බුදුරජාණන්වහන්සේ නමක්‌ ලෝකයට පහළවීමත්, බුදුරජාණන් වහන්සේනමක්‌ දේශනා කරන ධර්මය අසන්නට ලැබීමත්, ඇසුවාවූ උතුම් සද්ධර්මය යමෙක්‌ ජීවිතයට නිවැරදිව එකතුකර ගැනීමත්, ලෝකයේ දුර්ලභම කාරණාවන් තුනක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ දුර්ලභ කාරණාවන් අතුරින්, බුදුරජාණන් වහන්සේනමක්‌ පහළ වූ බුද්ධෝත්පාද කාලයක උපතක්‌, බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් කියන ලෝකයේ දුර්ලභම කාරණාවන් දෙකම දෝතින් දරාගත් සිංහල බෞද්ධ පිංවතුන්ලා, මේ ලබන්නාවූ අලූත් අවුරුද්දේදි තමා විසින්, තමාගෙන්ම ඇසිය යුතු අර්ථවත්ම ප්‍රශ්නයක්‌ තිබෙනවා.

එම ප්‍රශ්නය තමයි, පිංවත් ඔබ ශ්‍රවණය කරන්නාවූ උතුම් ශ්‍රී සද්ධර්මයට අදාළව ජීවිතය දුකින් මිදිම දෙසට යොමු කරගන්නවාද කියන කාරණය.

බුදුරජාණන් වහන්සේ නමක්‌ ලෝකයට දේශනා කරන උතුම් ධර්ම රත්නයේ අග්‍රම අර්ථය වෙන්නේ, සියලු අකුසලයන්ගෙන් මිදෙන්න කුසල් දහම් වඩන්න, කුසල් සංස්‌කාරයත් අකුසල් සංස්‌කාරයත් අනිත්‍ය වශයෙන් දකින්න කියන අනුශාසනයයි. අවංකවම පිංවත් ඔබ, ගෙවීගිය වසර තුළ බුදුරජාණන්වහන්සේගේ ඉහත අනුශාසනාව තුළ ජීවත්වුනාද කියලා, අතීතාවර්ජනයක යෙදෙන්න හොඳ අවස්‌ථාවක්‌, මේ ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්දේ නැවතත් උදාවෙනවා. අලුත් අවුරුද්ද ලැබීමට පෙරාතුව එළඹෙන පුණ්‍යකාලය අතීත දුර්වලතාවයන් නිවැරදිකොටගෙන ධර්මානුකූලව නිවැරදි ප්‍රවේශයක්‌ ජීවිතයට එකතුකොට ගැනීමට හොඳ අවස්‌ථාවක්‌ වෙනවා.

පුණ්‍ය කාලය කියන්නේ, සියලු වැඩ අතහරින කාල පරිච්ඡේදයයි. ධර්මානුකූලව නම් සියලු වැඩ අත හරිනවාය කියලා කියන්නේ කය වෙහෙසා වැඩකිරීම නවත්වනවාය කියන කාරණය පමණක්‌ නොවෙයි. රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්‌කන්ධ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව අතහරිනවා කියන කාරණයයි. ඵස්‌සය කෙරෙහි තෘෂ්ණාව ඔබ බැහැර කරන කොට, ඔබ වැඩ අතහරිනවා. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත් කරන තැනදි, පිංවත් ඔබ ලබන්නාවූ අලූත් අවුරුද්දේ වැඩ අල්ලනවා. පුණ්‍ය කාලයේ සියලු වැඩ අතහැරීමත්, උදාවන වසරේදි වැඩ ඇල්ලීමත් කියන කාරණාවන් දෙකම, සිද්ධවෙන්නේ තමා තුළ සකස්‌ වෙන පංච උපාදනස්‌කන්ධය තුළමයි. පුණ්‍ය කාලයේ අර්ථවත්ව වැඩ අතහැරීම කියලා කියන්නේ, රූපය තුළ සිටිමින්, රූපයේ අනිත්‍යතාවය දකිනවා, විදීම තුළ සිටමින් විඳීමේ අනිත්‍යතාවය දකිනවා, සංඥාව, චේතනාව, විඤ්ඤාණය තුළ සිටිමින් එම ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ලෝකයේ දුර්ලභ කාරණාවන්ගෙන් එකක්‌ වන ඉහත විදර්ශනාමය දැක්‌ම, ලබන්නාවූ අලුත් අවුරුද්දේ ඔබේ ජීවිතයට එකතුකොට ගන්න දක්‍ෂ වුනොත්, ලෝකයේ දුර්ලභම කාරණාවන් දෙකක්‌ වන බුදුරජාණන්වහන්සේ නමක්‌ ලෝකයට පහළවීමත්, උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් කියන අර්ථයන්ගෙන් ප්‍රයෝජනයක්‌ ලබාගත් පිංවතෙක්‌ බවට ඔබ පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේ නමක්‌ පහළවෙලා දැනට වසර දෙදහස්‌ පන්සියයක්‌ ගෙවී ගොස්‌ අවසන්. මේ ගෙවීගිය වසර දෙදහස්‌ පන්සියය පුරාවට පිංවත් ඔබත්, මමත් පටිච්චසමුප්පන්නව මනුෂ්‍යයින් වශයෙන්ම ඉපැදුනාය, මියෑදුනාය කියන කාරණය හුඟක්‌ දුරට ඇත්තක්‌ම වෙනවා. මේ ඇත්ත කථාව තුළ සැඟවී තිබෙන අතීත කුසල් ශක්‌තිය, වර්තමානයේ ඔබ විසින් සිදුකරනු ලබන කුසලධර්මයන් තුළින් මතුකොටගන්න ඔබ දක්‍ෂවෙන්න ඕනේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදි අතීත කුසල් ශක්‌තීන් මතුකොට ගැනීම තුළින් උදාකරගත් සුන්දර අවබෝධයන් තිබෙනවා. පහන් දැල්ලක්‌ කමටහන්කොටගෙන, ලස්‌සන මලක්‌ පරවී යන අයුරු කමටහන්කොටගෙන, බිඳුණු සිල්පදයක්‌ කමටහන්කොටගෙන උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධකොටගත් ශාසනයක්‌ තමයි මේ උතුම් ශාසනය.

පිංවත් ඔබ මේ කියවන සටහනත්, ජීවිතය ඉදිරියට පැමිණි අතීත අකුසල් සංස්‌කාරයන් කමටහන් කොටගත් භික්‍ෂුවකගේ අත්දැකීම් තුළිනුයි උපන්නේ. ගැඹුරු දහමක්‌, සරළ කමටහනක්‌ තුළින් මතුකොටගන්න ඔබතුළ සැඟවී ඇති අතීත කුසල් ශක්‌තිය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා. පිංවත් ඔබගේ ජීවිතය තුළ සැඟවී ඇති අයෝමය අතීත කුසල් ධර්මයන් පිළිබඳව ඔබට තිබෙන හොඳම සහතිකය තමයි, කෝටි ප්‍රකෝටි ගණනක්‌ වූ මිත්‍යාදෘෂ්ඨික ලෝකයක්‌ තුළ පිංවත් ඔබ උතුම් සම්මාදෘෂ්ඨික බවට පත්වී උපත ලැබුවාය කියන කාරණය. මේ දැක්‌ම විසින් පිංවත් ඔබ මේ නිවන් මාර්ගයේ අසරණයෙක්‌ නොවූ, සරණක්‌ ඇත්තෙක්‌ය කියන කාරණය ඔබතුළ ඇති කොට දෙනවා.

ඉහත දැක්‌ම තුළ සිටිමින් ගිහි පිංවත් ඔබ උතුම් බුද්ධ දේශනාවටම අනුව, අකුසල් දුරුකරමින්, කුසල් දහම් වඩමින්, කුසල් සංස්‌කාරයන්ගේ සහ අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යතාවය දකින්න දක්‍ෂවෙන්න ඕනේ. උදාවෙන අලුත් අවුරුද්දේදී පිංවත් ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව ධර්ම ප්‍රවේශය උදෙසා මෙතෙක්‌ කලක්‌ පිංවත් ඔබ සිතන්නට පුරුදුවී සිටි පරණ පුරුදු වෙනස්‌ කළ යුතුම වෙනවා. මෙතෙක්‌ කලක්‌ ඔබ සිතුවේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් දානයට යනවා, දානය තුළින් ශීලයට යනවා, වයසට ගියාට පස්‌සේ සමාධිය, ප්‍රඥාව ජීවිතයට එකතු කොට ගන්නවාය කියලා. එසේත් නැතිනම් ගිහිපිංවත් අපිට සද්ධාවෙන්, දානයෙන්, ශීලයෙන් එහාට යන්න බැහැය කියලා. මේ වැරදු දැක්‌ම නිසා ගිහි පිංවතුන්ලා තුළ නිරතුරුව උකටලීභාවයක්‌ ඇති වෙනවා.’ මට මේ ජීවිතයේදි ප්‍රඥාව කියන කාරණය, ධර්ම මාර්ගයේ අවබෝධාත්මක දශාව අහිමිය’ කියලා. පිංවත් ඔබ තුළ නොදන්නා භාවය, නුවනින් මෙනෙහි කිරීමට ඇති අදක්‍ෂභාවය නිසාම සකස්‌ වෙන ඉහත දැක්‌ම හරිම අවාසනාවන්ත දැක්‌මක්‌.

ගිහි පිංවත් ඔබ ධර්ම මාර්ගයේ ඔබට ලැබෙන පුංචි අවස්‌ථාවෙනුත් ලොකු අවබෝධාත්මක බවක්‌ ලබාගැනීමට දක්‍ෂවෙන්න ඕනේ. මෙය සටහන් තබන භික්‍ෂුව, ප්‍රාතිමෝක්‍ෂ ශීලයට අදාළ එක ශිල්පදයක්‌ ආරක්‍ෂාකරන මොහොතේම, එම ශිල්පදය තුළින් සකස්‌ වෙන සංස්‌කාරයන්ගේ අනිත්‍යතාවය දැකලා, ආර්ය ශ්‍රද්ධාවත්, ආර්ය ශීලයත්, ආර්ය සමාධියත්, ආර්ය ප්‍රඥාවත් කියන අර්ථයන් කියන සියල්ලම එක ශිල්පදයක්‌ තුළින් ජීවිතයට එකතුකොට ගන්නවා.

යම් පිංවතෙක්‌ භික්‍ෂුවගේ පාත්‍රයට පිණ්‌ඩපාතය හැන්දක්‌ පූජා කරන කොට, භික්‍ෂුව ප්‍රකාශ කරන ‘සුවපත් වේවා’ කියන වචනය තුළින් භික්‍ෂුව ඒ නිමේශයේදීම සංස්‌කාරයන්ගේ අනිත්‍යතාවය මතුකොට දැකලා, අනුන් බෙදන පිණ්‌ඩපාතය හැන්දෙන් ආර්ය ප්‍රඥාව ජීවිතයට එකතු කොට ගන්නවා.

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින ආරණ්‍යයේ ජීවත්වන වඳුරු රංචුව, මීට මොහොතකට පෙරාතුව කුටියේ වහළය මත බොහෝම වේගයෙන් දඟලන ශබ්දය භික්‍ෂුවට ඇසුණා. භික්‍ෂුව එම වඳුරන්ගේ කරදරය තුළිනුත් දැක්‌කේ ධර්මයයි. වඳුරන් තුළින් කොහොමද අපි ධර්මය දකින්නේ….?

වඳුරන් වහලය මත දඟලන කොට භික්‍ෂුව සිතුවේ, අතීත සංසාරයේ මම වඳුරෙක්‌ වෙලා, මහා සංඝරත්නය වැඩසිටි කුටිවල වහල මත දඟලමින් සංඝරත්නයට කළ අතීත පීඩාවක්‌, මේ මොහොතේ විපාකයට පැමිණෙනවාය කියලා. වඳුරන්ගේ අසංවර හැසිරීම තුළිනුත් ආර්ය ප්‍රඥාව මතුකොට ගැනීමට භික්‍ෂුව දක්‍ෂ වුණා. ආර්ය ප්‍රඥාව මතුකොටගත්තේ ආර්ය සමාධිය තිබුණු නිසයි. ආර්ය සමාධිය මතුකොට ගත්තේ ආර්ය ශීලය තිබුණු නිසයි. ආර්ය ශීලය මතුකො ගත්තේ ආර්ය ශ්‍රද්ධාව තිබුණු නිසයි. අසුන්දර වඳුරු කරදරයක්‌ තුළිනුත්, සුන්දර ධර්මයක්‌ මතුකොට ගතහැකි උතුම් ධර්මයකුයි මේ ශ්‍රී සද්ධර්මය.