“රාහුල මහ රහතන් වහන්සේ පිරිනිවන්පාන්නේ අම්මා තාත්තා දෙදෙනාම ජීවතුන් අතර සිටියදීයි. එච්චර පින්වත් කුමරෙකුටත් භවයේ අතීත අකුසල් සංස්කාර ජීවිතයේ මැදි වයසේදීම විපාකයට පැමිණියා. අපේ මරණයත් ළඟපාතක තිබෙන්න පුලුවන්. අප‍්‍රමාදී වෙන්න.

දැන් වේලාව රාත‍්‍රී දහයට පමණ ඇත. හෙට එළිවෙන්න තව පැය අටක් විතර තිබෙනවා. මේ පැය අට තුල කොච්චරනම් දේවල් සිද්දවෙන්න පුලුවන්ද. මෙච්චර දේවල් සිද්ද වෙන්න පුලුවන් කම තිබෙද්දී පිංවත් ඔබ ඔච්චර ලස්සනට නිදා සිටිනවා සිහිවෙද්දී ඇත්තටම මට ලොකු බියක් දැනෙනවා. කුසල් වේවා, අකුසල් වේවා මේ සංස්කාර හරිම භයානකයි. භික්ෂුවගේ ගිහි ජීවිතයෙදී පාසල් සමයේ පටන්ම මේ අකුසල් සංස්කාර මට එලව එලවා පහර දුන්නා. මම අකුසල් සංස්කාරයන්ගෙන් පහර කමින් වැටෙමින් නැගිටිමින් ගමන් කළා. මේ අකුසල් සංස්කාරයන්ගේ බරපතල පහරදීම් නිසාම මම මගේ ජීවිතයේ තනිවම හඬපු අවස්ථා ගොඩාක් තිබුනා. දුක කියන්න, දුක බෙදා ගන්න කෙනෙක් නැතුව ධර්මය නොදත් බව නිසාම සංස්කාරයන් මාව පාලනය කරා. මාව යටත් කොට ගත්තා. යම් දවසක මේ උතුම් සද්ධර්මයේ රැකවරණය මම ලැබුවද මම මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය මතු කොට ගත්තා, හෙළි කොට ගත්තා. අනිත්‍යය සංඥාවෙන් විදර්ශනා නුවනින් සංස්කාරයන්ට පෙරලා පහර දුන්නා, වැටෙන්නම පහර දුන්නා. නැවත නොනැගිටින්නට පහර දුන්නා. නැවත සංස්කාරයන්ට භික්ෂුවට හානියක් කරන්න බැහැ. නමුත් අතීත සංස්කාරයන් විපාකයට පැමිණේවි.

වර්තමානයේ භික්ෂුවගේ භික්ෂු ජීවිතයට අතීත කුසල් සංස්කාරයන් වේශයෙන් විපාකයට එන බවක් පෙනෙන්නට තිබෙනවා. ජනප‍්‍රිය භාවය, සශ‍්‍රීක සිව්පසය මේ තුච්ච සංස්කාරයන්ට, මේ ප්‍රෝඩාකාරී සංස්කාරයන්ට, මේ ද්‍රෝහී සංස්කාරයන්ට භික්ෂුව එක දශමයකින්වත් යටත් කොට ගන්නට බැහැ. මාරය, මේ සංස්කාර ඔබගේමයි. ඔබගේ පිය උරුමයමයි. වේලාව රාත‍්‍රී දහය පහුවෙලා. කුටියේ වහලයේ බාල්කයේ එල්ලා තිබෙන ලන්තැරුමේ ආලෝකය පහලට විහිදෙනවා අඩුයි. කුඩා විදුලි පන්දමේ අධාරයෙනුයි පින්වත් ඔබට ඉහත සටහන ලිව්වේ. කුඩා විදුලි පන්දම, සටහන් තබන තනිරුල් පොත, ලියන පෑන පුජා කල පින්වත් ඔබලාට ගොඩාක් පින්.”