උභය ප‍්‍රාතිමෝක්‍ෂය

Feb 25, 2015 Comments Off on උභය ප‍්‍රාතිමෝක්‍ෂය by

මහා කාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ‍්‍රාවක වූ භික්ෂු භික්ෂුණීන් හට පරූපවාද විරහිතව, ජන ප‍්‍රසාදය ඇතිව, සුවසේ ජීවත්විය හැකි වනු පිණිස හා අපාය දුක්ඛයෙන් මිදිය හැකි වනු පිණිසද, ධ්‍යානාභිඥා මාර්ග ඵල සංඛ්‍යාත උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති කර ගත හැකි වනු සඳහාද, පරූපවාදාදියට හේතු වන දෙයින් මුදවා භික්ෂු භික්ෂුණීන් ආරක්ෂා කරනු පිණිස පනවා වදාළ බොහෝ නීති ඇත්තේය. ඒවාට සසුන සිකපද යයිද කියනු ලැබේ. බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු චිර කාලයක් සසුන පවතින්නට සැලැස්වීමත් සිකපද පැනවීමේ එක් කරුණෙකි. ඇතැම් බුදුවරයෝ ශ‍්‍රාවකයනට සිකපද පනවති. ඇතැම් බුදුවරයෝ සිකපද නොපනවති. සිකපද නොපනවන්නා වූ බුදුවරුන්ගේ සසුන් ඒ බුදුවරයන්ගේ හා බුද්ධානුබුද්ධ ශ‍්‍රාවකයන්ගේ ද පිරිනිවීමෙන් පසු නොබෝ කලකින් අතුරුදන් වේ.

සිකපද පනවන්නා වූ බුදුවරයනගේ සසුන් බොහෝ කල් පවතී. ශ‍්‍රාවකයනට සිකපද නොපැන වූ විපස්සී, සිඛී, වෙස්සභූ යන අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන් වැඩිකල් නොපැවති බවත්, ශ‍්‍රාවකයනට සිකපද පැනවූ කකුසඳ, කෝණාගමන, කස්සප යන බුදුවරයන් වහන්සේලාගේ සසුන් ඒ නිසා බොහෝ කල් පැවති බවත් අප බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට වදාරන ලද්දේය.

පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම සම්බන්ධයෙන් ඇත්තා වූ විනය නීති ටිකම බුදුසස්නට මහත් ආරක්ෂාවෙකි. ඒ ටික නොමැති නම් කැමති කැමති අය සිවුරු හැඳ පොරවාගෙන භික්ෂූන් සැටියට පෙනී සිටිමින් බුදු සස්න විනාශ කරන්නාහුය. පසුගිය කාලයේ “තාපස භික්ෂුහුය”යි කියමින් රට පුරා හැසිරුණු පිරිසට බුදු සසුනට ඇතුළු වන්නට ඉඩ නොලැබුනේද ඒ නීති රැස නිසාමය. ඔවුනට මේ බුදු සස්නට ඇතුළු වන්නට ලැබුණා නම් මහා ශාසනික හානියක් වනු නො අනුමානය.

ලෝකයෙහි භික්ෂු පිරිස තරම් නීති ඇති නීති ගරුක තවත් පිරිසක් නැතැය යි කිය යුතුය. භික්ෂූන් වහන්සේට විනය නීති නැත්තේ ආශ්වාස ප‍්‍රාශ්වාස දෙක ගැන, ඇසිපිය හෙලීම ගැන පමණයැයි කිය යුතුය. හිඳ ගැනීම, නිදා ගැනීම, ගමන් කිරීම, සිවුරු පිණිස වස්ත‍්‍ර සැපයීම, සිවුරු කැපීම මැසීම පඬු පෙවීම හැඳීම පෙරවීම, අතිරේක සිවුරු ලබා ගැනීම දීම, ගැනීම, පරණ සිවුරු සේදීම, පාත‍්‍රය පිළියෙල කිරීම පාත‍්‍ර තබා ගැනීම පාත‍්‍රය පරිභෝග කිරීම, පිඬුසිගා යෑම අහර පිළිගැනීම වැළඳීම අනුන්ට දීම, සෙනසුන් පිළියෙල කිරීම සෙනසුන් පරිභෝග කිරීම, බෙහෙත් සැපයීම පිළිගැනීම පිළිගත් බෙහෙත් තබා ගැනීම බෙහෙත් වැළඳීම, පාවහන් කුඩ භාජනාදී වස්තූන් පරිභෝග කිරීම, දත් මැදීම මුව දේවීම අත්පා සේදීම වතුර නෑම, කෙල ගැසීම, මල මුත‍්‍ර කිරීම, හිසකේ කැපීම රැවුල කැපීම, කථා කිරීම, ස්තී‍්‍රන් ඇසුරු කිරීම, දහම් දෙසීම, ගමෙහි හැසිරීම, රජුන් ඇසුරු කිරීම, ගුරුන් ඇසුරු කිරීම, ගෝලයන් තැනීම, ආගන්තුකයන් කෙරෙහි පිළිපැදීම, තමන් ආගන්තුකයෙකු වශයෙන් අන් තැනකට ගිය කල්හි හැසිරීම, පැවිදි කිරීම, උපසම්පදා කිරීම, සග සතු දේ පරිහරණය කිරීම යනාදී නොයෙක් කරුණු ගැන භික්ෂූණ්ට සික පද ඇත්තේය. භික්ෂු පිරිස සම්පූර්ණයෙන් ම ගිහියන්ගෙන් වෙනස් පිරිසක් වන්නේ ඒ සිකපද සමූහය නිසාය.

බුදුරජාණන් වහන්සේ විසින් පනවා ඇති බොහෝ සිකපදයන් අතුරෙන් භික්ෂුන් විසින් පොහෝ දිනයන්හි මසකට දෙවරක් සීමාවකට රැස්ව පොහෝ කිරීම් වශයෙන් එක් භික්ෂුවක් විසින් සග මැද හිඳ උදෙසීමටත් (කීමටත්) අන්‍ය භික්ෂුන් විසින් අසාගෙන සිටීමටත් නියමිත ප‍්‍රධාන සිකපද සමූහය “භික්ෂු පාතිමොක්ඛ” නම් වේ. භික්ෂුණින් හට පෝහෝ කිරීම් වශයෙන් භාවිතයට නියමිත ප‍්‍රධාන සිකපද සමූහය “භික්ෂුණී පාතිමොක්ඛ” නම් වේ.

එයින් භික්ඛු පාතිමොක්ඛය නිදානුද්දේස, පාරාජිකුද්දේස, සංඝාදිසේසුද්දේස, අනියතුද්දේස, විත්ථාරුද්දේස යන උද්දේස පසකින් හා සික පද (220) දෙසිය විස්සකින් ද යුක්තය. භික්ඛුණී පාතිමොක්ඛය අනියතුද්දේසය හැර ඉතිරි උද්දේස සතරින් යුක්තය.

පාතිමොක්ඛ නම් වූ මේ ග‍්‍රන්ථය සියලූ ම භික්ෂූන් විසින් විනිශ්චය සහිතව ඉතා හොඳින් උගත යුක්තකි. භික්ෂූන්ට සෑම කල්හි ම පාඩම් තිබිය යුත්තකි. එබැවින් බුරුමයේ බොහෝ සංඝාරාමවල වස් කාලය තුලදී වර්ෂයක් පාසා ම නවක මධ්‍යම ස්ථවිර සකල භික්ෂූන්ගෙන් ම ප‍්‍රාතිමෝක්ෂය පාඩම් ගනිති. දිනපතා සවස තුණුරුවන් වැඳීමෙන් පසු සෑමදෙනා ම එක්ව ප‍්‍රාතිමොක්ෂයෙන් යම්කිසි කොටසක් සජ්ඣායනා කිරීම ද එරට බොහෝ පන්සල්වල පවත්වන චාරිත‍්‍රයෙකි.

විනය පිටකයට අයත් පොත් පස අතුරෙන් පාරාජිකා පාලිය පාචිත්තිය පාලිය යන පොත් දෙකෙහි ඇත්තේ ප‍්‍රාතිමෝක්ෂයට අයත් සිකපද වල විස්තරයකි. ඒ විස්තරයට මේ සිකපද සමූහය මාතෘකා වන බැවින් ප‍්‍රාතිමොක්ෂයට මාතිකා පාලිය යයි ද කියනු ලැබේ.

පාතිමොක්ඛ යන වචනය මේ ග‍්‍රන්ථයට පමණක් නොව ඒ සිකපද රක්නා වූ භික්ෂුවගේ ශීලයටද නමෙකි. පාතිමොක්ඛ යන වචනයේ තේරුම ”පාතිමොක්ඛන්ති -ප අති මොක්ඛං අතිපමොක්ඛං, අතිසෙට්ඨං, අති උත්තමන්ති අත්ථෝ” යි කඞඛාවිතරණී අටුවාවෙහි දැක්වෙන පරිදි ඉතා උතුම් දෙය ය යනුයි. මේ ශීලය බිඳුනහොත් භික්ෂුත්වය ද නැති වන බැවින් භික්ෂුවගේ ඉතා උතුම් දෙය ප‍්‍රාතිමෝක්ෂ සංවර ශීල නම් වූ ඒ ශීලයය. ඒ ශීලය ඉතා උතුම් වීමෙන් එයට අයත් සිකපද සමූහය වූ මේ ග‍්‍රන්ථය ද ඉතා උතුම් වේ. ඉතා උතුම් දෙය වූ මේ ප‍්‍රාතිමෝක්ෂය පොතක් වශයෙන් මුද්‍රණයට පැමිණවිය යුත්තේ ද ඉතා උතුම් ලෙසටය.

රන් රිදී පත්වල වුවද ලියා තැබීමට සුදුසු මේ පොත ඇතැමුන් විසින් බාල කඩදාසි වල ඉතා අශෝභන ලෙස මුද්‍රණය කරවීමෙන් ද, හරි වැරදි බැලීම පවා සැලකිල්ලෙන් නොකොට ඉතා අපිරිසිදු ලෙස මුද්‍රණය කරවීමෙන් ද සිදු කර තිබෙන්නේ විනය ශික්ෂාකාමීන්ගේ සිත් කම්පා කරවන අපරාධයෙකි. ගොඩිගමුවේ සෝරත, පණ්ඩිත කණදුල්ලේ රතනරංසි යන ස්ථවිරවරුන් විසින් බුරුම සංගායනාවෙන් ශූද්ධියට පැමිණ වු පොත් අනුව සංශෝධනයට කොට සුගම අනුවාදයකින් ද යුක්ත කොට ශෝභන ලෙස මේ උතුම් පොතට නිසි ගෞරවය දී මුද්‍රණයට පැමිණවීමෙන් කර තිබෙන්නේ බුදු සස්නට ඉමහත් සේවයකි. මෙය විනයගරුකයන්ගේ ප‍්‍රීතියට ද හේතු වනු ඇත.

මීට, ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර.

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet