නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය – 2 කොටස

ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට කැමැතිවන්නේ අනුශය වශයෙන් ඉතිරිවෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ ශීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. ශීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත්වලින් ලබන්නා වූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක්‌ නම් නොවේ. පරලොව යහපත ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච ශීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද? ධර්මයේ අර්ථයන් අත්නොදකින් තැනැත්තා රාත්‍රි 12 ට අවදි වී සිටියත් මෙලොව පරලොව දෙකේදීම ඔහු ප්‍රමාදීභාවයට පත්වෙනවා. මේ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඔබ සිදුකරන්නා වූ ක්‍රියාවන් නිසා ඔබට පැහැදිලිව, විවරව තිබෙන ධර්ම මාර්ගය ඔබ විසින්ම වසාගන්නවා. ඔබ මේ ජීවිතයේ සශ්‍රීකභාවය ලබන්න, පෙර ජීවිතයේදී මොනතරම් දානමය, ශීලමය පිංකම් සිදුකරගෙන තිබෙන්න ඕනෙද? අතීත භවයන්හිදී මනුෂ්‍ය ජීවිතවල ඉපදී සිදුකරගත් කුසල් විපාකවල සැපය මේ ජීවිතයේදී අත්විඳිනකොට ඔබ ඒ සශ්‍රීකභාවය, මහේශාඛ්‍යභාවය, සෞභාග්‍යමත් ජීවිතය අත්විඳින්නේ පිංවත් ඔබට අතීතයේ උපකාර වූ දානයට, ශීලයට මේ ජීවිතයේද සෘණාත්මක අගයක්‌ ලබාදෙමින් නේද? මේ සෘණාත්මක බව නේද වර්තමාන සමාජයේ ඇසෙන අවිද්‍යාවේ කන්බිහිරි කරවන හඬ. ශීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුශ්‍ය ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පිංවත් ඔබ සත්පුරුෂභාවයෙන් යුතුව ඔබට උපකාරවූ ධර්මතාවයන් ගරු කරන්න. ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත්කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ ශීලමය, දානමය පිංකම් උදාවෙන සෑම නව වසරකම ඔබට මුණගැසෙන කළ්‍යාණ මිත්‍රයා කරගන්න. ඔබට සුබපතන හිතවතා කරගන්න. ඒ කළ්‍යාණ මිත්‍රයා ඔබට සුබපැතුවොත් පමණක්‌මයි ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය සුබ ජීවිතයක්‌ වෙන්නේ. ලැබුවාවූ නව වසර සුබ වසරක්‌ වෙන්නේ.

මේ කළ්‍යාණ මිත්‍රයා ඔබ තුළමයි සැඟවී සිටින්නේ. මොහු සැඟවී සිටින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නමැති මාර ධර්මයන්ට භියෙන්. එසේත් නැතිනම් මාර ධර්මයන් කෙරෙහි ඇති කරගත් ජන්දරාගය නිසා ඔබට සැඟවෙමින්. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ මේ භියෙන් ඔබේ කළ්‍යාණමිත්‍රයා මුදවාගන්න. ඉස්‌මතුකොටගන්න. එය කරන්න පුළුවන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසය ඔබ තුළ ඇතිකරගැනීම තුළින්. මේ කාරණා දෙකේ අර්ථයෙන් ඔබ සන්නද්ධ වෙනකොට ඔබේ කළ්‍යාණ මිත්‍රයා ශක්‌තිමත් භාවයෙන් නැඟීසිටිනවා. ඔබව කුසල් මාවතට යොමුකරනවා. සතර අපායෙන් මිදීමේ මාවතට ඔබව යොමුකරනවා. භික්‍ෂුව මේ දේවල් සටහන් කළත් මේවා අර්ථවත්ව ක්‍රියාත්මකවීම බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ අනුන් ගැන සිතන්න එපා. ඔබ තනි තනිව ඉහත සටහන ජීවිතයට ගලපාගන්න. ලෝකය, ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට එන්න. ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට සැමවිට තිබෙන්නේ අඩු පෝලිම බව ඔබ සිතන්න ඕනේ. සෙනඟ වැඩි, පිරිස වැඩි පෝලිම හැමදාමත් ලෝකයේ පැවතීම දෙසටයි තිබෙන්නේ. ඒ කියන්නේ දුක දෙසට. මාරයාගේ ලෝකයේ ව්‍යවහාර මුදල් තමයි දුක. සමාජය අලුත් වටිනාකම් හැටියට සොයාගන්නා, ක්‍රියාත්මක කරන දේවල අවසාන ප්‍රතිඵලය දුකයි. ඇයි පිංවත් ඔබට බැරි ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සිතේ ඇති වූ සිතිවිල්ලක්‌ ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවක, ජීවිතයේ සුබ අවස්‌ථාවක ඔබේ සිතුවිල්ලක්‌ කරගන්න. ඇයි ඔබට බැරි අතීතයේ වැඩසිටියා වූ රහතන්වහන්සේ නමකගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එවන් උත්තමයකුගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ අපිට සිතන්න බැහැයි කියමුකෝ. එහෙමනම් ගිහි ජීවිත ගතකළ අනේපිඬු සිටුතුමන් විශාඛාව වැනි ධර්මයෙන් ජීවිතය ජයගත් පිංවතුන්ගේ සිතෙහි ඇති වූ සිතිවිල්ලක්‌ ඔබ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එහෙම සිතනකොට මොනතරම් සැනසිල්ලක්‌ද ජීවිතයට. මෙවැනි ශ්‍රද්ධාවෙන් සකස්‌වෙන සිතිවිල්ලකට පුළුවන් ඔබට අප්‍රමාන සැපයක්‌ මෙලොව පරලොව වශයෙන් ලබාදෙන්න. පිංවත් ඔබ දෙසැම්බර් 31 රාත්‍රියේ රතිඤ්ඤාවක්‌ පත්තුකරලා ඔබව එහි පිපිරුමට බියෙන් ඈතට දුවනවා. නැතිනම් රතිඤ්ඤා කරල ඈතට විසිකරනවා. රතිඤ්ඥාව පත්තුවෙනකොට එහි පිපිරුම් හඬට බියෙන් ඔබට ඔබේ කන්දෙක වසාගන්නවා. ඒ කියන්නේ ඔබම එම ක්‍රියාවෙන් පීඩාවට පත්වෙනවා. ඔබ පීඩාවට පත්වෙමින් අන්‍ය සත්වයන්වත් පීඩාවට පත්කරනවා. අවසානයේදී එකම රාත්‍රියේදී සියල්ලෝම පීඩාවට පත්වෙලා. රතිඤ්ඤාව පත්තුකරන කෙනා තුළ සතුටක්‌ ඇතිවෙනවා තමයි. එම සතුටත් කාමච්ජන්දයන් ගණයටයි වැටෙන්නේ. කාමච්ජන්දයන් කියලා කිව්වේ පංචනීවරණයෙන් එක ධර්මතාවක්‌. මාරයා විසින් සත්වයා සතර අපායෙන් එතෙරවීම වැළැක්‌වීම සඳහා දමන මරතොණ්‌ඩුව තමයි කාමච්ජන්දය කියන්නේ. නව වසරක උදාවට පිංවතුන්ලා නොදැනුවත්භාවය නිසාම මාරයාගේ මරතොණ්‌ඩුවක්‌ සියතින්ම ගෙලට දමාගෙන.

තෙරුවන් සරණ ගිය පිංවත් ඔබ ජීවිතයේ සෑම විශේෂ අවස්‌ථාවකදීම ජීවිතය පටන්ගන්න ඕනේ තෙරුවන් ගුණය කෙරෙහි හිත පිහිටුවලා. ශීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරඹුම. ආගන්තුකව පැමිණෙන වටිනාකම් ඉදිරියේ පිංවත් ඔබට ඔබේ බෞද්ධකම අමතක වෙනවා. ‘සතිය සිහිය අඩුයි. තරගයට වැටීමටයි කැමති. තරගයෙන් මිදීමට කැමති නැහැ. තරගයට වැටුණුකෙනාට ජය පරාජය දෙකෙන් එකක්‌ උරුමයි. තරගයෙන් මිදුන කෙනා මේ දෙකෙන්ම මිදීමේ මාර්ගයටයි අවතීර්ණ වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා නිරතුරුවම යෝනිසෝ මනසිකාරය නැතිවීම හේතුවෙන් භවආශ්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන් කරන්නේ කියලා. අන්‍යයන්ටත්, තමන්ටත් පීඩා ගෙනදෙන නොකළයුතු දෙය, දුරුකළයුතු දෙය, මගහැරයායුතු දෙයින් මිදෙන්නට වීර්යය නොමැතිනම් භෞතික වශයෙන් ඔහු කොතෙක්‌ දියුණු වුවද අඥානවත් පෘථග්ජනභාවයේ පරාජයමයි ඔහුට හිමිවන්නේ. නොවටිනා සැපයක්‌ උදෙසා ඔහු වටිනා අර්ථයක්‌ අහිමිකරගන්නවා. රතිඤ්ඤාවක ආලෝකයට, හඬට මුළාවී එය විඳීමට යැමෙන් රැස්‌වන අකුසල් හේතුවෙන්, නිරයේ දිලිසෙන ගිනිජාලාවකට වැටුනහොත් කවදා කෙළෙසනම් ගොඩඑන්නද? එදාට ඔබේ කඳුළු පිසදැමීමට, දුක නැති කිරීමට කිසිවෙක්‌ නොමැත. රතිඤ්ඤාවකට ඔබේ ඇඟිල්ලක්‌ පිළිස්‌සුනොත් ඔබ මොනතරම් වේදනාවක්‌ විඳිනවාද? එහෙමනම් නිරයේ ගිනිජාලා තුළ සත්වයා විඳින වේදනාව ඔබම සිහිකොට ගන්න. මෙම දුක ඔබට මට නුහුරු දෙයක්‌ නොවේ. ඒ සංසාරික පුරුද්ද නිසා තමයි අපි තවමත් ගින්දරට, අඳුරට කැමති. දක්‍ෂයා ගින්දරත්, අඳුරත් නිවැරදිව හඳුනාගෙන, ගින්දරත් අඳුරත් උරුම සතර අපායෙන් මිදීමේ මාවතටයි ගමන්කරන්නේ. පිංවත් ඔබ ජීවිතයේ සෑම සිහිකටයුතු අවස්‌ථාවකදීම ශිල්පදයක්‌ රැකීමෙන් ලබන අප්‍රමාදීභාවය ජීවිතයට ලබාදෙන්න. දානයක්‌ පූජාකරගැනීමෙන් ඔබ ලබන නිර්ලෝභී සතුටම ජීවිතයට ලබාදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබ ඇතිකරගන්නා ආත්ම විශ්වාසයම ඔබේ ජීවිතයට ලබාදෙන්න. මීට විරුද්ධ මාර්ගයේ ගමන්කොට ඔබ ඔබෙන් පළිගන්න එපා. පෙර ජීවිත වලදී ඔබ ඔබේම ශක්‌තියෙන් ගොඩනගාගත් කුසල් ශක්‌තිය අකුසලයේ දුකින් යටපත් වෙන්න දෙන්න එපා.

වසරක්‌ උදාවෙන්නේ වසරක අවසානයද, මරණයද දෝතින් දරාගෙනය. නමුත් මරණය නොදකින ඔබ වසරේ ආරම්භය ප්‍රීතියෙන් සමරයි. ඉපදී දින 365 කින් මැරෙන අවුරුද්දක ආරම්භය උදෙසා භවයට යන අකුසල් රැස්‌කරගැනීමට ගැන අපි අවධානය යොමුකළ යුතුය. වසරක උදාව ළංවෙනකොට සමාජය හුඟක්‌ කථාකරන්නේත්, ජනතාව දැනුවත් කරන්නේත් අනතුරු හඟවන්නේත් ආරක්‍ෂාකාරී ලෙස රතිඤ්ඤා පත්තුකරන ලෙසය. මෙහිදී ආරක්‍ෂාව යනු ශරීරයට ගිනි අනතුරුවලින් වළක්‌වාගැනීමේ ආරක්‍ෂාවයි. අතපය පිළිස්‌සුනහොත් එය සතියකින්, මාසයකින් සනීපවේවි. එහෙත් මෙහි අකුසල් ස්‌වභාවයන් ගැන අවධානය යොමුනොකර නැවත නැවත එම ක්‍රියාවන් කිරීමෙන් මරණින් මතු නිරයේ ගිනිජාලාවකට වැටුණහොත් කල්පගණන් එම දුක ඔබට විඳීමට සිදුවනු ඇත.

පිංවත් ඔබ වසරක්‌ උදාවෙන මොහොතේ පන්සලේ, නිවසේ, බුදුකුටියේ පහන් ආලෝකය දල්වා දස දිසාවටම මෛත්‍රිය පතුරවමින් පෙනෙන නොපෙනෙන සියලු සත්වයන්ට මෛත්‍රිය කොට වසර ආරම්භ කරන්න. එවිට දෙවියන් අමනුෂ්‍යයන් පවා ඔබට ප්‍රිය වේවි. එය ඔබට මෙලොව පරලොව දෙකටම යහපත පිණිස වේවි. අත් පිළිස්‌සෙන්නේවත්, ඇස්‌ අන්ධවන්නේවත්, අපාගතවෙයි කියලාවත් බියක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්බුදු වදනක්‌ ක්‍රියාත්මක කළාය කියන ආත්ම තෘප්තියමයි ඇතිවන්නේ. එම ආත්මතෘප්තිය, සතර අපායෙන් ඔබ්බට ඔබව ඔසවා තැබීමට වසර පුරාවට ඔබට මාර්ගය පෙන්වාදේවි. අපිට කියන්න පුළුවන්ද ලෝකය පුරාවට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අපේ ජීවිත කුමන මොහොතක විනාශවී යයිද කියලා. ඒ අවදානම ජයගැනීම උදෙසායි ඔබ ක්‍රියාකළ යුත්තේ. ඔබ නිරතුරුවම, ජීවත්වීමයි අභියෝගයක්‌ හැටියට දකින්නේ. ඔබ අභියෝගයක්‌ හැටියට දැකිය යුත්තේ උපතයි. මේ අභියෝගයෙන් මිදෙන්න උත්සාහගන්නා පිංවතා උපරිම වශයෙන් ජීවිත හතකට එය සීමාකර ගන්නවා. මෙන්න මේ ජයග්‍රහණය අත්කරගත් පුද්ගලයායි ‘ජීවිතය ජයගත්තා’ය කියන තැනැත්තා. එතැතින් මෙහා ජීවිතයක මොන ජයක්‌ද?

සමාජය මනින මිනුම් දඬුවලින්, සමාජ වටිනාකම් වලින් ජීවිතය ජයගත්තාය කියන සමහර නායකයන්. ප්‍රභූ පුද්ගලයන් ගැන ඔබ සිහි නුවනින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන්, වත්පොහොසත්කම් වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාඛ්‍යභාවය නමැති මුදලත්, ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලා, ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේත, තිරිසන් නිරයේ උපත ලබා දුක නමැති මුදලත්, පොලියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලා, දේපළ රැස්‌කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්‌ති විඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇති කරගන්නේ. ඔහු මතවාද, දෘෂ්ඨි, විචිකිච්ජාව සකස්‌ කරගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමානව සිටිනවා. අප්‍රමාන පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි. අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැරයන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරා යැමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොටගැනීමයි. උන්වහන්සේම දේශනාකොට වදාළ සූත්‍ර, විනය, ධර්මයන්ම පතපොත කරගැනීමයි. අතීතයේ වැඩසිටියා වූ උතුම් රහතන් වහන්සේලාගේම, අරිහත් භික්‍ෂූන්වහන්සේලාගේම, මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන්ගේම ජීවිත පරමාදර්ශී කොටගෙන ජීවිතය සකස්‌කර ගැනීමයි. ඉහත කාරණාවමයි මුල්වෙන්නේ. මුල වරද්දවා ගතහොත්, මැද අග දෘෂ්ටි කාන්තාරවල අතරමං වෙන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක අවසාන හෝරා කිහිපයේ ජීවත්වන ඔබ තර්ක විතර්ක කරමින්, හරි වැරදි සොයමින් තව තවත් සක්‌කාය දෘෂ්ටිය වැඩෙන දිශාවට යැම නොවේ කළ යුත්තේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ සංකීර්ණ වූ ලෝකය ඉතාමත් සරලකොට දේශනාකර තිබෙන ධර්ම මාර්ගයේම ගමන් කිරීමය. ඔබේ ජීවිතයේ එළඹෙන සෑම වැදගත් අවස්‌ථාවකදීම බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, ශීලානුස්‌සතිය, ත්‍යාගානුස්‌සතිය, දේවතානුස්‌සතිය, කියන මහානාම ශාක්‍යකුමරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය සිහිපත් කරගන්නවා නම්, ඒ අනුව ජීවත්වෙනවා නම්, සක්‌කාය දිට්‌ඨිය හීනවෙන දිශාවට ඉහත ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමට ඔබ දක්‍ෂ නම් භව ගමනේ උපරිම ජීවිත 7ක්‌ තුළදී බව නිරෝධය සාක්‍ෂාත් කරගැනීමටත්, එතෙක්‌ ආයුෂ, වර්ණ, සැප, බලයෙන් සශ්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස දිව්‍ය අසිරිය අත්විඳීමට ඔබට හැකිවනු ඇත. මේ සහතිකය ඔබට ලබාදෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. භවගමනින් දුකම උරුමකොටගෙන සක්‌කාය දිට්‌ඨියේ කුණු හැව, මමත්වයේ දැඩිභාවය, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම මෙනෙහිකරමින්ම, ගලවාදමන්න. අතහැරීමම පුරුදුකරමින්, හැකිතාක්‌ දන්දෙමින් ඊට ශක්‌තිය ලබාගන්න. එළඹෙන (ඊළඟ) දෙසැම්බර් 31 රාත්‍රිය සතර අපා දුකෙන් මිදෙන අවිහිංසාවේ රාත්‍රියක්‌ කරගන්න. මාර පුතෙක්‌ දුවෙක්‌ නොවී සම්බුදු ඇකයට පියනගන පුතෙක්‌, දුවෙක්‌ වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත් ශක්‌තිය පිංවත් ඔබට යායුතු ඉදිරි මඟ පිළිබඳ සතිය සිහිය පිංවත් ඔබ තුළින්ම මතු කරදෙනු ඇත. එම සතිය සිහිය විසින්ම ඔබට භව දුකම උරුමකොට දෙන සක්‌කාය දිට්‌ඨිය, විචිකිච්චා, ශීලබ්බත පරාමාස කියන බිහිසුණු රතිඤ්ඤාවන් පුස්‌වෙඩිල්ලක්‌ බවට ඔබ තුළින්ම පත්කරනු ඇත. මේ වන විටත් පිංවත් ඔබ සතර අපායෙන් මිදී ඇතැයි ඔබ තුළ විශ්වාසයක්‌ ඇතොත් එම විශ්වාසය සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ජා, ශිලබ්බත පරාමාස කියන ධර්මතාවයන් සමඟ නැවත නැවත ගළපා බලන්න. ඔබ නිහතමානී වෙන්න. එම නිහතමානීභාවය යනු ඔබ විසින් ඔබ උදෙසාම ඇති කරගන්නා කළ්‍යාණමිත්‍ර භාවයකි. අතීතයේ සෑම බුද්ධෝත්පාද කාලයකදීම අපට වැරදුණු එකම තැන ඔතන බව මෙනෙහි කරන්න. ‘මම’ දෙවැනි තැනට දමා, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්ම මාර්ගයම මුල්තැනට ගන්න. එවිට ‘මම’ ධර්මයේ හිමිකරු, අයිතිකරු කියන මමත්වයේ දඩිභාවයේ නොව, මමද ධර්මයේම කොටසක්‌ය යන නිහතමානීභාවය ඔබ තුළ ඇතිවනු ඇත. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා ‘මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි’ කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්න, පළවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහසෙයියාවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇති කරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමඟ වටහාගැනීමට.