ගලා යන දියපාරක ගල්පර තිබෙනකොට ජලයේ කැළඹීම වැඩීයි. අකුසල් සංස්කාර ජීවිතවලින් ක්‍රියාත්මක වන විට බලාපොරොත්තු කඩවීමුත් වැඩිවනවා. සිතනදෙය පතනදෙය සිද්දනොවන විට ඒවාට පිළිතුරක් හැටියට අපි සොයාගන්නේ තවත් ප්‍රශ්නයක ආරම්භයක්මයි.

සම්මා දිට්ඨියට පත්වෙච්ච දස දහස් ගණන් දෙවියන්, බ‍්‍රහ්මයන් නිතිපතා වන්දනා කරන උතුම් බිම්කඩක් මේ ලෝකධාතුවතුල තිබෙනවානම් ඒ උතුම් බිම්කඩ මේ උතුම් සද්ධර්මයමයි. පින පිරිහී දිව්‍ය ආයුෂ පිරිහී යන දෙවිවරු නැවත පින් කිරීමට උපත ලබන්නට ප්‍රාර්ථනා කරන යම් උතුම් බිම් කඩක් මේ ලෝක ධාතුව තුල තිබේනම් ඒ උතුම් බිම්කඩ මේ උතුම් සද්ධර්මයමයි. මේ පින් බිමේ ඒ උත්තරිතරබව තේරුම් නොගත් යමෙක් වේද, ඒ ඔහුගේ දුර්වල සම්මාධිට්ටියමයි.

මහා සාගරය යම් දවසක සිදිලා යනවා. සිනේරු පර්වතය යම් දවසක වැනසිලා යනවා. මහපොලව යම් දවසක අළු දුවිලි වෙලා යනවා. නමුත් සත්වයාගේ දුක නම් ඒ විදිහට කෙලවර වන්නේ නැහැ. දම්වැලෙන් ගැටගැසූ සුනඛයා සේ රුප වේදනා ඇසුරුකොට කනුව වටේ යනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

දක්ෂයා රූප වේදනා ඇසුරුකොටගෙන කනුව වටේ දුවන්නේ නැහැ. නිදහස් වෙනවා. දුක ඉදිරියේ පින්වත් ඔබ ලෝකය වටේ දුවන්න එපා. මේ උතුම් පින්බිමේ දෙපා තබාගෙන නිදහස් වෙන්න බලන්න. එසේ නොවුනහොත් යම් දවසක ලෝකය විනාශවී ගියද පින්වත් ඔබගේ දුක ජීවමානව පවතීවි.

ජිවිතයේ කොනක් ධර්මයේ ගැටගහලා තෘෂ්ණාව හඹාගෙන දුවන එකේ තේරුමක් නැහැ. තෘෂ්ණාවේ අර්ථය ධර්මයෙන් හදුනාගෙන ධර්මය ළගම නවතින්න.