පොහොය දිනය

May 19, 2014 Comments Off on පොහොය දිනය by

උතුම් පොහොය දිනයක් යනු සම්බුද්ධ චරිතාපදානයේ, බෝසත් චරිතාපදානයේ මෙන්ම ශාසන ඉතිහාසයේ ද වැදගත් සිදුවීම් රැසකින් සමන්විත වන්නා වූ පිංබර දිනයකි. මෙහි ලා වසරේ පොහොය දිනයන් හා ඒවායේ සිදුවූ වැදගත් සිදුවීම් සංක්‍ෂිප්තව දක්වා ඇත.

බෞද්ධයන් විසින් පොහොය දිනයන් සොයාගන්නා ක්‍රමය දත යුතුය. ඒ මෙසේය. පොහෝ දිනයන් නියම කරගෙන ඇත්තේ චන්ද්‍රයාගේ පැවැ‍ත්ම අනුවය. මසකට සම්පූර්ණයෙන් සඳ නො පෙනෙන එක් රාත්‍රියක් ඇත්තේය. එයට පසු දින පටන් මඳින් මඳ වැ‍ඩි වැ‍ඩී සඳ පෙනෙන්නට වන්නේය. සඳ පෙනෙන්නට පටන් ගන්නා පළමුවන දිනය පෑළවිය නම් වේ. දෙවන දිනය දියවක නම් වේ. තුන්වන දිනය තියවක නම් වේ. සතරවන දිනය ජලවක නම් වේ. පස්වන දිනය විසේනිය නම් වේ. සවන දිනය සැටවක නම් වේ. සත්වන දිනය සතවක නම් වේ. අටවන දිනය අටවක නම් වේ. ඒ දිනයේ චන්ද්‍රයාගෙන් බාගයක් පෙනෙන්නේය. ඒ දිනය එක් පොහෝ දිනයකි.

අටවක පොහෝ දිනයෙන් පසු දිනවලද පිළිවෙළින් නවවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක, පසළොස්වක යන මේ නම් ව්‍යවහාර කරනු ලැබේ. ක්‍රමයෙන් වැ‍ඩෙන සඳ පසළොස්වක දිනයේ සම්පූර්ණ වී පවතී. පූර්ණ චන්ද්‍රයා දක්නා ලැබෙන ඒ දිනය එක් පොහෝ දිනයකි.

පසළොස්වක පොහෝ දිනට පසු දින පටන් ක්‍රමයෙන් චන්ද්‍රයා පිරිහෙන්නට පටන් ගනී. චන්ද්‍රයා සම්පූර්ණයෙන් පිරිහී යාමටද දින පසළොසක් ගතවේ. ඒ දිනවලටද සිංහල ව්‍යවහාරයෙන් පෑළවිය දියවකාදී ඉහත කී නාමයන්ම පිළිවෙළින් ව්‍යවහාර කරනු ලැබේ. පිරිහෙන පක්ෂයේ පසළොස්වක දිනට අමාවක යයි කියනු ලැබේ. පිරිහෙන පක්ෂයේ අටවක දිනය එක් පොහෝ දිනයකි. එදින දක්නා ලැබෙන්නේ සදෙන් බාගයකි. ඒ අඩසඳ මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිගින් උදාවන්නේය. වැ‍ඩෙන පක්ෂයේ අටවක දිනයේ අඩසඳ සවස් කාලයේ අහස මුදුනේ දැකිය හැකිය. පසළොස්වක පොහෝ දිනයේ පුන්සඳ රාත්‍රිය මුළුල්ලේ පවත්නේය. පිරිහෙන පක්ෂයේ පසළොස්වක දිනයේ සඳ සම්පූර්ණයෙන්ම නොපෙනෙන්නේය. පිරිහෙන පක්ෂයේ පසළොස්වක දිනය වූ අමාවක පොහෝ දිනයට ‍‍’මාසෙ පෝය’ යි ද කියනු ලැබේ.

චන්ද්‍රයා වැ‍ඩෙන්නට පටන් ගත් දිනයේ පටන් සම්පූර්ණයෙන් පිරිහී යන දින දක්වා දින තිසක් ඇත්තේය. ඒ තිස් දිනය එක් චන්ද්‍ර මාසයකි. බක්, වෙසක්, පොසොන් ආදී නම් ව්‍යවහාර කරන්නේ ඒ චන්ද්‍ර මාසවලටය. චන්ද්‍ර මාසයේ සඳ වැ‍ඩෙන පසළොස් දිනයට පුරපක්ෂය යයිද, පිරිහෙන පසළොස් දිනයට අව පක්ෂය යයිද කියනු ලැබේ. සඳ වැ‍ඩෙන පක්ෂයේ අටවක දිනයට පුර අටවක පෝය යයිද පිරිහෙන පක්ෂයේ අටවක පොහෝ දිනයට අව අටවක පෝය යයිද කියනු ලැබේ. දින තිසක් නොලැබෙන විසිනවයක් පමණක් ඇති චන්ද්‍ර මාස ද ඇත්තේය. ඒ මාසවල අව පක්ෂයට ඇත්තේ දින තුදුසකි. ඒ මාසවල අවපක්ෂයේ තුදුස්වක දින මාසේපෝය ලෙස ගණන් ගනු ලැබේ.

ඇතැම් සැදැහැවත්හු පෙරගමන් කිරීම් වශයෙන් පෝයට පෙර දිනයේද, පසු ගමන් කිරීම් වශයෙන් පෝයට පසු දිනයේද සිල් සමාදන් වෙති. එසේ කරන්නවුන්ට මසකට සිල් සමාදන් වන දින දොළොසක් ඇත්තේය. ‘ප්‍රාතිහාර්යපක්ෂය’ කියා තවත් පොහොයක් ඇත්තේය. ඇතැම්හු භික්ෂූන් වහන්සේ වස් එළඹ සිටින තෙමස ප්‍රාතිහාර්යපක්ෂය වශයෙන් ගෙන සිල් සමාදන්ව වෙසෙති. ඇතැම්හු වස් කාලයෙන් පසු ලබන පළමුවන මාසය ප්‍රාතිහාර්යපක්ෂය වශයෙන් ගෙන සිල් සමාදන්ව වෙසෙති.

පොහොය දිනය

About the author

The author didnt add any Information to his profile yet