතිය, සිහිය නිරතුරුවම ඔබ තුළ ඇතිකොට ගැනීමෙන්, මේ ලෝක ධාතුවේ බලවත් භාවයෙන් දෙවැනි තැනට ගැනෙන රහතන් වහන්සේලාට සහ රහතන් වහන්සේ නියෝජනය කරන මහා සංඝරත්නයට මානසික හිංසනයන් සිදුවීමේ බලවත් අනතුරින් මිදීමට පින්වත් ඔබට හැකියාව ලැබෙනවා.

සත්ව ඝාතනය සහ සත්ව හිංසනයට අදාළව මීළඟි බලවත් අකුසල් විපාකය වෙන්නේ අම්මා, තාත්තා, ඝාතනය කිරීම සහ අම්මා තාත්තාට හිංසා කිරීමයි. දෙමාපියන් ඝාතනය අනිවාර්යයෙන්ම ආනන්තරීය පාපකර්මයක් වෙන අතර දෙමාපියන්ට හිංසා කිරීම දැඩි අපායගාමී අකුසලයක් වෙනවා. අසත්පුරුෂ ආශ‍්‍රයේ ඵලයන් නිසාම, සමාජයේ දෙමාපියන් ඝාතනය දුර්ලභ දෙයක් වුවද, දෙමාපියන් හිංසනයට ලක්වීම බරපතළ ආකාරයෙන් සිදුවෙනවා. මේ සටහන ලියන අද දවස භික්ෂුවගේ උපන් දිනය දවස. අද උදෑසන පිණ්ඩපාත මඩුවේදී මගේ අම්මා, තාත්තාටත් පින් අනුමෝදන් කළා. කෙනකුගේ උපන් දිනයක් දවසක දී, ඔහුට මුලින්ම සිහිපත් වෙන්න ඕනේ තමන්ව මේ ලෝකයට බිහිකොට හදාවඩා ලොකුමහත් කළ අම්මා තාත්තාවමයි. භික්ෂූන් හැටියට උපන් දිනයක් දවසකදී වෙන කරන්න දෙයක් අපිට ඉතුරුවෙලා නැහැ.

සංඝරත්නය කියන්නේ උපතත්, මරණයත් නිරෝධය කළාය, නිරෝධය කිරීමේ මාර්ගයේ ගමන් කරනවාය කියන අර්ථයයි. උපතත්, මරණයත් නිරෝධය කළාය, නිරෝධය කිරීමේ මාර්ගයේ ගමන් කරනවාය කියන අර්ථය තුළ උපත සැමරීමත්, ජීවත්වීම සැමරීමත්, මරණය සැමරීමත් තිබෙන්නට බැහැ. උපත, ජීවත්වීම, මරණය සමරන මොහොතක් පාසා, භවයේ නැවත උපතකට, ජීවත්වීමකට, මරණයකට අදාළ තෘෂ්ණාව අප තුළ ඇතිවෙනවා. නමුත් භවයට කැමති පින්වතුන්ලා තම උපන් දිනය දවසේ, තෙරුවන් අරමුණුකොටගෙන පින්කම් කරන්න දක්ෂ වෙන්න ඕනේ.

අතීතයේ උපන් දින සමරන්න හදපු කේක් ප‍්‍රමාණය මතක් වෙනකොට, භික්ෂුවට මැවිලා පෙනෙනවා, මහපොළොව තරම් විශාල කේක් ගෙඩියක්, ඒ මහපොළොව තරම් විශාල කේක් ගෙඩිය මත ඉටිපන්දම් ලක්ෂ ගණනක් දැල්වෙනවා. සංසාර ගැඹුර නොදකින නිසාම, එම ඉටිපන්දම් ගොඩකට තව තව ඉටිපන්දම් එකතු කරනවා. උපන් දින සැමරුම් වැඩිවෙනවා. උපන් දින කේක් බිල දිනෙන් දින ඉහළ යනවා. සත්වයා නැවත නැවත උපත් කරා ගමන් කරනවා. තමන්ගේ උපන් දිනය දවසේ, තමන්ව ලෝකයට බිහිකළ දෙමව්පියන්ට උපස්ථාන ධර්මයන් ඉටුකරමින්, දෙමව්පියන් තුළින්ම උපතේ ඇති අනිත්‍යභාවය දකින්න ඔබ දක්ෂනම්, එය දෙමව්පියන්ට කරන ඉහළම ධර්මයේ උපස්ථානය වෙනවා.

අම්මා තාත්තාව ඝාතනය කිරීමෙන් ආනන්තරීය පාප කර්මය සිදුවෙනවා නම් හිංසා කිරීමෙන් අපායගාමී අකුසල් සිදුවෙනවා නම්, අනාගතයේ ඇතිවෙන මුර්ග සංඥා සහිත මනුෂ්‍ය සමාජය, අනාගතයේ ඇතිවෙන අති දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හි, අම්මා තාත්තා කියන්නේ බලවත් අනතුරක් වෙනවා. මේ අනතුරු දැකලා ඔබ දෙමාපියන් තුළින්ම දෙමාපියන්ගේ නිරෝධය මතුකොට ගන්න පින්වත් ඔබ දක්ෂ වෙන්න ඕනේ.