සතිපට්ඨාන භාවනා ක‍්‍රමය

Feb 25, 2015 Comments Off on සතිපට්ඨාන භාවනා ක‍්‍රමය by

කාශ්‍යප බුදුරජානන් වහන්සේ ගේ ශාශනය පිරිහී යන කාලයේදී ඒ බව දුටු භික්ෂුන් වහන්සේලා සත් නමක් ඉමහත් සංවේගයට පැමිණ, “බුදුසස්න පවත්නා මේ උතුම් අවස්ථාව ඉක්ම ගියහොත් නැවත අපට සසර දුකින් මීදීමට පිහිටක් කරගත හැකි කාලයක් කවදා ලබේ දැ යි නො කිය හැකි බැවින් ජීවිත පරිත්‍යාගයෙන් වුව ද උත්සහ කොට අප විසින් දුකින් මීදීමට පිහිටක් කර ගත යුතුය” යි සලකා, කාශ්‍යප බුදුරජානන් වහන්සේ ගේ ධාතු නිදන් කල ස්වර්ණ චෛත්‍යය වැඳ, මහ වනයට වැද, නැගිය නො හෙන එක් පර්වතයක් දැක, ජීවිතාශාව ඇත්තෝ නවතිත්වා! දිවි පුදා මහණ දම් පුරනු කැමැත්තෝ මේ පර්වතයට නගිත්වා! යි කියා හිනිමගක් බැඳ ඒ මඟින්පර්වතයට නැඟ හිණිමග පෙරලා දමා, එහි වෙසෙමින් මහන දම් පුරන්නට පටන් ගත්හ.

මහණ දම් පිරීමය යනු මඟපල පිණිස භාවනා කිරීමය. ඒ පිරිසෙහි සඩ්ඝ සථවීරයන් වහන්සේ එක් රාත්‍රියකින් ම සව් කෙලෙසුන් නසා රහත් වුහ. ඊට පසු දින දෙවන තෙරුන් වහන්සේ අනාගාමී වුහ. ඉතිරි පස් දෙනා වහන්සේ කිසි විශේෂයකට නො පැමිණ ඒ පර්වතය මත නිරාහාර භාවයෙන් වියලී, පෘතග්ජන කාලක‍්‍රියාවෙන් කලුරිය කොට දෙව්ලොව උපන්හ. ඔවුහු දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයහි උපදිමින් බුද්ධාන්තරයක් වූ දීර්ඝ කාලය ගෙවා අප බුදුන් වහන්සේ ගේ කාලයෙහි නැවත මිනිස් ලොව උපන්හ.

පුක්කුසාති රජ එයින් එක් කෙනෙකි. කුමාර කස්සප තෙරුන් වහන්සේ එක් කෙනෙකි. දබ්බ මල්ලපුත්ත තෙරුන් වහන්සේ එක් කෙනෙකි. සභිය පරිව්‍රාජක එක් කෙනෙකි. දරුවීරිය එක් කෙනෙකි. කසුප් බුදුන් වහන්සේ ගේ සස්න පිරිහෙනු දැක සංවේගයට පත් ඒ භික්ෂුන් වහන්සේලා ගේ සිත දිවි පුදා මහණදම් පිරීමට නැමුනාක් මෙන්, වත්මන් බුදු සස්නේ ආයුෂයෙන් අඩක් ගෙවී යන මේ වකවානුවේ සියලු ම බෞද්ධ රටවල බෞද්ධ පින්වතුන්ගේ සිත් පෙරට වඩා දහමට නැමී බරවී ගොස් ඇති බව නොයෙක් කරුණු වලින් පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඑලයක් වශයෙන් මේ ජාතියේදී ම හෝ මේ බුදු සස්නේහිදී ම මඟපල ලබා නිවන් දැකීමේ බලාපොරෝතුවෙන් සිල් රැකීමට, භාවනා කිරීමට බොහෝ දෙනා විසින් පටන් ගෙන තිබේ. බෞද්ධ රටවල භාවනා පුහුණු කරන ස්ථාන බොහෝ ගණනක් ඇති වී තිබේ. බෞද්ධ ජනයා විසින් නොසලකා හැරීමෙන් කාලාන්තරයක් යටපත් වී තුබූ භාවනා ක්‍රම නැවතත් ප්‍රසිද්ධියට පැමිණෙන්නට වී තිබේ. මේ පොතෙහි දැක්වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයත් කාලාන්තරයක් යටපත් වී තුබූ භාවනා ක්‍රමයෙකි. අද බුරුමයේ මේ භාවනාව පුරුදු කිරීමෙන් බොහෝ දෙනෙකුන් බොහෝ ප්‍රතිඑල ලබා ඇති බව කියති.

භාවනා ක්‍රම අතර ද ඉක්මනින් එල දැකිය හැකි ඒවා ද, එල ලැබීමට බොහෝ කල් ගත වන ඒවා ද, කොතෙක් මහන්සි වුව ද සෑහෙන එලයක් නො ලැබිය හැකි ඒවා ද ඇත්තේ ය. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය වනාහි මෙලොව මග – එල ලැබීමට සුදුසුකම් ඇතියන්ට ඉක්මනින් ඒවා ලැබිය හැකි භාවනා ක්‍රමයකි. සතර මාර්ග සතර එල නිර්වාණය යන මේ ලෝකෝත්තර ධර්මයෝ ගිහි – පැවිදි, ගැහැණු – පිරිමි, බාල – මහලු සැම දෙනට ම සාධාරණයහ. අතීතයෙහි සත් හැවිරිදි ළදැරියන් පවා සෝවාන් එළයට පැමිණි බව අපේ පොත පතෙහි නොයෙක් තැන් වල සඳහන් වී ඇත්තේය. වර්තමාන ජාතියේදී මග – එල ලැබීමට තරම් භාග්‍යයක් සෑම දෙනාට ම නැති බව නම් ඇත්තකි. එබන්දෝ බුද්ධ කාලයෙහි ද බොහෝ වුහ. මෙකල වෙසෙන සෑම දෙන ම වර්තමාන භවයේ මග – එල ලැබීමට භාග්‍ය නැත්තාහු නො වෙති. ඒවා ලැබීමට තරම් භාග්‍යය ඇතියවුන් දැනුදු බොහෝ ඇති බවට කිසිඳු සැකයක් නැත.

වී ඇටයෙහි පැලවීමේ ශක්තිය ඇත ද, අටුවේ ම තුබුනහොත් කිසි කලෙක එය පැළ නො වන්නේ ය. එමෙන් මේ ජාතියේදී ම මග – එල ලැබීමට භාග්‍යය ඇති තැනැත්තාට ද ලැබීම සඳහා ක්‍රියා නො කල හොත් ඒවා නො ලැබෙන්නේ ය. මේ ජාතියේදී ම මග – එල ලැබීමේ භාග්‍යය ඇද්ද, නැද්ද යන බව තේරුම් ගැනීමට කිසි ලකුණක් නැත්තේ ය. භාග්‍යය සැඟවී ඇති දෙයකි. ඒ නිසා මේ ජාතියේ දී ම මේ බුදු සස්නේ දී ම මග – එල ලැබීමට, නිවන් දැකීමට තරම් භාග්‍යයක් අපට නැතය කියා කිසිවකු විසින් මන්දෝත්සාහී නොවිය යුතුය. භාග්‍යය ඇති නැති බව දත හැකි වන්නේ ද උත්සාහ කර බැලීමෙනි. නොමග නොගොස් ඒකාන්තයෙන් මෙලොවම එල දැකිය හැකිවන යහපත් විදර්ශනා භාවනා ක්‍රමයක් අනුව කලක් උත්සාහ කල හොත් භාග්‍යය ඇති තැනැත්තා යටත් පිරිසෙයින් සෝවාන් එලයටවත් පැමිණෙන්නේය. මේ ජාතියේදීම එයට පැමිණීමට භාග්‍යය නැත්තා වූ පින්වතුන්ට කසුප් බුදුන් සමයහි කඳු නැඟ භාවනා කොට ද ඒ ජාතියේදී සෝවාන් එලයටවත් පැමිණිය නුහුණු භික්ෂුන් වහන්සේලා පස් නමට ඒ කල උත්සාහය අප බුදු සස්නෙහි ඉතා ඉක්මනින් රහත් විය හැකිවීමට පාරමිතාව වුවාක් මෙන් මතු බුදු සස්නකදී මග එල ලැබීමේ පාරමිතාව වන්නේය.

ස්වසන්තානයෙහි කාමච්ඡන්දාදි නීවරණයන්ට ඇති වන්නට ඉඩ තබා සමහර දවසක පමණක් භාවනා කරන්නා වූ තැනැත්තන්ට හා දිනපතා ම වුව ද දවසෙන් සුළු කාලයක පමණක් භාවනාවෙහි යෙදෙන්නවුන්ට කෙටි කාලයකින් මග – එල නො ලැබිය හැකිය. එසේ කරන්නවුන්ට සිය වසකිනුදු මග – එල නොලැබිය හැකිය. ස්වසන්තානයෙහි නීවරණයන් ඇතිවීමට අවකාශයක් නො තබා නීවරණයන්ට සම්පුර්ණයෙන් ම ඉඩක් නොදී, නිදන කාලය හැර දවස මුළුල්ලේ ම සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන පින්වතාට මග – එල ලැබීමට වැඩි කලක් ගත නො වේ. එබැවින් සැරියුත් මහා තෙරුන් වහන්සේ “මේ සස්නෙහි කෙතෙක් කල් ධර්මයට අනුව පිළිපදින තැනැත්තේ රහත් වේ දැ” යි විචාල ජම්බුඛාදක පරිබ්‍රාජකයා හට “න චිරං ආවුසො” ඇවැත්නි! වැඩි කලක් නොවේය යි වදාළ සේක.

මේ පොතෙහි දක්වා ඇත්තේ සතර සතිපට්ඨානය ම එකවර භාවනා කිරීමේ ක්‍රමය ය. මෙය අනිකුත් භාවනාවන් මෙන් නොව, සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්ත වූ කෑම් – බීම, මලමුත්‍ර පහ කිරීම්, මුවදෙවීම්, අත් – පා දෙවීම්, වතුර නෑම්, කථා කිරීම්, දීම්, ගැනීම්, හැදීම්, පෙරවීම් ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූ ද, චක්ෂුරාදී ඉන්ද්‍රියන්ට හමුවන අරමුණු හා සම්බන්ධය ඇත්තා වූ ද, අරමුණු ගැනීම හා සම්බන්ධය ඇත්තා වූ ද, කල්පනා කිරීම් වැටහීම් සැප දුක් හා සම්බන්ධ වූ ද, සන්තානයෙහි ඇතිවන කෙලෙස් සම්බන්ධ වූ ද, ශ්‍රද්ධාදි ගුණ ධර්ම සම්බන්ධ වූ ද, යහපත් වුත් අයහපත් වුත් කල්පනා සම්බන්ධ වූ ද භාවනවෙකි. හොඳින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියන්ට මුණ ගැසෙන සියල්ල හා මේ භාවනාව සම්බන්ධ වේ.

මේ සතිපට්ඨාන භාවනාව මැනවින් කරන යෝගාවචරයා හට නිදන කාලය හැර අන් සිස් කාලයක් නැත. එබැවින් ඔහුගේ සන්තානයහි කාමච්ඡන්දාදි නීවරනයන්හට නැගී එන්නට අවස්ථාවක් නො ලැබෙන්නේ ය. එයින් නො පිරිහෙන්නේ ය. ඒ යෝගාවචරයා හට අද කරන භාවනාවෙන් ඇති වන සිහියේ දියුණුව, සමාධියේ දියුණුව, ප්‍රඥාවේ දියුණුව, හෙට කරන භාවනාවෙන් ඇති වන සිහියේ දියුණුව හා සමාධියේ දියුණුව හා ප්‍රඥාවේ දියුණුව හා සම්බන්ධ වන්නේය. එබැවින් ඇතැම් යෝගාවචාරයෝ සතියක් දෙකක් භාවනාවේ යෙදීමින් ද මග එල ලබති. වැඩි කලක් භාවනා කරන්නා ගැන කියනු කීම?

බොහෝ යෝගාවචරයෝ වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සතිපට්ඨාන තුන ගැන සැලකිල්ලක් නො දක්වා කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව පමණක් කරති. එසේ කරන්න වූ තැනැත්තාට ද එයින් වන නපුරක් නැත ද, සතර සතිපට්ඨානය භාවනා කරන යෝගාවචරයන්ට සේ ඉක්මනින් මග – එල ලැබිය හැකි නොවේ.”යෙසං කෙසඥ්චි භික්ඛවෙ! චත්තාරො සතිපට්ඨානා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො. යෙසං කෙසඤචි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා ආරද්ධා, ආරදධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමි” යනාදීන් තථාගතයන් වහන්සේ විසින් නොයෙක් සුත්‍රවල සතර සතිපට්ඨානය ම වැඩිම වදාරා තිබෙනු දක්නා ලැබේ. පෙර යෝගාවචරයන් එසේ කල බවත් නොයෙක් සුත්‍ර වලින් පෙනේ.

දිනක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ දැක, කියන සේක් “ඇවැත්නි! අනුරුද්ධය, ඔබගේ ඉන්ද්‍රියෝ ප්‍රසන්නයහ. මුහුණේ පැහැය පිරිසිදුය, බබළන්නේය. ඔබ මේ කාලයේදී කිනම් විහාරයකින් බොහෝ කොට වාසය කරන්නහු ද” යි කීහ. එකල්හි අනුරුද්ධ තෙරුන් වහන්සේ “චතුසු ඛ්වාහං ආවුසො සතිපට්ථානෙසු සුපට්ඨිතචිත්තො එතරහි බහුලං විහාරමි” යනුවෙන් “මම මේ කාලයෙහි සතර සතිපට්ඨානයෙහි පිහිට වූ සිත් ඇතිව බොහෝ සෙයින් වෙසෙමි” යි වදාළ සේක. මුලින් සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්නවුන්ට එයින් අපහසුකම් ඇති වෙතත් පුරුදු වූ පසු එය ඉතා සුඛදායක භාවනාවක් බවත් රහතන් වහන්සේලාත් සතිපට්ඨානය සේවනය කෙරෙමින් වෙසෙන බවත් එයින් දත හැකි ය.

මේ ග්‍රන්ථයෙහි සතිපට්ඨාන භාවනාව දක්වා ඇත්තේ උදරය ප්‍රධාන කර ගෙන ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි මුලින් ම වදාරා ඇති ආනාපාන භාවනාව නො ගෙන උදරයේ උස් පහත් වීමක් මේ භාවනා ක්‍රමයට මුල්කර ගෙන තිබෙන්නේ කුමට දැ යි ඇතැම්හු ප්‍රශ්න කරති. ඇතැම්හු එයට දොස් දක්වති. උදරය උස් පහත් වීමේ කථාව බුරුම බස නොදැනීම නිසා ඇති කර ගෙන තිබෙන අවුලකි. මේ භාවනාව උදරයේ පිම්බීම් හැකිලීම් දෙක ප්‍රධාන කර ගෙන පුහුණු කල යුත්තකි. උදරයේ පිමබීම් – හැකිලීම් දෙක ප්‍රධාන කර ගැනීම ගැන දොස් දක්වන්නවුන් එසේ කරන්නේ භාවනා ක්‍රම ගැන නො දැනීම නිසා ය. ශමථයානිකයෝ ය, විදර්ශනායානිකයෝ ය යි යෝගීහු දෙකොටසකි. ශමථ යානිකයන්ට ආනාපානය මුල් කර ගෙන භාවනා කිරීම හොඳ ය.

මේ ග්‍රන්ථයෙහි දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධවිදර්ශනා භාවනාවකි. භාවනාවෙන් මග පල ලැබිය හැකිවීමට විදර්ශකයා විසින් ඝන විනිබ්භෝගය කොට, ආත්ම සංඥාව දුරුවන සැටියට නාම – රූප හොඳින් හැඳින ගත යුතු ය. ඒවායේ ඉපදීම් බිඳීම් දෙක දැකිය යුතු ය. ඉපදීමේ හේතු දැකිය යුතුය. අනිත්‍යාදී ලක්ෂණ තුන දැකිය යුතු ය. ඝනයෙන් වැසී ඇති බැවින් නාම – රූප දෙක වෙන් වශයෙන් දැක ගැනීමත් පහසු නැත. ඒවායේ ඉපදීම් බිඳීම් දෙක දැක ගැනීමත් පහසු නැත. පොත පතින් ඇති කර ගන්නා දැනුමෙන් මග පල නො ලැබිය හැකිය. මග – පල ලැබීමට ප්‍රත්‍යක්‍ෂ දර්ශනයක් වුවමනා ය. ඒ ප්‍රත්‍යක්‍ෂ දර්ශනය ඇති කර ගැනීමේ පහසු ක්‍රමය රූපයන්ගේ හෙලවීම අනුව සිහි නුවණ දෙක පැවැත් වීම ම ය. චලනය වන රූපයනට සිහි නුවණ දෙක යොමු කර ගෙන ඉන්නා යෝගාවචරයා හට ඒ සෙලවෙන දෙය අනිකක් බවත්, එය සිහි කරන සිත අනිකක් බවත්, රූප සෙලවෙන වාරයක් පාසා ඒවා මෙනෙහි කරන සිත් වෙන වෙන ම ඇති වන බවත්, චලනයන් නිසා ඒවා මෙනෙහි කරන සිත් ඇති වන බවත්, සෑම චලනයක් ම එකෙණිහි ම නැති වන බවත්, චලනය මෙනෙහි කල සිතත් නැති වන බවත් චලනය වන රූපත් ඒවා නිසා උපදනා සිතුත් හැර, මම ය – සත්ත්වයා ය – පුද්ගලයා ය – ආත්මය ය කියා ඒ නාම රූප අතර කිසිවක් නැති බවත්, ඉපද ඉපද බිඳී බිඳී යන ඒ නාම – රූප ආත්ම නොවන බවත් අමුතුවෙන් නො සිතාම පෙනෙන්නට වන්නේ ය. කෙලෙස් නැසීමට සමත් ප්‍රත්‍යක්ෂ දර්ශනය එය ය.

ආශ්වාස ප්‍රශ්වාස නිසා ශරීරයේ පිමබීම් හැකිලීම් දෙක උදරයෙහි ප්‍රකට ය. එයින් මුළු ශරීරයේ ම සියුම් චලනයක් ඇති වේ. උදරයේ පිමබීම් – හැකිලීම් දෙක සිහි කරමින් වෙසෙන යෝගාවචරයාට ස්මෘති – සමාධි – ප්‍රඥවන් දියුණු වත් වත් ම ක්‍රමයෙන් මුළු ශරීරයේ ම වන චලනයන් ප්‍රකට වන්නේ ය. ඒ චලනය අනුව ශරීරය සෑම තැනම රූප කලාප ඉපද ඉපද බිඳී බිඳී යන සැටි ඔහුට පෙනෙන්නට වන්නේ ය. එය කෝටි ප්‍රාප්ත අනිත්‍ය දර්ශනය ය. ආනාපානය මෙනෙහි නො කොට පිමබීම් – හැකිලීම් දෙක සිහි කරන්නට උගන්වන්නේ ඒ දර්ශනය ඇති වනු සඳහා ය.

දැනට ජීවත් වන සලක සත්ත්වයන් ම කවදා හෝ මැරෙන බවත්, පොළොව මතු පිට ඇති සකල වස්තූන් ම කවදා හෝ විනාශ වන බවත් හැම දෙනා ම වාගේ දන්නාහ. එබඳු අනිත්‍ය දර්ශනයකින් ආත්ම සඥාව දුරු වන්නේ නොවේ. අනිකුත් කෙලෙස් දුරු වන්නේ ද නොවේ. මග – පල ලැබෙන්නේ ද නො වේ. නිවන් දැකිය හැක්කේ ද නොවේ. මග – පල නිවන් ලැබිය හැකි වීමට ක්ෂණයක් පාසා ශරීරයේ රූප කලාප ඉපද ඉපද බිඳී බිඳී යාම දැකිය යුතු ය. පිම්බීම් – හැකිලීම් දෙක සිහි කිරීම උගන්වන්නේ චලනය අනුව ඒ දර්ශනය ඇතිකර ගැනීමට ය. ඒ නිසා නිවන් දකිනු කැමැත්තෝ අතිපණ්ඩිතයන්ට මුලා නොවී මේ භාවනාව ආදරයෙන් කරත්වා!!

සංසාරය අති දීර්ඝය. අතිදීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්ත්වයෙකු විසින් නො ලැබූ දුකක් නැත. එසේ ම බොහෝ සැප ද ලබා ඇත. එහෙත් වඩා ලබා ඇත්තේ දුක් ය. ලැබූ දුක් වලින් දහසෙන් පංගුවක් ලක්‍ෂයෙන් පංගුවක් පමණවත් සැප ලබා නැත. සසර සැරිසරන සත්ත්වයා හට නිවන් නො සොයා මෙසේ වාසය කල හැකි වී ඇත්තේ අතීතය නො පෙනීම නිසා ය. යම් හෙයකින් මේ සත්ත්වයනට තමන්ගේ අතීතය පෙනෙනවා නම්, අන් හැම දෙය ම නවත්වා ඔවුන් නිවන් සොයන්නට පටන් ගන්නවා ඇත. සසර සැරිසරන සත්ත්වයා හට වැඩි කලක් වාසය කරන්නට සිදු වන්නේ සතර අපායේ ය. ඔහුට සුගතියට පැමිණෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මිනිස් ලොව, සසර සැරිසරන සත්ත්වයාට කලාතුරකින් ඉපදෙන්නට ලැබෙන සුගතියකි. මිනිස් ලොව සුගතියකැ යි කියනුයේ එහි ඇති සැප ම ඇති නිසා නොව අපායෙහි තරම් දරුණු දුක් නැති නිසා ය. සත්‍ය වශයෙන් කියතහොත් මිනිසාට ඇත්තේ ද මහා දුඃඛස්කන්ධයක් ම් ය. මිනිස් ලොව ඉපදීමමත් දුකකි. හඬ හඬා උපදින අය මිස ප්‍රීතියෙන් උපදින අය දක්නට නැත. ඉපද කලක් ගත වනතුරු තමාට කිසිවක් කර ගත නො හැකි ව, තමාට ඇති වේදනාව තමාගේ දුක අනුන්ට කියා ගැනීමටවත් සමත් කමක් නැතිව, අනෙක දුඃඛ වේදනා විඳිමින් හුන් තැන ම මලමුත්‍ර කරමින් හඬමින් ඉතා දුකසේ ජීවත් වන්නට සිදු වේ. ඒ දුක ද, හැරෙන්නට පෙරළෙන්නට හා කථා කරන්නට නුපුළුවන් වන තරමේ දරුණු රෝගයකින් පෙළෙන්නෙකුට ඇති දුක හා සර්වාකාරයෙන් සමාන ය.

මදක් ලොකු වූ පසු මිනිසකු වශයෙන් ලෝකයෙහි ජීවත්විය හැකි වනු පිණිස උපන් තැනැත්තා විසින් වර්ෂ බොහෝ ගණනක් ශිල්ප – ශාස්ත්‍ර උගත යුතු ය. එද මහා දුකෙකි. ඉන්පසු ආහාරපානාදී ජීවත් වීමේ උපකරණ සපයාගනු පිණිස ජීවත්වන තාක් වැඩ කල යුතු ය. එද මහ දුකෙකි. කරන වැඩවලින් බලාපොරොත්තු තරමට ප්‍රයෝජන නො ලැබෙන කල්හි ඇති වන්නේ ද සිතට මහත් දුකෙකි. දුක සේ සපයා ගත් වස්තුව සොරුන්ට අසුවීම් ආදියෙන් සමහර විට නැති වෙයි. එද මහ දුකෙකි. නොයෙක් විට ශරීරයේ බොහෝ වේදනා ඇති කරන දරුණු රෝග ද ඇති වේ. ගින්නෙන් දවන කලෙක මෙන්, පිහියාවලින් කපන කලෙක මෙන්, පොලුවලින් තලන කලෙක මෙන්, සතුන් විසින් සපන කලෙක මෙන්, කඹවලින් වෙළා තද කරන කලෙක මෙන්, අඬුවකින් තද කරන කලෙක මෙන් වේදනා ඇතිවන රෝග ඔහුගේ ශරීරයෙහි හට ගැනේ. එසේ හටගන්නා වූ රෝග සුවකර ගැනීමට ද සමහර විට සති ගණන් මාස ගණන් එක ඉරියව්වකින් වාසය කරන්නට වීම් ආදියෙන් බොහෝ දුක් ගන්නට සිදු වේ. එසේ දුක් ගෙන ද ඇතැම් රෝග සුවකර ගත හැකි නො වේ.

සමහර විට රෝග සුවකර ගැනීම සඳහා බලවත් වේදනා හට ගනා ස්ථාන වල ශල්‍යකර්ම කරවා ගන්නට ද සිදු වේ. මේ මිනිස් ශරීරය ආහාරපානාදියෙන් කෙසේ පෝෂණය කලත් දිනෙන් දින දිරා දිරා යන්නේ ය. එද මහ දුකෙකි. මිනිසාට දුප්පත් කමක් දුකෙකි. ධනය සැපයීමත් දුකෙකි. පරිස්සම් කිරීමත් දුකෙකි. අඹුදරුවන් නැති බවත් දුකෙකි. ඇති බවත් දුකෙකි. ජීවත්වීමත් දුකෙකි. මරණයත් දුකෙකි ලෝකයෙහි ඇත්ත වශයෙන් සැපය කියා සලකන්නට දෙයක් නැත. මිනිසුන් සැප වශයෙන් සලකන්නේ සා පිපාසාදී ශාරීරික වේදනා සංසිඳවා ගැනීම හා තෘෂ්ණාදාහය සංසිඳවා ගැනීම සඳහා කරන දේ ය. අහර වැළදීම හා බීම සැප වශයෙන් සළකතත් එය සා පිපාසා දුක්වලට කරන ප්‍රතිකාරයකි. සැප වශයෙන් සලකන තවත් බොහෝ දේත් ඒ ඒ කරුණු ගැන ඇතිවන තෘෂ්ණා දාහය නැතිකර ගැනීමට කරන දේවල් ය. හොඳින් විමසා බලත හොත් සුගතියක් වශයෙන් සලකන මේ මිනිස් ලොවත් සැපයෙන් තොර දුඃඛස්කන්ධයක් බව පෙනෙනු ඇත. සුගතියක් වශයෙන් සලකන මිනිස් ලොවත්, දුක් ගොඩක් වන කල්හි අපාය ගැන කියනු කීම? එහි ඇති දුක විස්තර කරන්නට වචනත් නැත.

ජීවත් වන සෑම සත්ත්වයෙකුට ම මරණය නියත ය. මහ ධනිසුරන් වී ඉන්නා වූ ද, රජකම් – මැති ඇමතිකම් ආදී ලොකු තනතුරු ලබා ඉන්න්නා වූ ද, සෑම දෙනාම පෝරකයට නියම කරනු ලැබ සිරකූඩුවේ ඉන්නා අය මෙන් ම මරණයට නියමිතව ම ඉන්නෝය. මරණයට නියමිතව ඉන්නා තැනැත්තාට ධනයෙන් තනතුරෙන් අඹුදරුවන්ගෙන් කිනම් එලයක් ද? නියමිත දිනය පැමිණි කල්හි ඔහු විසින් සියල්ල හැර යා යුතු ය. මැරෙන තැනැත්තාට අපායට යන්නට සිදු නොවී නැවතත් සුගතියෙහි ම උපදින්නට ලැබේ නම්, එද සැනසිල්ලකි. කෙබඳු තත්ත්වයක සිටියත්, කොතෙක් පින්කර ඇතත් පෘථග්ජන පුද්ගලයාට දෙවන වාරයේ උත්පත්තිය පිලිබඳ ස්ථාන නියමයක් නැත. අද සිහසුන මත මහ යස ඉසුරෙන් වැජඹෙන තැනැත්තා සමහර විට හෙට දවසේ අපායේ ගිනි ගොඩේ ය. දිවි පැවැත්වීම බරපතල කරුණක් වන බැවින් මිනිසාට නො කැමැත්තෙන්වුව ද නොයෙක් විට පවුකම් කරන්නට සිදු වේ. එබැවින් කොතෙක් පින් කලත් ඔහුට අපායෙන් බේරීම ඉතා අපහසු ය. මැරෙන මිනිසුන්ගෙන් ඉතා වැඩි දෙනෙකුන් මරණින් ම යන්නේ අපායට ය. වරක් අපායට ගිය තැනැත්තාට නැවත සුගතියට එන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. එබැවින් සංසාරය අති භයානකය.

නැවත අපායට යන්නට තිබියදී සක්විති රජකම ලබා සිටියත් දෙව්රජකම ලබා සිටියත් ඉන් පලක් නැත. ඒ නිසා නුවනැතියන් විසින් කල යුත්තේ ධනය සෙවීමවත්, තනතුරු සෙවීමවත්, ගරුනම්බු සේවීමවත් නොව අපායෙන් මිදීමේ උපාය සෙවීම ය. අපායෙන් සම්පුර්ණයෙන් මීදීමට මතු කිසි කලෙක අපායට නො යන්නෙකු වීමට ඇත්ත වූ එකම උපාය සෝවාන් වීම ය. සෝවාන් පුද්ගලයා ක්‍රමයෙන් නිවනට ම යනු මිස නැවත කිසි කලෙක අපායට නොයේ. සෝවාන් එලයෙහි වටිනාකම පමණ කල නො හැකිය. එය සක්විති රජකමට ද වඩා වටිනා බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එබැවින් එය කිනම් පරිත්‍යාගයක් කොට වුව ද කොතරම් මහත් දුකක් විඳ වුව ද ලබා ගන්නට නිසි ය.

සෝවාන් වීමේ භාග්‍යය ඔබ කෙරෙහි සැඟවී තිබිය හැකිය.සෝවාන් එලයට පැමිණීමට ඔබට මහා පරිත්‍යාගයක් කරන්නට සිදු නො වනු ඇත. වස්තු පරිත්‍යාගයකින් එය ලබන්නට ද නුපුළුවන. එය ලැබිය යුත්තේ සතිපට්ඨාන භාවනාවෙනි. එය ක්‍රමානුකූලව මේ ජාතියේදී ම සෝවාන් විය හැකි පරිදි කරන්නට නම් බොහොම මහන්සි විය යුතු ය. එයට බිය නොවී, මේ පොතෙහි දක්වා ඇති පරිදි සතිපට්ඨාන භාවනාව කල හොත් සමහර විට ඔබට සති ගණනකින් ද සෝවාන් විය හැකි වනු ඇත. මේ (බුද්ධ ජයන්ති) කාලය ඔබට ඉතා හොඳ සුභ මොහොතකි. මෙබඳු අවස්ථාවක් ඔබට මතු නො ලැබෙනු ඇත. ඒ නිසා ඔබ ලබා සිටින මිනිසත් බවින් ගත හැකි ඉතා උසස් ප්‍රයෝජනය, බුදුසස්න මුණගැසීමෙන් ලැබිය හැකි උසස් ප්‍රයෝජනය ලැබීමටත් මේ භාවනාව කොට සෝවාන් වන්නට උත්සාහ කරන්න.

දැනට බුරුමයේ බොහෝ දෙනෙකු විසින් පුහුණු කරන, බොහෝ දෙනා විසින් ප්‍රතිඑල අත් දැක තිබෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය 1955 මාර්තු මාසයේ පටන් කොළඹ දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාවෙන් නිකුත් කරන දහම්පත් මගින් මේ රටෙහි ප්‍රචාරය කිරීමට පටන් ගත් මුල් කාලයේදී මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නො දැක්වූ නමුත්, බුරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පුහුණු කරවන්නට පටන් ගත් තැන් පටන් අපගේ දහම් පත් බොහෝ දෙනා සොයන්නට පටන් ගත්හ. දහම් පත් සොයන බොහෝ දෙනෙකුන්ට ඒවා නො ලැබිය හැකි විය. භාවනා ක්‍රමය පොතක් වශයෙන් මුද්‍රණය කරවුව හොත් එයින් සිදු වන මහත් වූ යහපත ගැන අපට බොහෝ දෙනක් කීහ. දැනට භාවනා මධ්‍යස්ථානවලට ගොස් සතිය දෙක භාවනාව පුහුණු කරගෙන යන්නා වූ පින්වතුන්ට ඒ භාවනාව ඉදිරියට ගුරුවරයකු නැතිව කරගෙන යා හැකි ක්‍රමයක් ද නැත්තේ ය. විශේෂයෙන් ඒ අයගේ යහපත පිණිසත් නිවන් දකිනු කැමති, බුදු සස්නෙන් ලැබිය හැකි උසස් එලය ලබනු කැමති, සැම දෙනාගේ ම යහපත පිණිසත් නිවන් මඟ හෙළි කරන මේ භාවනා මාර්ගය පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට පිළියෙළ කරන ලදී.

මේ පොත කුඩා වුව ද මෙහි රහත්වීම දක්වා භාවනාව කරන සැටි විස්තර කර ඇත. බුරුමයේ මේ භාවනාව පුහුණු කරවන ප්‍රධානස්ථානයෙන් භාවනා ක්‍රමය පිළිබඳ සම්පුර්ණ විස්තරය දැක්වෙන අටසියයකට අධික පිටු ගණනක් ඇති පොතක් නිකුත් කර තිබේ. අපට ද අනාගතයෙහි එවැනි පොතක් සම්පාදනය කිරීමේ භාග්‍යය ලැබේවා යි පතමු. දැනට එබඳු පොතක් නැතිකමේ පාඩුව අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය, චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව, චතුරාය්‍ය සත්‍යය, බෝධිපාක්‍ෂික ධර්ම විස්තරය, පටිච්චසමුප්පාද විවරණය යන පොත් කියැවීමෙන් බොහෝ දුරට පිරිමසා ගත හැකි වනු ඇත.

චිරං තිට්ඨතූ සද්ධම්මො.

මීට – ශාසනස්ථිතිකාමි,
රේරුකානේ චන්දවිමල ස්ථවීර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet