විදර්ශනා භාවනා ක‍්‍රමය

Feb 25, 2015 Comments Off on විදර්ශනා භාවනා ක‍්‍රමය by

බෞද්ධයකු වීමෙන් ලැබිය යුතු උසස් ප්‍රථිපල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි. දන් දීමෙන් හා සිල් රැකීමෙන් ලැබිය හැකි ඵල ද භාවනාවෙන් හැකි නමුත්, භාවනාවෙන් ලැබිය යුතු උසස් ඵල භාවනවෙන්ම මිස, දන් දීමෙන් සිල් රැකීමෙන් නො ලැබිය හැකිය. භාවනාවෙහි යෙදෙන්නෙකුට එයින් ලැබෙන ඵල පරලොව දී ම නොව, මෙලොව දී ද ලැබෙන්නේය. ක්‍රමානුකුල කොට භාවනාවෙහි යෙදෙන තැනැත්තේ ධ්‍යාන මාර්ගාදී උසස් ඵල නොලැබුයේ ද, ඉන් මොබ ලැබිය හැකි බොහෝ අනුසස් මෙලොවදී ම ලබන්නේය.

භාවනා ඵලය ගෘහස්ථ ප්‍රව‍්‍රර්ජිත ස්ත්‍රී පුරුෂ සැම දෙනාටම නොවෙනස්ව ලැබිය හැකිය. ක්‍රමානුකුලව කලක් යෙදුනහොත් සිත කය දෙක භාවනාවට හැඩ ගැසුණු පසු ඒ තැනැත්තා හට භාවනාව මහත් සුවයෙක් වන්නේය. යෝගවචරයණයට ආහාර පාන වාසස්ථානාදියෙන් කිසිම සුවයක් නැති ව වනගත වී දීර්ඝ කාලයක් මුළුල්ලෙහි භාවනාවෙහි යෙදිය හැකි වන්නේ, උසස් සුවයක් එහි ඇති බැවිනි. භාවනාව අමිහිරි වන්නේ ඒ සුවය ලැබෙන තැනට භාවනාව දියුණු නොවන තුරුය. සුවයක් වනතුරු භාවනාව දියුණු කරගත් යෝගාවචරයා නැවත භාවනාව අත්හැර දමන්නට නො සිතන්නේ ය. එ වේලේම ලැබෙන භාවනාමය සුඛය ද, භාවනාවේ එක් ආනිශසංසයකි. තවත් මෙලොවදී ම ලැබෙන බොහෝ ඵල භාවනාවෙහි ඇත්තේය.

මෙකල අප රටේ යෝගවචරණන් අඩු වී ඇත්තේත් ගිහියනට තබා පැවිද්දන්ටද භාවනාව අරළු කසායවැනි වී තිබෙන්නේත්, ඵල දැකිය හැකි සැටියට භාවනා කිරීමේ ක්‍රමය නො දැනීම නිසාය. භාවනා ක්‍රමයක් අන්‍යනට කියා දීමට සමත්, භාවනා කිරීම පිලිබඳ දැනුම, පළපුරුද්ද ඇති ගුරුවරුද, අප රටේ සුලබ නැත. භාවනා ක්‍රම ගැන දැනුම ඇතියවුන් අතින් ලියවුන පොත පතද දුර්ලභය. දැනට අප රටේ ඇති භාවනා ක්‍රම ගැන විස්තරයක් දැක්වෙන, එකම පොත විශුද්ධිමාර්ගයයි. පාළි භාෂාවෙන් ලියැවී තිබෙන ඒ පොතින් පාළි භාෂාව නො දන්නවුනට ප්‍රයෝජනයක් ලැබිය නො හැකිය. පාළි භාෂාව දත් කෙනෙකුට වුව ද, තවත් ගුරුවරයන්ගෙන් උපදෙස් නො ලබා එයින් භාවනා ක්‍රමය දැන ගැනීමට පහසු නැත. ශමත ක්‍රම තේරුම් ගත හැකි වුව ද, විදර්ශනා භාවනා ක්‍රමය එයින් ලෙහෙසියෙන් තෝරා ගත හැකි නොවේ.

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සියය පිරෙන්නට ලංව තිබෙන මේ කාලයේ විදර්ශනා වඩා මාර්ගඵල ලබා ගැනීමේ අදහසක්, ඇතැම් පිංවතුන්ට ඇති වී තිබෙන බව ඔවුන්ගේ කතා වලින් පෙනේ. ටික දෙනෙකුට වුව ද , එබඳු උතුම් අදහසක් ඇතිවීම, ළඟ අනාගතයේ බුදු සසුන නැවතත් බැබලීමේ පෙර නිමිත්තක් වශයෙන් සැලකිය හැකිය. දෙදහස් පන්සියය ළං වත් ළං වත් ම, උත්සව පැවැත්වීම නම් බහුල වනු ඇත. කොතෙක් උත්සව පැවැත්වුවත්, එය නියම ශාසන දියුණුව නොවේ. සැබෑ ශාසන දියුණුව නම්, සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයනට පැමිණි පුද්ගලයින් ඇතිවීමය. ආර්යය පුද්ගලයින් පහල නුවුව ද මාර්ගාධිගමය සඳහා විදර්ශනා වඩන පුද්ගලයන් බහුල වුව හොත් එය ද මනා ශාසන දියුණුවක් සැටියට සැලකිය යුතුය.

කොතරම් වීර්ය කොට කොතෙක් දුක්ගෙන කොතෙක් කලක් භාවනාවෙහි යෙදුනත් ක්‍රමානුකුලව භාවනාව නො කෙරුනහොත්, එයින් මෙලොවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබේ. ඉක්මනින් ඵල දැකිමටනම්, භාවනා ක්‍රමය නිවැරදිව හොඳින් දැනගෙන භාවනා කල යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාෂය ඇතිව වෙසෙන, ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරුණක් වී තිබෙන්නේ මාර්ගදේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාරී වීමේ අදහසින් අප විසින් “විදර්ශනා භාවනා ක්‍රමය” නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙය විශුද්ධි මාර්ගය හා එහි පරිවාර ග්‍රන්ථයන්ද, බුරුමයේ ප්‍රසිද්ධ යෝගාවචරයන් විසින් සම්පාදිත පොත් කිහිපයක් ද ඇසුරුකොටගෙන අප විසින් ඇසුරු කළ යෝගාවචරයන්ගෙන් හා සාකච්චා කළ යෝගාවවරයන්ගෙන් ද දැන ගන්නා ලද බොහෝ කරුණු වලටද අපගේ ම අත්දැකීම් වලට ද අනුව සම්පාදනය කරන ලද්දකි.

දහම් පොත් කියවා තේරුම් ගැනීමේ අපහසු බව නොයෙක් විට බොහෝ දෙනා කියනු ඇසුණු බැවින් කා හටත් පහසුවෙන් තේරුම් ගත හැකි සේ මෙය සම්පාදනය කිරීමට විශේෂ උත්සහයක් ගතිමු. ගැඹුරු කරුණු පිලිබඳ වූ මෙබඳු පොත්, වරක් දෙකක් කියවූ පමණින් තේරුම් ගත හැකි නො වේ. පොතින් ප්‍රයෝජන ලැබීමට නම්, කාරණය වැටහෙන තුරු කොතෙක් කල් වුවත් නැවත නැවත පොත කියවිය යුතුයි. මේ පොත හොඳින් තේරුම් ගෙන පොතේ දැක්වෙන ක්‍රමය අනුව නො වරදවා භාවනාව කරගෙන ගියහොත් වැඩි දෙනෙකුට භාවනාවේ ප‍්‍රතිඵලය, මෙලොව දී ම දක්නට ලැබෙනු ඇත යනු අපගේ ස්ථිර විශ්වාසයයි.

මීට ශාසනස්තිකාමි
රේරුකානේ චන්දවිමල

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet