පටඨාන මහා පකරණ සන්නය

Feb 25, 2015 Comments Off on පටඨාන මහා පකරණ සන්නය by

ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සර්වඥ පද ප‍්‍රාප්තව ධර්මදුත මෙහෙය සදහා ප‍්‍රථම වරට පිටත් කර යවන ලද සැට නමක් වූ මහරහතන් වහන්සේලා ගෙන් කෙනෙකු වූ අස්සජි මහරහතන් වහන්සේ විසින් තමන් වහන්සේ වෙත එළඹ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය කවරෙදැයි ඇසූ උපතිස්ස පිරිවැජි හට

“යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ, තෙසඤච යො නිරොධො එවං වාදි මහාසමණො”

යනුවෙන් හේතුවෙන් හටගන්නා පඤ්චස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්මයන් හට ගැනීමේ හේතූන් හා එ් හේතුඵල ධර්මයන්ගේ නිරෝධය වූ නිවනත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නාහයි වදාරන ලද්දේය. එයින් දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනය කරන ලද ධර්මය හේතුඵල ධර්මයක් බවය.

බුදුන් වහන්සේ හේතුඵල ධර්මය දේශනය කර ඇත්තේ ද එක් ක‍්‍රමයකින් නොව ක‍්‍රම තුනකිනි. ආර්යසත්‍යය ක‍්‍රමය ය, ප‍්‍රතීත්‍ය සමුප්පාද ක‍්‍රමය ය, ප‍්‍රස්ථාන ක‍්‍රමය යන තුන තාථාගතයන් වහන්සේගේ හේතුඵල දේශනා ක‍්‍රම තුනය. තථාගතයන් වහන්සේගේ හේතුඵල දේශනා ක‍්‍රම තුන අතුරෙන් ආර්ය්‍ය සත්‍ය දේශනය කර තිබෙන්නේ සංසාර ප‍්‍රවෘත්තියේ හේතුව වශයෙන් තෘෂ්ණා සඞඛ්‍යාත එක් ධර්මයක් පමණක් දැක්වීමෙනි. ප‍්‍රතීත්‍ය සමුප්පාද දේශනයෙහි දැක්වෙන්නේ ද්වාදශාඞගයක් ඇති හේතුඵල පරම්පරා වෙකි. ඒ දේශනා දෙක්හිම තෘෂ්ණාදිය ඵලයට හේතුවන බව පමණ මුත් හේතු වන සැටි දක්වා නැත. තථාගතයන් වහන්සේගේ සර්වාංග සම්පූර්ණ අති විස්තර හේතුඵල දේශනය ප‍්‍රස්ථාන මහා ප‍්‍රකරණය ය.

දේව මනුශ්‍ය තිරශ්චිීන වෘක්ෂ පර්වතාදී වශයෙන් ලොව ඇති සකල සජීවාජීව වස්තූන් ම සෑදී ඇති මූල ධාතු සමූහය වූ චිත්ත චෛතසික රූප යන පරමාර්ථ ධර්ම තුන් කොටස හා නිර්වාණ පරමාර්ථය ද ප‍්‍රඥප්තිය ද යන මේ සියල්ල මූලභාව ආරම්මණභාව අධිපති භාවාදී ඵලය උපකාර වන ශක්ති විශේෂයන්ගේ වශයෙන් හේතුප‍්‍රත්‍ය ආරම්මණප‍්‍රත්‍ය අධිපතිප‍්‍රත්‍ය යානාදීන් කොටස් සූවිස්සකට බෙදා නැවත පරමාර්ථ ධර්මයන් කුශලාකුශල අව්‍යාකෘතාදී වශයෙන් කොටස් සසැටකට හා හේතු නහේතු ආදී වශයෙන් කොටස් දෙසියයකට ද බෙදා කුශලාදී ධර්මයන්ට ඒ ඒ ශක්ති විශේෂවලින් ප‍්‍රත්‍ය වන සැටිත් ප‍්‍රත්‍ය නොවන සැටිත් දැක්විීම් වශයෙන් ප‍්‍රස්ථාන ප‍්‍රකරණය දේශිතය.

මේ ප‍්‍රකරණය සේ ගැඹුරුවූ ද විශාලවූ ද තවත් ග‍්‍රන්ථයක් ලොකයෙහි නැත්තේ ය. මේ ලොව ඇති ග‍්‍රන්ථරාජයා ය. දැනට සිංහල අකුරෙන් මුද්‍රණය වී ඇති පට්ඨාන මහාපකරණ පාලිය පිටු 1456 කින් යුක්තය. එපමණ පිටු ගණනක පට්ඨාන ප‍්‍රකරණය මුද්‍ර‍්‍රණය කළ හැකිවී තිබෙන්නේ අග මුල පමණක් දැක්වීම් වශයෙන් ද විස්තර කළ යුතු ක‍්‍රමය පමණක් වචන ස්වල්පයකින් දැක්වීම් වශයෙන් ද පොත් වල ලිවිය හැකි පරිදි භික්ෂූන් විසින් දැරිය හැකි පරිදි කෙටි කර තිබෙන බැවිනි. එසේ කෙටි කර ඇති තැන් සම්පූර්ණකර පට්ඨාන ප‍්‍රකරණය පත් වල ලියත හොත් එයට කඩදාසි පිටු කෝටියක් වුවද ප‍්‍රමාණ නොවේ.

අනන්ත නය ඇත්තා වූ මේ ප‍්‍රකරණය නය සාගරයකි. මහාගතිම්බය තිස්සදත්ත තෙරුණ් වහන්සේ මහබෝ විඳිනු පිණිස නැවකින් දඹදිව යන්නාහු මහසයුරේදී නැවේ උඩ තට්ටුවේ සිට පහත බැලූහ. උන් වහන්සේට සාගරයේ එතෙරක් හෝ මෙතෙරක් නොපෙනිණි. සිවු දිගින්ම මහා හඩ නගා බිඳි බිඳී යන රළ නිසා හට ගන්නා සුදු පෙණින් වැසී ගිය රිදී පටක් සේ දිලෙන සාගර ජලයම පෙනිණි. ඉක්බිති උන්වහන්සේ මහාසාගරයේ රළ වේගය බලවත් ද ප‍්‍රභේද විසින් සූවිස්සක් වන සමන්ත පට්ඨාන පකරණයේ නය මුඛය බලවත් දැයි සිතූහ. සිතන්නා වූ උන්වහන්සේට උඩ යට දෙකෙන් හා සිවු දිගිනුත් මේ සාගරයට පරිච්ඡේදයක් ඇත්තේය. අනන්ත නය සමන්වාගත ප‍්‍රස්ථාන මහා ප‍්‍රකරණයේ පරිච්ඡේදයක් නොපෙනේය යි බලවත් ප‍්‍රීතියක් ඇතිවිය. උන්වහන්සේ එතැනම හිඳ ඒ ප‍්‍රීතිය විෂ්කම්භනය කොට විදසුන් වඩා සව් කෙළෙසුන් නසා රහත් වූහ.

බුදුු රැස් විදිහිදීම

තථාගතයන් වහන්සේ බෝධිමූලයෙහි අපරාජිත පර්යංකයෙහි වැඩහිඳ සම්‍යක් සම්බෝධි සමධිගමය කොට ‘‘මේ ධර්මය සොයන්නට පටන් ගත් මා හට චතුරසඞඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම ගියේය. මම මේ පර්යංකයෙහි සිට මතු කිසි කළෙක හිස ඔසවා නො එන පරිදි එක්දහස් පන්සියයක් කෙළෙස් සතුරන් පරදවා පළවා හැර එතෙක් කල් සොයමින් සිටි ධර්මය ප‍්‍රතිවේධ කළෙමි’’ යි මහත් සොම්නසට පැමිණ ලොව්තුරා බුදු වුවද එම අස්නෙන් නොනැගී සම්‍යක් සම්බෝධිය පිණිස බැඳගත් පර්යඞකය නොබිඳ අනේක සමවත් වලට සමවදිමින් දහම් රස විඳිමින් නිවන් සුව විඳිමින් සතියක් ඒ අසුනෙහිම වැඩහුන් සේක. බුදුවීමෙන් අට වන දිනෙහි ඒ අසුනෙන් නැගිට එයින් මදක් ඈත්ව ‘‘මෙය මා විසින් සාරසඞඛ්‍ය කල්ප ලක්ෂයක් මුඵල්ලෙහි රැුස්කළ පාරමිතා කුශලයන්ගේ ඵල ලැබූ තැනය’’. යි වැඩහුන් තැනට හා මහබෝරුකටත් ගරු කිරිමක් වශයෙන් එදෙස බලාගත් වනම ඇසිපිය නොහෙලාම සතියක් සිටගෙනම බලාහුන් සේක. පර්යඞකයට උතුරු දිග වූ එ් ස්ථානය අනිමිස චේතිය නම් විය. ඉක්බිති ඒ සිටි තැනටත් පර්යඞකයටත් අතරෙහි නැගෙනහිරට හා බස්නාහිරට දික්ව පිහිටි රුවන් සක්මනෙහි සක්මන් කරමින් සතියක් කල් යැවූ සේක.

දින එක් විස්සක් නික්ම ගියේය. ඒ එක් දිනකදීවත් තථාගත ශරිරයෙන් රැස් නොවිහිදිණි. සතර වන සතිය පැමිණි කල්හි මහබෝමැඬින් බස්නාහිර උතුරු දෙදිගට අතර රතනඝරයෙහි වැඩහිඳ අභිධර්මය මෙනෙහි කරන්නට පටන්ගත් සේක. උන්වහන්සේ ධම්මසංගණී විභංග ධාතුකථා පුග්ගලපඤ්ඤත්ති කථා වත්ථු යමක යන ප‍්‍රකරණ සය පිළිවෙලින් මෙනෙහි කොට පට්ටාණ මහාපකරණයට බැස ‘‘හෙතු පච්චයො ආරම්මණ පච්චයො අධිපති පච්චයෝ’’ යනාදීන් ධර්මය මෙනෙහි කරන්නට පටන්ගත් සේක. උන්වහන්සේ විසින් පළමුව මෙනෙහි කළ ප‍්‍රකරණ සය කුඩා බැවින් සර්වඥතාඥාණය රිසිසේ පවත්වන්නට එ් ප‍්‍රකරණ ප‍්‍රමාණ නොවීය. අනන්ත ක‍්‍රම ඇති අතිවිශාල වූ පට්ටාන මහාපකරණය සර්වඥයන් වහන්සේට තම සර්වඥතාඥානය රිසිසේ හැසිරවිමට ඉඩ ඇති ස්ථානය විය. පට්ටාණ පකරණයට අයත් ඉමක් කොනක් නැති පරම සූක්ෂම ධර්මයන්හි රිසිසේ සර්වඥතාඥානය හසුරුවන්නට තථාගතයන් වහන්සේගේ සිත අතිශයින් පහන් විය. ඒ ප‍්‍රශන්න සිතින් උපදවන රූපද ඒවා නිසා තථාගතයන් වහන්සේගේ ශී‍්‍ර ශරීරයද පැහැපත් විය. තථාගතයන් වහන්සේගේ කෙස් ලොම්වලින් හා නේත‍්‍රයන්ගෙන් නිල්වන් රැස්දහර නික්මෙන්නට විය. එකෙනෙහි ඒ රශ්මීන් නිසා අහස නිල් මල් නිල් කොඩි නිල් වියන් වලින් වැසීගියාක් මෙන් විය. සමින් හා ඇස්වල ඇතැම් තැනෙකින් ද රන්වන් රැස් දහර නික්මෙන්නට විය. ඒ රැස් දහර නිසා ලෝක කුහරය රන්මල් රන්සුණු රන්වන් මල් විසිරුවා හැරි කලෙක මෙන් කහ පැහැයෙන් බබලන්නට විය. ලේ මස්වලින් සහ ඇස්වල රතු තැන්වලින් රතු රැස්දහර නික්මෙන්නට විය. ඒවායෙන් ලෝක ධාතුව රත්පැහැයෙන් බබලන්නට විය. ඇටවලින් හා දත්වලින් ද ඇස්වල සුදු තැන්වලින් ද සුදු රැස් දහර නික්මෙන්නට විය. එයින් ලෝක ධාතුව සුදු පැහැයෙන් බබලන්නට විය. ශී‍්‍ර ශරිරයේ ඒ ඒ තැන්වලින් මාඤ්ජිෂ්ඨක ප‍්‍රභාෂ්වර රශ්මීහූ ද නික්මෙන්නට වූහ. පට්ඨාන ප‍්‍රකරණයාගේ විශිෂ්ටත්වය මේ බුදු රැස් විහිදීමෙන් ද තේරුම් ගත හැකිය.

පට්ඨාන පකරණ සන්නය සම්පාදනය කිරීම

පට්ඨාන මහා පකරණ පාලිය කියවා එයින් ප්‍රයෝජනයක් ලබනු තබා එහි සැටිවත් කිසිවකුට තේරුම් ගත නොහැකිය. පාලි භාෂාව දතහොත් බුදු දහම දත හැකිය යන හැඟිමක් බොහෝ දෙනෙකුට ඇතත් එය මුළාවෙකි. පාලිය කොතෙක් දතුවකුට වුවද පාලි දැනීමේ බලයෙන් මේ ප්‍රකරණය තේරුම් ගත නොහැකිය. කොතෙක් පාලි දතුවකු විසින් වුවද පට්ඨාන පකරණය තේරුම් ගනු කැමති නම් අභිධර්ම දතවකුගෙන් උගත යුතුමය. සන්නයක් නැති කල්හි එය ගුරුවරයකුගෙන් ඉගෙනීමද අපහසුය. ඒ බව දත් අපෙන් අභිධර්මය උගත් කාන්තාවක් ඇතුළු බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.

පට්ඨාන පකරණය ඉතා ගැඹුරු ඉතා විශාල ග්‍රන්ථයක් වුවද එහි වචන ඇත්තේ සුළු ගණනෙකි, එබැවින් පට්ඨානය ගැන දැනුම නැති, පාලි භාෂාව දත් කෙනෙකුට වැඩි අපහසුවක් නැතිව පට්ඨාන පාලියට පදයෙන් පදය අර්ථ දෙන සන්නයක් නම් සැපයිය හැකිය. එය සිංහලටද පෙරලිය හැකි ය. එහෙත් එබඳු සන්නයකින් හෝ පරිවර්තනයකින් සිදුවන අර්ථයක් නම් නැත. එබඳු සන්නයකින් හෝ පරිවර්තනයකින් පට්ඨානය ඉගෙනගන්නකුට ලැබිය හැකි අල්පමාත්‍ර ප්‍රයෝජනයකුදු නැත. පට්ඨාන පකරණයට සන්නයක් සැපයිය යුත්තේ ඒ ප්‍රකරණය උගත යුතු ක්‍රමයට ය. පට්ඨානයට සැපයිය යුතු සන්නය කෙබඳු විය යුතුද යනු මේ සන්නය කියවීමෙන් තේරුම් ගත හැකි වනු ඇත. මේ ප්‍රකරණය ශිෂ්‍යයනට උගත හැකි වන පරිදි උගත යුතු ක්‍රමය දැක්වෙන සන්නයක් එයට සැපයීම නම් ඉතා දුෂ්කර කරුණෙකි. අනික් පොත් වලට සන්න සපයන්නාක් මෙන් අටුවා ටීකා ආශ්‍රයෙන් මෙය නො කළ හැකිය. අතීතයේ පටන් පැවතෙන පට්ඨානපකරණය ඉගැන්වීමේ ක‍්‍රමයක් ඇත්තේ ය. අප රටේ ඒවා ලියා තැබූ පොත් අද කොතැනකවත් දක්නට නැත. සතුරු උවදුරුවලින් අප රටේ කලින් කල ඇතිවුණු ශාසන විනාශ වලදී අප රටේ තිබූ ඒ පොත් නැති වී යන්නට ඇත. බුරුමයේ වනාහි අභිධර්මය ඉගැන්වීමේ පෞරාණික ක්‍රමය හා පොත පතද අදත් පවතී. අපට මේ පට්ඨාන සන්නය සැපයිය හැකි වුයේ බුරුමයේ අදත් ඒ ඉගැන්වීම් ක්‍රමය පවත්නා නිසා ය. මෙය අප විසින් සපයන ලද්දේ බුරුම පට්ඨාන සන්නය හා පට්ඨානය පිලිබඳ වූ තවත් බුරුම පොත් ඇසුරු කිරීමෙනි. මෙහි ඇත්තේ අප විසින් අමුතුවෙන් උපදවන ලද්දක් නොව පෙර පටන් ආචාර්ය පරම්පරාවෙන් පැවත ආ උගැන්වීම් ක්‍රමය ය.

ද්විතීය සංස්කරණය සහ මුද්‍රණය

ඉතා ගැඹුරු වුද, ඉතා විශාල වුද, මේ පකරණයට එක වරකදීම සර්වාකාර පාරිශුද්ධියක් ඇති සන්නයක් නො සැපයිය හැකිය. පට්ඨානයට සන්නයක් සැපයීමේ ඇති දුෂ්කරත්වය කෙසේ කීවද පට්ඨානය නොදන්නවුන් හට වැටහෙන්නේ නොවේ. මේ පට්ඨාන පකරණය ලොව්තුරා බුදුවරයන්ගේ නුවණට පමණක් ගැලපෙන සෙස්සනට අවිෂය ග්‍රන්ථයකි. එහි ඇත්තේ නුවණ මඳ අප වැනි අයට හිසරදය ඇති කරන විද්‍යාවකි. මේ සන්නයෙහි ඇති සෑම වචනයක් ම සෑම කරුණක් ම තවත් කරුණු සිය ගණනකට තුඩු දෙන තවත් කරුණු සිය ගණනක් හා සම්බන්ධය ඇති ඒවා ය. එබැවින් මේ සන්නය ලිවීමේදී සෑම වචනයක්ම සෑම කරුණක් ම ලියන්නට සිදු වුයේ තවත් සිය ගණන් කරුණු දෙස බලාගෙන ඒවාට විරුද්ධ නොවන පරිදිය. නිරතුරුවම සිහියෙන් යුක්තවිය නොහෙන බැවින් එසේ කිරීමේදී තැන තැන යම් යම් අඩු පාඩු හා වැරදිත් ඇති විය හැකිය. මෙය සම්පූර්ණයෙන් ශුද්ධත්වයට පැමිණීමට නම් නැවත නැවත පරීක්ෂා කොට කීප වාරයක් සංස්කරණය කළ යුතු ය. එහෙත් මේ විශාල ග්‍රන්ථය නැවත නැවත කීප වාරයක් කියවා පරික්ෂා කිරීමට අපට කලක් නැත. සෝමාවතී මුණසිංහ මැතිනිය විසින් පළමු වෙනි වරට මුද්‍රණය කරවූ පට්ඨාන සන්නය අප විසින් ලියන ලද මුල් කොපිය ය. සංස්කරණය සඳහා එය නැවත පරීක්ෂා කිරීමට අවස්ථාවක් අපට නො ලැබිණි. පළමුවර පොත මුද්‍රණය කරවූ අප ශිෂ්‍යාවක් වූ සෝමාවතී මුණසිංහ මැතිනිය ඒ පොත නැවත නැවත පරීක්ෂා කර බලා සංස්කරණය කල යුතු තැන් අපට සලකුණු කරදෙන ලදී. ඒ තැන් අප විසින් පරීක්ෂා කර සංස්කරණය කරන ලදී. එබැවින් මේ ද්විතීය මුද්‍රණය ප්‍රථම මුද්‍රණයට වඩා ශුද්ධබව කිය යුතුය. මේ පොත පළමුවෙන් මුද්‍රණය කරවීමේදී ඒ සඳහා ගෙන්වා තුබු කරදාසි අවසන් වී යාම නිසා එයට ඇතුළත් කරන්නට නුපුළුවන් වී ඉතිරිව තිබු කොටසක්ද මේ දෙ වන මුද්‍රණයට ඇතුලත් කර ඇත්තේය. එබැවින් මේ පොත පළමු මුද්‍රණය කරවූ පොතට පිටු 84 කින් වැඩි බව ද සැලකිය යුතු ය.

මේ ග්‍රන්ථය දෙවන වරට මෙසේ මුද්‍රණය කරවන ලදුයේ කොළඹ මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් මාවතේ පෙනන්ලොජ් නමැති මන්දිරයෙහි වෙසෙමින් සිය ධනයෙන් ලෝසසුන් වැඩ කරන සැදැහැවත් බෞද්ධ කාන්තාවක් වූ සෝමාවතී හේවාවිතාරණ මැතිනිය විසිනි. ඇය විසින් මෙය මුද්‍රණය කරවන ලදුයේ ඇගේ පියාණන් වූ නිධනප්‍රාප්ත සද්ගුණවත් දොන් තියදෝරිස් වික්‍රමසිංහ ගුණතිලක හල්ලල රාලහාමිට හා ආදරණීය මෑණියන් වූ පරලෝ සැපත් ඇනා දිමිටි මනම්පේරි මැතිනියට ද ආදරණීය සහෝදරයෙකු වූ ඇඩ්වින් වික්‍රමසිංහ ගුණතිලක මහතාට ද සිය ධනයෙන් ත්‍රිපිටක මුද්‍රණයක් පිහිටවීම් ආදියෙන් බොහෝ ලෝ සසුන් වැඩ කොට ස්වර්ගප්‍රාප්ත ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ මහතාට ද මේ පින අනුමෝදන් කරවනු පිණිස මේ අගනා දහම් පොත මුද්‍රණය කරවීමේ කුශලයෙන් සෝමාවතී හේවාවිතාරණ මැතිණිය හා පරලෝ සැපත් එතුමිය ගේ ඥාතීහු බුද්ධාදී මහෝත්තමයන් විසින් පැමිණ වදාළ පරමසුන්දර සර්වකාලික ලෝකෝත්තර නිර්වාණයට පැමිණෙත්වා.

මෙම මුද්‍රණයේදී අභිධර්මාචාර්ය බේන්දලුවේ ධීරානන්ද ස්ථවිරයන් විසින් ශෝධාපත්රාවලොකනය කර දීමෙන් මේ සත්කෘත්‍යයට සහාය වූ බව ද මතක් කරමු.

චිරං තිට්ඨතු සද්ධම්මෝ
මීට, ශාසනස්ථිතිකාමි
රේරුකානේ චන්දවිමල මහාස්ථවිර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet