පාරමිතා ප‍්‍රකරණය

Feb 25, 2015 Comments Off on පාරමිතා ප‍්‍රකරණය by

සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යක් සම්බෝධිය ය, ශ්‍රාවක සම්බෝධිය ය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නො පැමිණ කිසිවෙකුට සසර දුකින් මිදී නිවනට නොපැමිණිය හැකිය. ඒ ඒ බෝධියට පැමිණීමට පිරිය යුතු පාරමිතාවන් සම්පූර්ණ නොකොට කිසිවෙකුට බෝධිත්‍රයෙන් එකකටවත් නොපැමිණිය හැකිය.

මෙකල ලෝකයේ රහතන් වහන්සේලා ඇත් ද? නැත් ද? මෙකල රහත් විය හැකි ද? නොහැකි ද? යන මේවා අද ලෝකයේ බොහෝ දෙනකුන් අතර පවතනා ප්‍රශ්නයෝ ය. රහත්වීමේ මග දක්වනා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් ලොව රහත්හු නැත යයි ද, රහත් නොවිය හැකි යයි ද, නොකිය හැකිය. මෙකල පෙර සේ රහතුන් සුලභ නැති බව පමණක් කිව හැකිය. රහත්හු තමන්ගේ රහත් බව ලොවට පෙන්වමින් කියමින් ඇවිදින්නෝ නොවෙති. දුටුවිට රහත්බව දැනගැනීමට ලකුණක් ද රහතුන් කෙරෙහි නැත. එබැවින් රහත් කෙනෙකුන් දුටුවත් හැඳිනගත නොහැකිය.

කොළඹට යනු කැමතියකු කොළඹට වැටී ඇති මගකට බැස, කොළඹ බලා ඒ මග ගමන් කොට අවසන් කල හොත් අවසන් කල දිනය කවර දිනයක් හෝ වේවා, එදින හේ කොළඹය. එයට කාලයෙන් එයට බාධාවක් නැත. එමෙන් රහත් වීමට පිරිය යුතු ප්‍රතිපත්ති පුරා අවසන් කල හොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වයේ ය. රහත් වීමේ ප්‍රතිපත්තිය පුරා අවස කලත් සමහර කලෙකදී රහත් බවට නොපැමිණිය හැකිය’යි කීම යුක්ති යුක්ත නොවන කතාවකි. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත්, ශාසනික ප්‍රතිපත්තියත් කලෙකට අවලංගු කිරීමකි.

රහත් වීමට උත්සහ කරන පින්වතුන් ගෙන් ඇතැමෙක් සංක්ෂේප ධර්ම දේශනයක් ඇසීමෙන් ම ද රහත් වෙති. ඇතැමෙක් විස්තර ධර්ම දේශනයක් ශ්‍රවනය කිරීමෙන්‍රහත් වෙති. ඇතැමෙක් පැවිදිවීමට හිසකේ කපන අතරේ දී රහත් වෙති. ඇතැමෙක් පැවිදිව දින ගණනින් රහත් වෙති. ඇතැමෙක් මාස ගණනක් උත්සහ කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් වර්ෂ ගණනක් උත්සහ කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් මුලු ජීවිත කාලයේම දුක් ගෙනද රහත් නොවෙති.

රහත් වීම පිළිබඳ වූ මේ වෙනසින් තේරුම් ගත් යුත්තේ රහත් වීමට වර්තමාන භවයේ පවත්වන ප්‍රතිපත්තිය පමණක් නොව, අතීත භවයන්හි පුරන ලද පාරමිතාවකුත් උවමනා බවය. අතීත භව වලදී රහත්වීමට නිසි පාරමිතා බොහෝ දුරට සම්පූර්ණ කරගෙන සිටියෝ, ඉතා පහසුවෙන් එක් ගාථාවක් ඇසීම පමණිනුත් රහත් බවට පැමිණෙති. වර්තමාන භවයේදී රහත් වීමට ප්‍රමාණ වන අතීත පාරමිතාව නැතියෝ කොතෙක් උත්සහ කලාහු ද ඒ ජාතියෙහි රහත් නොවෙති. එය නොමේරූ බීජයක් රෝපනය කොට, කොතෙක් දිය ඉස්සත් කොතෙක් පෝර කළත් පැළයක් ඇති නොවීම මෙන් දත යුතු ය.

බුදුවරයන් වහන්සේ කෙනෙකුන් ලොව පහළවූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත්හු උන්වහන්සේ ගෙන් දහම් ඇසීමෙන් ද, බුදු සස්නෙහි පැවිදිව පිළිවෙත් පිරීමෙන් ද, රහත්ව නිවන් දකිති. පාරමිතා සම්පූර්ණ කරගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත්වීමෙන් බුදු සස්න පරණ වත් වත්ම රහත් වන්නෝ අඩු වෙති. මේ බුදු සස්නෙහි රහත් වන්නවුන්ගේ සංඛ්‍යාව අඩු වන්නට පටන් ගත්තේ මෑතකදී නොව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ම ය. ඒ බව කස්සප සංයුත්තයෙන් හා භද්දාලි සූත්‍රයෙන් ද දත හැකිය.

කො නු ඛො භන්තෙ! හෙතු කො පච්චයො යෙන පුබ්බේ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං බහුතරා ච භික්ඛු අඤ්ඤාය සණ්ඨහිංසු කො පන භන්තේ! හෙතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි අප්පතරා ච භික්ඛු අඤ්ඤාය සන්ඨභන්ති?

මේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ ගෙන් විචාළ ප්‍රශ්නයෙකි. මේ ප්‍රශ්නයම භද්දාලි තෙරුන් වහන්සේ ගෙන් ඇසූ බව මජ්ඣ්ම නිකායේ භද්දාලි සූත්‍රයේ දැක්වේ.

“ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස! පෙර සික පද තුබුයේ ටිකකි. එහෙත් බොහෝ භික්ෂූහු රහත් වූහ. දැන් බොහෝ සික පද ඇත්තේ ය. එහෙත් අලුතෙන් රහත් වන්නේ ටික දෙනෙකි. එයට හේතු කවරේ ද?” යනු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ප්‍රශ්නය ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී ම අලුතෙන් රහත් වන සංඛ්‍යාව අඩු වූ බව මේ ප්‍රශ්නයෙන් පෙනේ. සික පද වැඩිවීමෙන් වන්නේ භික්ෂූන්ගේ ප්‍රතිපත්තිය අඩු වීම නො ව වැඩි වීමය. ප්‍රතිපත්තිය වැඩි වී තිබිය දී රහත් වීම අඩු වී යාමෙන් එයට වර්තමාන ප්‍රතිපත්තිය හැර තවත් දෙයක් උවමනා බව තේරුම් ගත හැකි ය. ඒ උවමනා දෙය නම් අතීත භව වලදී පිරූ පාරමිතාව ය.

රහත් වන සංඛ්‍යාව මෙසේ බුද්ධ කාලයේ දී ම අඩු වූයේ පෙරුම් දහම් සම්පූර්ණ කරගෙන සිටිය අය ක්‍රමයෙන් රහත් වී අවසන් වීමෙනි. මේ බුදු සසුන දැන් බොහෝ පැරණි ය. මේ සස්න ඇති වූ මුල් කාලයේ දී ම එක් එක් කෙනා බැගින් ද, සමූහ සමූහ වශයෙන් ද, රහත් වීමට හේතු සම්පත් ඇත්තෝ රහත්ව නිවන් දුටහ. හේතු සම්පත් ඇති අයගෙන් දැනට ඉතිරි වී ඇත්නම් ඇත්තේ ඉතා ටික දෙනෙක් ය. ලෝකයෙහි නව රහතුන් දුලබ වීමෙත් රහත්වන්නවුන් දුලබවීමෙත් හේතුව එය ය.

මේ භවයේදී උත්සහ කළ හොත් රහත් වීමට තරම් අතීත පාරමිතාව ඇත්තෝ දැනුදු නැත යි නො කිය යුතු ය. බොහෝ සෙයින් අර්හත්වය සඳහා වෙර වඩන්නට දුක් ගන්නට සිත් වෙන්නේ තරමක් වත් අතීත පාරමිතාව ඇති සත්පුරුෂයන්ට ය.

මේ ජාතියේ රහත් වූවන් නොවූවත් රහත් වනු පිනිස වෑයම් කරන පිවත්හු දැනුදු නැත්තාහු නොවෙති. ඔවුනතර මේ ජාතියේ දී ම රහත් වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙත් නම්, ඔවුහු ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත් නම්, ඒ පින්වත්හු සව් කෙලෙසුන් නසා මේ ජාතියේදී ම රහත් ව නිවන් දක්නාහ. එසේ උත්සහ කරන පින්වතුන්ට මේ ජාතියේදී රහත් වන්නට නුපුළුවන් වූයේ ද, ඒ උත්සහය නිෂ්ඵල නො වන්නේ ය. එය පසු ජාතියක දී අර්හත්වය ලැබීමේ පාරමිතාව වන්නේ ය.

රහත්වීමට බලපොරොත්තුවන පින්වතුන් විසින් අනාගත භවයන් ගැන, අනාගත බුදු සස්නක් ගැන බලාපොරොත්තු නොවී, මේ ජාතියේදීම රහත්වීමේ බලාපොරොත්තුවෙන් උත්සහ කළයුතුය. පැළවීමට සෑහෙන තරමට මෝරා ඇති බීජය වුවද ජලය නො ලද හොත් නො පැළවී දිරා යන්නාක් මෙන් මේ ජාතියේ දී උත්සහ කලහොත් රහත් වීමට සෑහෙන පමණට අතීත පාරමිතාව ඇත්තෝ ද උත්සහ නොකිරීම නිසා රහත් නො වෙති.

වර්තමාන භවයේ දී රහත් වීමට උත්සහ කිරීමට චිත්ත ශක්තියක් නැති, අනාගතයේ දී රහත් වීමට බලාපොරොත්තු වන පිවතුන් විසින් ද කවදා හෝ එය සිදු කර ගත හැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුශල් කළ යුතු ය. එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇතිකර ගත යුතු ය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිඳු දැනීමක් ඇතිකර ගත හැකි ය.

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේ ය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක් සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදු වීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනෙකුන් නිවන් දකින්නේ ද, නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බොධිත්‍රය පිලිබඳ වූ ම පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කළෙමු.

මෙය සම්පාදනය කිරීමේ දී කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි කරුණු විස්තර කිරීමට ද අපි හැකි පමණ උත්සහ ගතිමු.අන් පාරමිතා පොත්වල ඇති, පාඨකයන්ගේ වෙහෙසට හේතු වන වඩා ප්‍රයෝජනයක් නැති කරුණු මෙයට ඇතුළු නොකළෙමු. පොත මහත් කිරිමට නිෂ්ඵල දේ මෙයට අතුළු කොට ද නැත. අප නිතරම උත්සහ ගත්තේ පොත හැකි තාක් කුඩා කිරීමට ය. මෙහි තැනින් තැන ඉතා ප්‍රයෝජනවත් ධර්ම විනිශ්චයන් ඇත්තේ ය. මෛත්‍රී පාරමිතා කතාවේ දැක්වෙන මෛත්‍රී භාවනා විස්තරය ඉන් එකකි.

මෛත්‍රී භාවනාව කරන අය රටේ බොහෝ ඇතත් එය ගැන මනා දැනුමක් ඇති අය උගතුන් අතර ද සුලභ නැත. මෛත්‍රිය බුද්ධාගමයේ මූලික ධර්මයෙකි. එබැවින් එය නැවත නැවත කියවා හොඳින් තේරුම් ගන්නා ලෙසත්, එය තේරුම් කර ගෙන ඵලදායක වන පරිදි මෛත්‍රී භාවනාව තම තමන් විසින් කරන ලෙසත්, අන්‍යයන්ටත් එය කියා දී මෛත්‍රී භාවනාව පුරුදු කරවන ලෙසත් මෙය කියවන පින්වතුන් ගෙන් විශේෂයෙන් ඉල්ලමු.

(පඤ්ච ශීලය හා ආජීවාෂ්ටමක ශීලය පිළිබඳ පසු කාලයේදී මා අවබෝධ කරගත් කරුණු ඇතුළත් ලිපියක් ද මෙම මුද්‍රණයෙහි පල කර ඇත.)

මෙයට – ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet