දස අකුසල්වලින් අත් මිදෙමු – 6

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දස කුසල් ධර්මයන් වැඩෙන ආකාරයෙන් පින්කම් කළ යුතුයි කියලා. පින්වත් ඔබ දස අකුසල් ධර්මයන් වැඩෙන ආකාරයට පින්කම් සිදුකොට ගතහොත්, ඔබ කරගත්තා වූ පිනේ ශක්තිය, අකුසල් මූලයන්ගේ බලවත්භාවය විසින් ගිල ගන්නවා.

මෙම සටහන්වලින් භික්ෂුව උත්සාහ ගන්නේ පින්වත් ඔබ දස අකුසල් ධර්මයන් පිළිබඳව යම් දැනුවත් කිරීමක් කරන්නයි. අම්මලා තාත්තලා දරුවන් ගැන, වත්පොහොසත්කම් ගැන, ව්‍යාපාර, රැකියා, දේපළ ගැන සිත සිතා මනෝසංචේතනා ආහාරයන්ගෙන් මනස පුරවා ගන්නවා. ජීවිතය තෘප්තිමත්කොට ගන්නවා. කබලීක ආහාරවල කාය සංස්කාර ශක්තියෙන්, ඵස්ස ආහාර සකස්කොට ගන්නවා. ඵස්ස ආහාරයෙන් මනෝසංචේතනා ආහාර සකස්කොට ගන්නවා. මනෝසංචේතනා ආහාර තුළින් විඤ්ඤාණ ආහාරයත් සකස්කොට ගන්නවා. පුතාව දැකලා, පුතා ගැන සිතලා, පුතා ගැන විශේෂ දැනීම් ඇතිකොට ගන්නවා. පුතා උසස් පෙළට විශිෂ්ට සම්මාන හතරක්ම ලබා ගනීවි, පුතා විශේෂඥ වෛද්‍යවරයෙක් වේවි, පුතාගේ ලේලී මට කීකරු ලේලි කෙනෙක් වේවි, ලේලි මට හොඳින් සලකාවි, අනාගත දැනීම් ඔස්සේ විඤ්ඤාණ ආහාරයෙන් ජීවිතය පුරවා ගන්නවා. දැන් බලන්න, පින්වත් ඔබේ අම්මා සෑම නිමේෂයකදීම ආහාර හතරක් අනුභව කරමින් නේද සිටින්නේ.

ඒ කියන්නේ ඕනෑම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සෑම නිමේෂයකදීම මේ ආහාර හතර අනුභව කරමිනුයි සිටින්නේ. කෑමට, ආහාරයට අදාළ මනෝභාවයන්මයි දෙමවුපියන් තුළ සකස් වෙන්නේ. ඒ නිසා දෙමවුපියන් සෑම වෙලාවකම සොයන්නෙ කන්න පුලුවන් දෙයක්. ඒ නිසායි පින්වත් දරුවාගෙන් අම්මා පෙරළා ඇසුවේ “සෝවාන් ඵලය කන්නද”… කියලා. අම්මා කිව්ව කතාව ඇත්ත. මොකද සෝවාන් ඵලය තුළ කන්න දෙයක් නැහැ. සෝවාන් ඵලය තුළ ඇත්තේ කෑම අඩුකිරීම පිළිබඳව, ආහාර කපා හැරීමක්. එම නිසා පින්වත් පුතේ ඔබ තේරුම් ගන්න ඔබේ අම්මා සෝවාන් ඵලය කන්නද කියලා අහපු කතාවේ කිසිම වරදක් නැහැ. වරද තිබෙන්නේ අම්මාගේ කතාව අහලා ඔබ ගැටෙන දිශාවට ගිහිල්ලා ඔබත් ඉහත ආහාර හතරම අනුභව කරන කෙනෙක් බවට පත්වීමයි.

එම නිසා ඔබ අම්මාගේ ප‍්‍රකාශයට ගැටෙන මොහොතක් පාසා ඔබයි, අම්මායි දෙදෙනාම ඉන්නේ එකම තැන. එම නිසා ඔබ හරියි, අම්මා වැරදියි කියලා භික්ෂුවක් වශයෙන් මට කියන්න බැහැ. පින්වත් දරුවෙක් වශයෙන් ඔබත් දක්ෂ වෙන්න ඕනේ අම්මා වැරදියි, මම හරියි කියන තැනට ඇවිල්ලා අම්මාව මානසිකව හිංසනයට පත් නොකර මේ ප‍්‍රශ්නය විසඳා ගන්න. පින්වත් දරුවෙක් වශයෙන් ඔබ උත්සාහ ගන්නේ අම්මා වැරදියි, මම හරියි කියන සිතුවිල්ලට එන්නනම්, එය අයත් වෙන්නේ මාරධර්මයන්ටමය.

බුද්ධ ධර්මය කියලා කියන්නේ අම්මත් හරි, මමත් හරිය කියන තැනට මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමයි. එම නිසා පින්වත් පුතේ ඔබ සිතන්න, උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය හදාරන කාලයේදීම ඔබ සද්ධර්ම ශ‍්‍රවණයට යොමු වුණෙත්, ධර්මයට අදාළ පතපොතට යොමු වුණෙත්, උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේය කියලා චිත්තයක් ඇති වුණෙත්, ඔබ මොන තරම් පුණ්‍යවන්ත නිසාද? එවන් පුණ්‍යවන්ත පුතෙක් බිහි කරපු අම්මා, තාත්තා මොනතරම් පුණ්‍යවන්ත විය යුතුද? එම නිසා පුතේ, ඔබට උසස් පෙළ පන්තියේදීම උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේය කියලා සකස්වුණ සිතට භික්ෂුව මුලින්ම ලකුණු දෙන්නේ ඔබේ දෙමවුපියන්ටයි.

මේ ලෝක ධාතුවේ බරපතළම අකුසලයක් වන දෙමවුපියන්ට හිංසා කිරීමේ අකුසලයෙන් මිදී, දෙමවුපියන් සතුටු කිරීමට අදාළව පින්වත් දරුවන්ට ඉහත ධර්මය හුඟාක් වටිනවා. මොනම හේතුවක් නිසාවත් දරුවන් වන අපි නිවැරදියි, දෙමාපියන් වැරදියි කියන තැනට එන්න එපා. එය අකුසලයකට අදාළ මාර ධර්මයක්.

නිවැරදි දරුවන්ව බිහිකළ අම්මා තාත්තාගේ ගුණාත්මකභාවය මතුකොට දකින්න ඔබ දක්ෂ වෙන්න. දරුවන්ගේ අතීත අකුසල් විපාකයන් නිසාමයි දරුවන් කෙරෙහි දෙමවුපියන්ගේ අකීකරුභාවයන්, පරස්පර මතවාදයන් ඇති වෙන්නේ. මෙතැනදී පින්වත් ඔබ දෙමවුපියන්ගේ අකීකරුභාවය, අසාධාරණභාවය දෙස නොව ඔබගේ විපාකයට පැමිණෙන අකුසලය දෙසයි බැලිය යුත්තේ. දෙමාපියන් කියන අර්ථය දුකක් නම් දෙමාපියන් සමඟ ගැටීමේ දිශාවට ගමන් කොට අනාගත භවයන්හිදී මීට වඩා අකීකරු දෙමවුපියන් ලැබීමේ ප‍්‍රවණතාව දෙසට නොවේ අපි ගමන්කළ යුත්තේ. අනාගත ලෝකයේ සකස්වෙන මුරුග සංඥාව නමැති මනුෂ්‍ය මනෝභාවයේ දී, එදාට අම්මලා, තාත්තලා තමන්ගේම දරුවන් මරාගෙන කනවා, උයාගෙන කනවා, තමන්ගේම කිරිකැටි දරුවන් පොළොවේ ගසා වියරු සතුටක් ලබනවා. අම්මා දරුවා බිහිකරන තෙක් තාත්තා බලා සිටිනවා, දරුවාව මරාගෙන කන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයට අදාළව ඉහත විනාශය ස්ථිරව අනාගත ලෝකයේ සකස් වෙන්නේ, වර්තමානයේ දෙමවුපියන් දරුවන්ගේ සම්බන්ධතාවයන් ගැටුම්කාරී දිශාවන්ට ගමන් කිරීමේ ඵලයක් වශයෙන්මයි. එම නිසා පින්වත් දරුවන් වන ඔබ පරිස්සම් වෙන්න. ඒ නිසාම අම්මා තාත්තා ගින්දරක්, අම්මා තාත්තා තුළ භව නිරෝධයට අවශ්‍ය සාධකත්, අවීචිමහා නිරයට වැටීමට අදාළ සාධකත් යන දෙකම සැඟවී තිබෙනවා.

අම්මා කියන අර්ථය තුළින් භව නිරෝධය දෙසට අවශ්‍ය සාධක මතුකොටගත් දරුවෙක් තමයි මෙම සටහන් තබන භික්ෂුව. මගේ අම්මාත් නිරෝගීව සිටි කාලයේ මට ටිකක් අකීකරුයි. නමුත් අම්මාගේ අකීකරුභාවය මම මගේ කීකරුභාවය උදෙසා යොමුකොටගෙන, මම වැනි කීකරු දරුවෙක් ලෝකයට බිහිකරපු අම්මා මොන තරම් පුණ්‍යවන්තද, කියන කාරණය තුළින් අම්මාට උපස්ථාන කොට, අම්මාටත් ධර්මයෙන් සංග‍්‍රහ කොට මමත් අම්මා කියන අර්ථයෙන් නිදහස් වුණා.

අනාගත ලෝකය තුළ සකස්වන වියරු දුක ගැන බිය ඇතිකොටගෙන අකීකරු දෙය කීකරු දෙයක් බවටත්, අකැමැති දෙය කැමැති දෙයක් බවටත් උපක‍්‍රමශීලීව පත්කොටගෙන දෙමවුපියන් කියන අර්ථයෙන් සදහටම මිදීමයි ප‍්‍රශ්නයට සැබෑම විසඳුම වෙන්නේ.