සූවිසි මහ ගුණය

Jul 12, 2014 Comments Off on සූවිසි මහ ගුණය by

අරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක් ධර්මරත්නයෙහි ඇත්තේය. සුපටිපන්නො භගවතො සාවක සංඝො යනාදීන් දැක්වෙන ගුණ නවයක් සංඝරත්නයෙහි ඇත්තේය. සියල්ල එකතු කල කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට “සූවිසි මහ ගුණය” යි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කරන මේ ග‍්‍රන්ථයට ද සූවිසි මහ ගුණය යන නම ම තබන ලදි.

බෞද්ධ වූ සැමදෙනා විසින් ම තෙරුවන් හොඳින් හැඳින ගෙන සිටිය යුතුය. තෙරුවන් නො හඳුනන බෞද්ධයාට ඇත්තේ බෞද්ධ නාමය පමණෙකි. තෙරුවන් හැඳින ගත යුත්තේ මේ ගුණ සූවිස්සෙනි. මේ ගුණ සූවිස්ස දැන ගැනීම හැර තෙරුවන් හැඳින ගැනීමට අන් කළ යුත්තක් නැත. තෙරුවන් හැඳින ගැනීමේ අනුසස් බොහෝය. මේ ගුණ සූවිස්ස දැන මැනවින් හැඳින ගත් තැන්ත්තාට කිසි කලෙක වෙනස් නො වන, කිසිවකු විසින් කිනම් උපායකිනුදු වෙනස් කල නො හෙන අචල ප‍්‍රසාදයක් තුනුරුවන් කෙරෙහි ඇති වේ. එයින් ඔහු පව්කම් වලින් වැලකී බෝධිපාක්‍ෂික ධර්මයන් වඩන පුද්ගලයෙකු වී මද කලෙකින් ම නිවන් දැක සියළු දුක් කෙලවර කර ගන්නෙක් වන්නේය. තුනුරුවන් නො හඳුනන පුද්ගල තෙමේ කුශලයෙන් දුරුව පස්කම්හී හා පව්කම්හී ඇලී ගැලී සිට දුකින් දුකටම පත් වන්නේය. දුර්ලභ බුද්ධෝත්පාදකාලය ලැබීමෙන් මිනිසත් බව ලැබීමෙන් ගත හැකි උසස් ප‍්‍රයෝජනයක් නො ලබන්නේය. තෙරුවන් පිහිටා නොලබා මේ සත්වයනට ජාති – ජරා – මරණ ආදී දුක් වලින් හා අපා දුකින් නො මිදිය හැකිය. දුකින් මිදීමට ඇති එක ම පිහිට, නො වරදින පිහිට තෙරුවන් පිහිටය. තෙරුවන් නො හඳුනන්නවුන්ට එය නො ලැබිය හැකිය. එබැවින් දුකින් මිදී නිවන් සුව ලබනු කැමති ගිහි – පැවිදි, ස්ත‍්‍රී – පුරුෂ සැම දෙනා විසින් ම තෙරුවන් ගුණ මැනවින් දැනගැනීමට උත්සාහ කල යුතුය. බෞද්ධ සැම දෙනා විසින් ම යටත් පිරිසෙයින් එක් එක් රත්නයක ගුන වලිව් එක් එක් ගුණය බැගින් වත් හොඳින් දැන සිටිය යුතුය.

තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත‍්‍රාභීධර්මවිනය සංඛ්‍යාත පිටකත‍්‍රයෙහි හා අටුවාටීකා වල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයාබලා තේරුම් ගෙන තෙරුවන් ගුණ තේරුම් ගැනීම නූගතෙකුට තබා මහා පඬිවරයෙකුටද පහසු කාර්ය්‍යක් නො වේ. තෙරුවන් ගුණ බෞද්ධ කාහටත් පහසුවෙන් දත හැකි වීම පිණිස පිටකත‍්‍රයෙහි හා තවත් ග‍්‍රන්ථ වල විසිරී පවත්නා ඒ කරුණු එක් තැන් කොට තෙරුවන් ගුණ විස්තර කරන ග‍්‍රන්ථයක් තිබිය යුතුය. තෙරුවන් ගුණ වලින් යම් කිසි එක් ගුණයක් ගෙන එපමණක් විස්තර කර ඇති සිංහල බණ පොත් කීපයක් ඇති නමුත් සූවිසි ගුණයම පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි විස්තර කර ඇති පොතක් සිංහල සාහිත්‍යයට නැති බව දුටු අපගේ සිත සූවිසි මහා ගුණය නැමති මේ ග‍්‍රන්ථය සම්පාදනය කිරීමෙහි නැමිණ. තෙරුවන් ගුණ උගත් නූගත් සැම දෙනා විසින්ම දත යුතු බැවින් මේ ග‍්‍රන්ථය සම්පාදනය කිරීමෙහිදී වැඩි දෙනෙකුන් දන්නා සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරයෙහි පවතින ප‍්‍රසිද්ධ වචන හැකි තාක් යොදන ලදි. එබැවින් මෙය කියවා කා හටත් පහසුවෙන් දම් රසය විඳිය හැකි වනු ඇත. මේ ග‍්‍රන්ථය තේරුම් ගැනීමට ගැටපද විවරණ සන්න ටීකා උවමනා නො වනු ඇත.

තෙරුවන් ගුණ ඉතා ගැඹුරුය. ඒවායින් බොහෝවක්ම සාමාන්‍ය ලෝකස්වභාවය ඉක්මවා පවතින, අපේ දුබල නුවණට හසුකර ගත නොහෙන, බුද්ධාදී ආර්ය්‍යන්ට ම විශය කරුණුය. ඒවා සාමාන්‍ය ලෝක තත්වය අනුව හෝ නවීන ප‍්‍රවීණ විද්‍යා ශාස්ත‍්‍ර අනුව හෝ මනින්නට විවේචනය කරන්නට නොයා යුතුය. මෙකල ඇතැම් උගත්හූ තමන් දන්නා දේ අනුව විවේචනය කොට තුණුරුවන් ගැන ද නොයෙක් අදහස් පහල කෙරෙති. ඇත්ම්හූ විවේචනය කරමුය, කියා තමන්ට අවිශය කරුණු ගැන මොක මොකවත් බොරු රැසක් ඇද බා මහ වැඩක් කෙළෙමුයි තමන් ගැන උදම් වෙති. එය තමන්ගේ මෝඩකමේ ම එක් අංගයක් බව ඒ භවත්හූ නො දනිති. විවේචනය වන්නාහී මෝඩකම වැඩි තරමට වඩ වඩා කල හැකි කාර්ය්‍යකි. එබැවින් තෙරුවන් පිළිබඳව ඇති නවීන උගතුන්ගේ ප‍්‍රශ්න කිසිවක් මේ ග‍්‍රන්ථයට ඇතුලත් නොකරන ලදි. අප විසින් අමුතුවෙන් සිතා ද මේ ග‍්‍රන්ථයට කිසිවක් අතුළු නො කරන ලදි. මෙය සම්පාදනය කර ඇත්තේ, පිටකත‍්‍රයෙන් හා අටුවාවලිනුත් තවත් සැලකිය යුතු දහම්පොත් වලිනුත් ගන්නා ලද කරුණු අනුවය. ඒ ඒ කරුණු ගත් තැන්හිද පොතෙහි ඒ ඒ තැන් වල සඳහන් කර ඇත.

අප විසින් මේ ග‍්‍රන්ථය ලියන ලදුයේ තවත් නොයෙක් කටයුතු වල යෙදී ඉන්නා අතර ම ය. විවේක මද බව නිසා මෙය ලියා සම්පූර්ණ කිරීමට දොලොද් මසක් පමණ ගත විය. කල් ගත කොට කඩින් කඩ පොත ලියන කල්හි කලින් ලියූ කරුණු අමතක වේ. එබැවින් මෙහි ඇතැම් තැනක වරක් ලියූ කරුණු නැවතත් ඇතුළු වී තිබෙන්නට බැරි නැත. එසේ තිබීම ග‍්‍රන්ථ දෝෂයක් වුවද කියන්නවුන්ට එයින් ලාභයක් මිස හානියක් නොවනු ඇත.

බෞද්ධයන් තමන්ට පරලොවට පිහිට පිණිසත්, මිය ගිය ඥාතීන්ට සැප සලසනු පිණිසත්, මිය ගිය ඥාතීන් පේ‍්‍රතත්වයෙන් ගොඩනගනු පිණිසත්, බෙහෙවින් කරන්නේ සඟරුවනට පිදීමය. උසස් ඵල ගෙන දෙන ඥානසම්ප‍්‍රයුක්ත කුශලයන් වන පරිදි ඒ පින්කම් කල හැකි වන්නේ සඟගුණයන්, සංඝරත්නය හැඳින සංඝරත්නයෙහි පැහැදීමක් ඇතිව සිටියහොත්ය. එබැවින් මෙහි සංඝරත්න ගුණ විස්තරය සැමදෙනා විසින් ම විශේෂයෙන් කියවා තේරුම් ගත යුතුය.

බෞද්ධයන් අතර පවත්නා ප‍්‍රශ්න වලින් බොහෝමක් සංඝරත්නය හා එහි ගුණ පිළිබඳව ය. සංඝරත්නය පිළිබඳව විසඳීමට දුෂ්කර නොයෙක් ප‍්‍රශ්න ඇත්තේය. පිටකත‍්‍රයෙහි සඟරුවනේ ගුණ පිළිබඳ කරුණු ඇත්තේ ද ස්වල්ප වශයෙනි. එබැවින් සඟරුවන පිළිබඳව විස්තර කිරීමට අපට බොහෝ වෙහෙසෙන්නට සිදු විය. පිටකත‍්‍රයෙහි කරුණු උපුටා දක්වා හැකිතාක් දුරට කරුණු නිරවුල් කර සංඝගුණය ද මෙහි විස්තර කර ඇත. එය කියවීම උගතුන්ට ද බොහෝ ප‍්‍රයෝජන වනු ඇත.

මෙයට – ශාසනස්ථිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet