පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි. ඔබේ සිතට සිතුවිලි නැගෙන පලියට ඒවා ගැන සිතන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුවට ඉස්පාසුවක් ලැබේවි. සිතුවිලි සිතට නැගෙන පලියට ඔබ සිතුවොත් සංස්කාර නමැති කඳුලින් ඔබේ බවයට ගලාගෙන යන විඤාණය තෙත් වේවි.

පින්වත් ඔබ තුල යම් අරමුණක් තිබුනොත් තමයි විඤාණයට පවතින්න හැකි යමක් සිතන්නේ. යම් සිතුවිල්ලක් සිතේ පවතින්නේ නැතිනම් විඤාණයේ පැවතීමට අරමුණක් නැතුව යනවා. පිහිටක් නැතුව යනවා. ඒ නිසා ඒ මොහොතේ තන්හාව උපදින්නේ නැහැ.

විවේකීව බලා සිටියදී හිස් අවකාශයයි දර්ශනය වෙන්නේ. එහි කිසිම රූ රටාවක් නැහැ. තෘෂ්ණාව කොයිතරම් නම් සංකීර්ණද. නා නා හැඩයන්ගෙන් යුත් රූ රටාවන්ගෙන් හිස් ලෝකය පුරවනවා. තණ්හාවේ මැහුම්කාරිය පස්සය ළඟදී හරිම වේගවත්. එයා හරියට එම්බ්රොයිඩර් මැෂිමක් වගෙයි. ලෝකය තුල විචිත්‍ර රූ රටා මවනවා.

පින්වතුන් තුල රුපය කෙරෙහි තෘෂ්ණාව මෝදු වෙද්දී ලස්සනට වගේම අවලස්සනටත් වටිනාකමක් ලැබෙනවා. තෘෂ්ණාව රුපය කෙරෙහි බැහැරට යද්දී අවම වශයෙන් ලස්සනටවත් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ලස්සනත් අවලස්සනත් දෙකම නිර්මාණය කොට දෙන්නේ තෘෂ්ණාව විසින්මයි.

ශාසනයේ ලොකු පිබිදීමක්, චතුරාර්ය සත්‍ය ඇහෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසෙනවා. සද්ධර්මය පැය 24 පුරාම දෝංකාර දෙනවා. එහෙත් ගිහි පැවිදි ජීවිත වලින් අල්පේච්චතාවය, ලද දෙයින් සතුටු වීම සරල ජීවිතය මද්‍යම ප්‍රතිපදාවේ උතුම් අර්ථයන් වේගයෙන් ඈතට පලා යනවා. ශාසනයේ ලොකු පිබිදීමක්, ධර්මයේ සැබෑම අර්ථය පිළිබද ලොකු කමටහනක් වර්තමානය තුල සැඟවී තිබෙනවා. හිස ගිනි ගැත්තෙක් ඒ ගින්දර නිවාගන්නෙ යම්සේද භව ගින්දර අප්‍රමාදීව නිවාගන්න. ලොකු අනතුරක් පින්වත් ඔබ ඉදිරියේ තිබෙනවා.