පොහොය දිනය

Feb 25, 2015 Comments Off on පොහොය දිනය by

මහා සංඝරත්නය වෙත කරන නිවේදනය යි.

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේදී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීලසමාදානය සාර්ථක කර දෙන කොනෙකු සිටිය යුතුය. එබඳු කෙනෙකුගේ සහාය නො ලද හොත් බොහෝ දෙනෙක් ම සිල් සමාදන්වීම සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙති. ගිහියන් සිල් සමාදන් වීම සඳහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමෙකි. සමහරවිට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නොවීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප‍්‍රසාදය පළකරනවා ද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් කටයුතු ඇත්තේ ය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩවල දවස මුළුල්ලේ යෙදීමට භික්ෂූන් වහන්සේට ද ඉඩක් නැත. එබැවින් මෙය දුෂ්කර ප‍්‍රශ්නයක් වී තිබේ.

පොහොය දිනය නැමති මේ ග‍්‍රන්ථයෙන් එ් ප‍්‍රශ්නය බොහෝ දුරට විසඳා ගත හැකි ය. පොහෝ දිනයෙහි උපාසකෝපාසිකාවන් කළයුතු වැඩ සියල්ල මෙහි කාලසටහනක් අනුව විස්තර කර ඇත. විහාරස්ථානවලට සියල්ල සමාදන් වන්නට පැමිණෙන්නවුන් මේ පොතේ සැටියට ක‍්‍රියා කරන ලෙස යෙදවුව හොත් එ් ප‍්‍රශ්නය ලෙහෙසියෙන් විසඳෙන්නේ ය. පැමිණෙන පිරිස උදේ සිල් සමාදන් කරවා ඉන්පසු කළ යුතු වැඳුම් පිදුම් හා ශීලය ආවර්ජනා කිරීම මේ පොත අනුව කුඩා නමක් ලවා හෝ උපාසක පිරිසේ ම කෙනෙකු ලවා හෝ කරවිය හැකි ය. අකුරු කියවිය හැකි කවරෙකුට වුව ද මේ පොතෙන් එ් වැඩ කළ හැකිය. මේ පොතේ ඇති භාවනාවල් සිල් පිරිසට කියවා භාවනා කරවීම ද සිල් පිරිසේ කෙනෙකු හෝ කුඩා නමක් හෝ යොදවා කරවිය හැකි ය. බණ කිය යුතු වේලාවේ දී බණක් වශයෙන් ද මේ පොතේ ඇතැම් කොටස් කියවීම සුදුසු ය. රාතී‍්‍ර කාලයේ කරන ධර්ම සජ්ඣායනා උපාසකවරුන්ට මේ පොත බලා කළ හැකි ය. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගත හොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණවත් භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහාසංඝයා වහන්සේට සැලකරමු.

සිල් සමාදන් වන පින්වතුන්ට කරන නිවේදනය

මසකට පොහොය දින හතරක් ඇතත් මෙ කල බොහෝ දෙනා සිල් සමාදන් වන්නේ පුර පසළොස්වක පොහොය දිනයෙහි පමණකි. සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාර නො දත් බැවින් බොහෝ දෙනා සිල් සමාදන් වන එක දිනයෙන් ද ලැබිය හැකි නියම ප‍්‍රයෝජන නො ලබති. සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතුව නිෂ්ඵල කථාවල යෙදීම් ආදියෙන් පොහොය දිනයේ කාලය අපතේ යවති. ඒ බව දුටු සැදැහැවත් බෞද්ධ මහතකු වන මරදානේ ඉන්දික මුද්‍රණාලයේ ඩබිලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමි මහතා අප වෙත පැමිණ සිල් සමාදන් වන පින්වතුන්ට දවසේ වැඩ සුදුසු පරිදි කාලසටහනක් අනුව කළ හැකිවන පරිදි ග‍්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස ඉමහත් ඕනෑකමින් ආරාධනා කළේය. ඔහු ගේ ආරාධනාව පිලිගත් අප විසින් මේ කුඩා ග‍්‍රන්ථය ඉතා ටික දිනකින් සම්පාදනය කරන ලදී.

හොඳින් අකුරු කියවිය හැකි පින්වතුන්ට අනිකකුගේ උපදෙස් නැතිව ද පොහෝ දිනයේ වැඩ නිසි ලෙස මෙයින් කරගත හැකි වනු ඇත. එබැවින් මේ පොත භික්ෂූන් වහන්සේ ගේ සම්බන්ධයක් නැතිව අනුරාධපුරාදී පෙදෙස්වලට ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට විශේෂයෙන් ම ප‍්‍රයෝජනවනු ඇත. මේ පොත අනුව වැඩ කිරිමෙන් උපාසකවරුන්ට දවසේ සම්පූර්ණ කාලයෙන් ප‍්‍රයෝජන ගත හැකි වනු ඇත. වන්දනා පූජා පාඨ හා ගාථා පාඩම් කරගත නොහෙන පින්වතුන් විසින් පොත බලාගෙන ඒවා කියා වැඳුම් පිදුම් කළ යුතු ය. සීලය ආවර්ජනය කිරීම හා භාවනා ද පොත බලාගෙන කළ හැකි ය. පොත බලා කරන කල්හි කල්යාමෙන් ඒවා ප්‍රගුණ වී පොත නො බලා ම කළ හැකි තත්ත්වයට ද පැමිණිය හැකි වනු ඇත.

උපාසක පිරිසක් ඇති තැන්වලදී වන්දනා පාඨාදිය පැවිදි නමක් ලවා කියවගෙන වන්දනා කිරීම සුදුසු ය. එහෙත් නිතරම භික්ෂුන් වහන්සේලාට ඒවා කරදීමට අනවකාශ විය හැකිය. එබැවින් උපාසක පිරිසේම කෙනෙකු ලවා ඒවා කියවා ගෙන වැඳුම් පිඳුම් කිරීමට ද උපාසකෝපසිකාවන් පුරුදු විය යුතු ය. කියවීමෙහි සමත් උපාසකෝපසිකාවන්ට ඒවා ස්වකීය පිරිසේ අයට කියවා වන්දනා පූජා කරන්නට ද පුරුදු කර ගත යුතු ය. සෙස්සන්ට ඒවා කියවා වන්දනා කරවන පින්වතුන්ට එයින් ධර්මදානමය කුශලයක් ද අතිරේක වශයෙන් ලැබේ.

මෙකල බෞද්ධයන් පින් වශයෙන් බොහෝ සෙයින් කරන්නේ වන්දනා පූජා දෙක ය. ඔවුන් වන්දනා පූජා ද ගතානුගතිකව කරනවා මිස ඒවා ගැන නියම දැනීමක් ඇතිව කරනවා නොවේ. නියම දැනීමක් නැතිව පින් කරන්නවුන්ට බෙහෙවින් ඇති වන්නේ මහත්ඵල මහානිසංස නො වන දුබල වූ ඥානවිප්‍රයුත්ත කුසල් ය. ඥානසම්ප්‍රයුක්ත වන බලවත් කුසල් ඇති කර ගත හැකි වීමට නම් ඒවා ගැන හොඳ දැනුමක් ඇති කර ගත යුතු ය. සිල්සමාදන් වන පින්වතුන් විශේෂයෙන් ම ඒ දැනුම ඇති කර ගත යුතු ය.

එබැවින් වන්දනා පූජා සම්බන්ධ විස්තරයක් පොහොය දිනය නමැති මේ ග්‍රන්ථයට ඇතුළු කල යුතු ය. එහෙත් ඒවා අප විසින් සම්පාදිත පුණ්‍යෝපදේශය නමැති ග්‍රන්ථයෙහි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථයට ඒවා ඇතුළු නො කරන ලදී. සිල් සමාදන් වන දිනවල දී බණපොතක් වශයෙන් ඒ පොත කියවුවහොත් මේ පොත භාවිත කරන පින්වතුන්ට ඒ අඩුව පිරෙනු ඇත.

රාත්‍රියේ කරන සජ්ඣායනාවල් පොත බලාගෙන කළ යුතු ය. උපාසක පිරිස් ඇති තැන්වල කියවීමට සමත් එක කෙනෙකු විසින් හෝ දෙදෙනෙකු විසින් සජ්ඣායනා කළ යුතු ය. සෙස්සන් අසා සිටිය යුතු ය. එක් අයකුට මුළුකාලයේ ම සජ්ඣායනා කිරීම අපහසු නම් මාරුවෙන් මාරුවට සජ්ඣායනා කළ යුතු ය.

පන්සිල් රැකීම ගැන මේ පොතේ දක්වා ඇති ක්‍රමය අනුගමනය කිරීම ඉතා යහපත් බව විශේෂයෙන් මතක් කරමු.

මීට – ලෝවැඩ කැමති
රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්ථවිර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet