නිර්වාණ විනිශ්චය

Feb 11, 2015 Comments Off on නිර්වාණ විනිශ්චය by

ශි‍්‍ර ඝන සුගත තථාගතයන් වහන්සේ විසින් අතීතානෛක කල්ප කෝටි ශතසහශ‍්‍රයෙහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප‍්‍රතිලබ්ධ වූ මාර්ගඥාන ඵලඥාන සර්වඥතාඥානයන් කරණ කොට ගෙන අවබෝධ කොට වේනෙය්‍ය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකල බෞද්ධ ජනතාව විසින් ප‍්‍රාර්ථනා කරනු ලබන්නා වූ සුඛපිණ්ඩායමාන වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැන ගැනීම සඳහා සිය බසින් කරන ලද නිර්වාණ තත්ත්වදීපක ග‍්‍රන්ථයක් නැත්තා වූ පාඩුව දුටු අප විසින් නිර්වාණ විනිශ්චය නම් වූ මෙම ග‍්‍රන්ථය ලියන්නට ආරම්භ කරන ලදී. මෙහි පරිච්ඡේද පසක් වෙයි. එයින් ප‍්‍රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ තත්ත්වයද ද්වීතීය පරිච්ඡේදයේ නානා විධ නිර්වාණයන්ද තෘතිය පරිච්ඡේදයේ නිවණට පැමිණෙන ආකාරය හා නිර්වාණ තත්ත්වයද පරිනිර්වෘත පුද්ගල තත්ත්වයද දක්වන්නා වූ දේශනාවන්ද චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්ත්වය දක්වන්නා වූ දේශනාවන්ද පඤ්චම පරිච්ඡේදයේ නානා වාද හා නානා වාදයන්ගේ විනිශ්චයද දක්වා තිබේ.

අප විසින් මේ ග‍්‍රන්ථය කරන ලද්දේ අභිධර්ම ප‍්‍රකාරණයන් අතුරෙන් ධර්මසංගණී විභංග කථාවත්ථු යන ප‍්‍රකාරණ තුනේ එන නිර්වාණය දක්වන දේශනාවන් හා දීඝනිකාය, මඡ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය යන නිකාය සතරෙහි නිර්වාණය සම්බන්ධව වදාරා තිබෙන සූත‍්‍ර සිය ගණනක්ද උදානයෙහි හා ඉතිවුත්තකයෙහි එන දේශනා කීපයක්ද ථෙර ගාථා විමාන වත්ථු නිද්දේස නෙත්ති ආදි ප‍්‍රකරණයන්හි ඇතැම් දේශනාද ඒ ඒ දේශනාවන්ගේ අර්ථ කථා ටිකාද විශුද්ධි මාර්ගය හා එම ටිකාව ද බුරුම භාෂාවෙන් තිබෙන නිබ්බාන දීපනී නම් වූ ග‍්‍රන්ථයක් හා තවත් ග‍්‍රන්ථයන් ද ඇසුරු කිරීමෙනි. නුමුත් මෙහි දක්වා ඇත්තේ සූත‍්‍ර ස්වල්පයක් පමණකි.

අති සූක්‍ෂම වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය මන්දබුද්ධිකයන්ට අප වැන්නන් විසින් නොව සර්වඥවරයකු විසින් ද අවබෝධ කරවීය නොහේ. අපගේ ව්‍යායාමය මධ්‍යම ප‍්‍රමාණ ඥානයෙන් හා තීක්‍ෂණ ඥානයෙන් යුක්ත වුවන්ට අවබෝධ කරවීම පිණිසය. මධ්‍යම ප‍්‍රමාණ ඥානයෙන් යුක්ත වුවන්ට තේරුම් ගත හැකි වන පරිදි ග‍්‍රන්ථය හැකිතාක් උත්සාහයෙන් ලිහිල් කොට සම්පාදනය කෙළෙමු. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්ත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වනතුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතුය. මෙහි ප‍්‍රථම පරිච්ෙඡ්දයෙන් ම කල්‍යාණ පෘථග්ජනයන් විසින් දත හැකි පරිදි නිර්වාණ තත්ත්වය දත හැකි වේ.

නිර්වාණ ප‍්‍රත්‍යක්‍ෂ වශයෙන් දන්නේ එයට පැමිණියා වූ ආර්යයන් වහන්සේලා පමණකි. පෘථග්ජනයන් විසින් උන් වහන්සේලාගේ වචනානුසාරයෙන් දතයුතු වේ. උන්වහන්සොලාට එය පෘථග්ජනයන්ට සුවසේ අවබෝධවන පරිදි ප‍්‍රකාශ කිරීමට වචන නැත්තේ ය. කුමක් හෙයින්ද යතහොත්, ලෝක ව්‍යවහාරයෙහි ලෝකයා විසින් නොදන්නා ලද අර්ථයන් ප‍්‍රකාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක ව්‍යවහාරයෙහි වූ වචන වනාහි පළමු කොට අර්ථය දැන, දන්නා ලද අර්ථ ප‍්‍රකාශ කිරීම සඳහා පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහු වෙති. නිර්වාණයෙහි වූ ගුණයන් ප‍්‍රකාශ කළ හැකි වචන වනාහි ලෝක ව්‍යවහාරයෙහි බොහෝ වෙති. එබැවින් ආර්යන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්ත කොට ගුණවාචක ශබ්ද වලින් ගුණීභූත නිර්වාණ ප‍්‍රකාශ කළහ. උන්වහන්සේලා විසින් ඒ සඳහා ප‍්‍රකාශිත වචනද බොහෝ වෙති.

අසංඛතං අනතං අනාසවං
සච්චඤ්ච පාරං නිපුනං සුදුද්දසං
අජජ්ජරඤ්ච ධුවං අපලොකිනං
අනිදස්සනං නිප්පඤචං සත්තං

අමතං පණිතඤ්ච සිවඤ්ච ඛෙමං
තණ්හක්ඛයො අවිඡරියඤ්ච අබ්භූතං
අනිතිකං අනීතිකධම්මං
නිබ්බාන මෙතං සුගතෙන දෙසිතං

අඛ්‍යාපජ්ඣං විරාගො ච
සුද්ධි මුත්ති අනාලයො
දීපං තාණඤ්ච ලෙණඤ්ච
සරණඤ්ච පරායණන්ති

මේ සලායතන වග්ග අසංඛත සංයුක්තයේ එන ගාථා වලින් නිර්වාණවාචී ශබ්දයෝ දැක්වෙති. මෙයින් “අසංඛත” ශබ්දයෙන් සංස්කරණය නොකරන ලද භව නමැති නිර්වාණ ගුණය නිමිත්ත කොට නිර්වාණය ප‍්‍රකාශ කරනු ලැබේ. “අනත” ශබ්දයෙන් තෘෂ්ණාභාවය නිමිත්ත කොට නිර්වාණය ප‍්‍රකාශ කරනු ලැබේ. ශේෂ ශබ්දයන්ගෙන්ද ඒ ඒ ගුණ නිමිත්ත කොට නිර්වාණය ප‍්‍රකාශ කරනු ලැබේ. මේ වචන වලින් පෘථග්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නොවේ. ඒ වනාහි පරම්පරාහතාචාෙර්යා්පදේශානුගමනය කොට පෘථග්ජනයන් විසින් දත යුතු වේ. නිර්වාණය ප‍්‍රකාශ කරන්නා වූ පාල්‍යාර්ථකථා ටීකාවන්හි අර්ථය විපරිතාකාරයෙන් ගෙන නානා වාද ඇති කර ගැනීමට හේතුව ද මේ වචනාර්ථය දුරවබෝධත්ත්වයමය. පරම්පරාහතාචාෙර්යා්පදේශ නොමැතිව තමාම පොත් බලා උගෙනීම කළා වූද එබඳු ආචායේ‍යා්පදේශ ඇසුරු කළා වූ ද ඇතැම්හු අප රටේ නානාකාරයෙන් නිර්වාණය ප‍්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ.

යමකු විසින් සත්‍ය පහදා දුන් කල ද ඔවුහු තමා පෙර කී ක‍්‍රම වලට විරුද්ධ වූ සියල්ල ඕවා බුරුම බණය, සිංහල බණ නොවේය, සිංහල බණ පොත් වල ඕවා නැතය යනාදිය කියා අඥයන් රවටා තමාගේ පණ්ඩිතකම රැක ගන්නට උත්සාහ කරති. යමක් තීරණය කරගත හැකි ඥානයෙන් හීන වූ පක්‍ෂභජනය කරන සුළු වූ ඇතැම්හු සිංහල බණයයි කීවාම කෙතරම් අසත්‍ය ක් වුවත් සත්‍යයයි ද ධර්මයයි ද පිළිගනිති. බණ වල බුරුම, සිංහල, සියම්, ජපන් ආදී භේදයක් නැතැත් වර්තමාන කාලයේ නිවැරදි ලෙස ධර්ම විනය දත් පඬිවරුන් ඇත්තේ බුරුමයේය. ඊට හේතුව නම් එරට අද දක්වාත් ශාසනයට අන්තරායක් නොවී ශාසන පරම්පරාව අවිච්ජින්නව පැවැත්ම ය. අප රටේ පෙර පටන් පැවත ආවා වූ ශාසන පරම්පරාව හා බොහෝ පොත්පත්ද නෂ්ටප‍්‍රාප්ත වූහ. බුරුමයේ අද දක්වාම අර්ථකථා සහිත පිටකත‍්‍රය යන්න ගැටපද විවරණාදිය හා තවත් සියගණන් ඒ භාෂාවෙන් කරන ලද බණපොත් ද ඇත. එරට වැඩ විසූ නානාශාස්ත‍්‍රයන්හි හා ති‍්‍රපිටක ධර්මයයෙහි විශාරද පඬිවරයකු වූ සැටකටත් අධික ග‍්‍රන්ථ සමූහයක කතුවරයෙක් වූ ලේඩිශායාඩෝ නමින් ප‍්‍රසිද්ධ වූ මහා ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද නිබ්බාන දීපනී නම් වූ ග‍්‍රන්ථය අප කෘතියට ද මහෝපකාරී විය. එරට ඉන් අන්‍ය වූද නිර්වාණය ගැන කරන ලද පිටු (400) සාරසියය (500) පන්සියය පමණ ඇති ග‍්‍රන්ථ කීපයක් ද වේ. එයින් ගම්භීරාගම්භීර මහා නිබ්බුත දීපනී නම් වූ ග‍්‍රන්ථයෙන් කොටසක් ඇම්. ධර්මරත්න පඬිතුමා ජීවත්ව සිටින කාලයේ දී සිංහල භාෂාවට පරිවර්තනය කොට ලක්මිණිපහන් පත‍්‍රයෙහි ප‍්‍රසිද්ධ කර වූයේ ය. ඒ වනාහි එරට වැසි පණ්ඩිතයන් විසින් පිළිගන්නා ලද ග‍්‍රන්ථයක් නොවේ. එහි කතෘ වූ ශීලාදී ගුණයන් කරන කොටගෙන අති ප‍්‍රසිද්ධ වූ ගෞරවාර්භ ජාගරාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වූ බොහෝ ග‍්‍රන්ථයන්ගේ කතුවරයෙක් වූ විසුද්ධාචාර නායක ස්වාමිපාදයාණන් වහන්සේ විසින් කරන ලද ජද්දපිධානති නම් වූ විශුධිමාර්ගය වැනි ග‍්‍රන්ථයක් වේ. එහි නිර්වාණය දැක්විය යුතු තැන ස්වකීය ආචාර්යාණන්ගේ නිර්වාණ විනිශ්චය තිබිය දි ලේඩිගයාඩෝ නම් වූ මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් ලියන ලද ඊට වෙනස් වූ නිර්වාණ විනිශ්චයක් දක්වා තිබේ. එයින් යථෝක්ථ ග‍්‍රන්ථය උන් වහන්සේගේ ශිෂ්‍යයන් විසිනුත් පිළිනොගන්නා ලද බව ස්ඵුට වේ. එය ඇම්. ධර්මරත්න පඬිතුමා විසින් මෙරට පළකරනු ලැබීම නිසාද එතුමාගේ ඊට අනුව ලියන ලද ලිපි නිසා ද ඒ මත පිළිගත් අය අප රටේ ද ඇති විය හැකි හෙයින් හා තවත් අයට එබඳු මත ඇති නොවීම පිණිසත් ඒ වාදයන් සම්බන්ධව හා තවත් නොයෙක් වාදයන් ගැනද සංක්ෂේප විනිශ්චයවල් මෙහි පඤ්චම පරිච්ඡේදයේ දක්වා ඇත.

රේරුකානේ චන්දවිමල යති

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet