“තමා තමාට ආදරය නොකරන තාක්කල්, තමා අනුන්ට ආදරය කරනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඔබ සංසාරයක් පුරාවටම හෙලූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පොඩි පහේ ආදරයක්ද, අපි සංසාරයක් පුරාවට කර තිබෙන්නේ. තමා තමාට ආදරය නොකරගත් නිසාම පින්වත් ඔබ අවශ්‍යමනම් ආදරයට ආදරය කරන්න. හැබැයි ආදරයත් විදර්ශනා නුවනින් දකින්න.

භික්ෂුව නැවත කවදාකවත් කාටවත්ම ආදරය කරන්නේ නැහැ. භික්ෂුව දන්නවා අලුතින් ආදරය කරන්න කෙනෙක් මේ ලෝකයේ නැහැ කියලා. මොකද මේ ලෝකයේ ජීවත් වෙන සැම මනුෂයෙක්ම, සැම සත්වයෙක්ම මට සංසාරයේදී පෙම්වතෙක් පෙම්වතියක් වෙලා තියෙනවා. ආදරයේ නාමයෙන් සකස්වෙන වංචාකාරී සිත විදර්ශනා නුවනින් විවෘතව බලන්න. එවිට ආදරය යනු රාගයට ගොදුරු සොයා දෙන මරු වැලක්ම බව ඔබට අවබෝධ වෙනු ඇත. මේ ලෝකයේ නමැති අර්ථය වැඩියෙන්ම සැඟවී ඇති වචනය ආදරයි. ආදරය යනු මිරිඟුවකි. ඔබ ඔබට ආදරය කරන තාක්කල් ආදරය ඔබට හමු නොවනු ඇත. වාසනාවකි මෙය සටහන් තබන භික්ෂුවට ආදරය හමුවී ඇත. එහෙත් කිසිවෙකුට දීමට කිසිවක් එහි නොමැත.”