විනය කර්ම පොත

Feb 26, 2015 Comments Off on විනය කර්ම පොත by

“විනයො නාම සාසනස්ස ආයු. විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” යන සඬ්ගීතිකාරක මහරහතන් වහන්සේලාගේ වචනය පරිදි තථාගතයන් වහන්සේගේ ආඥ දේශනාව වූ විනය පිටකය, සර්වඥශාසනයේ ජීවය වන බැවින් ද, විනය පවත්නා තෙක් ම බුදු-සස්න පවත්නා බැවින් ද සකල ශාසනමාමක භික්ෂූන් විසින් ම අත්‍යාදරයෙන් විනය පිටකය පරිශීලනය කළ යුතු ය. සීමාබන්ධනඋපසම්පදාදී විනයපියකයෙහි එන කර්ම, විනය කර්ම නම් වේ. කුළපුත‍්‍රයන් උපසම්පදා කොට බුදුසස්නට ඇතුළු කිරීම හා එසේ බුදුසස්නට ඇතුළු වූ කුලපුත‍්‍රයන්ගේ ශීලය නැවත නැවත සංස්කරණයත් විනයකර්ම මාර්ගයෙන් ම සිදු කළ යුතු බැවින් විනය කර්මය ද බුදු-සස්නෙහි උසස් තැනක් ගන්නකි.

විනය කර්ම කරන කල්හි විනයාගත ක‍්‍රම නො ඉක්මවා ඉතා පිරිසිදු ලෙස ම එය කළ යුතු ය. වරදවා කරන විනය කර්මය කෙළේ ද නො කෙළේ වේ. නො දැන වුවද විනය කර්ම වරදවා කිරීම ඉතා නපුරෙකි. එයින් බුදු-සස්න නැසෙන්නේ ය. වරදවා සීමාබන්ධනයක් කළහොත් ගල්කණු සිටවා ඇත ද එය සීමාවක් නොවේ. එහි කරන විනය කර්ම එකකදු හරියන්නේ නොවේ. එහි උපසම්පදාවක් කෙළේ ද, ඒ උපසම්පදා කරනු ලැබුවෝ උපසම්පන්නයෝ නො වෙති. මතු කාලයේද ඒ අසීමාවල උපසම්පදා කරනු ලැබූවන් විසින් කරන පැවිදි උපසම්පදා එකකුදු නො හරි යන්නේ ය. සීමාව හොඳ වුව ද උපසම්පදා කර්මය වරදවා කරන ලද්දේ නම්, ඔවුහු ද අනුසම්පන්නයෝ ම වෙති. මතු කාලයේදී ඔවුන් විසින් පැවිදි කරන ගෝලයෝ ද නොපැවිද්දෝ-අනුසම්පන්නයෝ ම වෙති. වරදවා විනයකර්ම කිරීමෙන් වන හානියේ බරපතල බව මේ කරුණු වලින් තේරුම් ගත යුතුය.

විනය කර්ම ගැන මනා දැනුමක් ඇතිවීමට සම්පූර්ණ විනය පිටකය ම මැනවින් උගත යුතුය. නො එසේ නම්, විනය කර්ම හෝ වෙන් වශයෙන් උගත යුතුය. මැනවින් විනය කර්ම කළ හැකි වීමට පොත් පරිශීලනයමත් ප‍්‍රමාණවත් නො වේ. ඒ සඳහා විනය කර්ම කළ පුරුද්ද ද තිබිය යුතුය. අතීතයෙහි විසූ බොහෝ භික්ෂූහු විනය කර්ම ගැන දැනීම හා කළ පුරුද්ද ඇත්තෝ වූහ. මෙකල භික්ෂූන් අතර විනය කර්ම ගැන මනා දැනුම හා කළ පුරුද්ද ඇති භික්ෂූන් බහුල නැති බව කිය යුතුය. එයට හේතු කීපයකි.

අතීත භික්ෂුවට ධර්ම විනය පරිශීලනයට තමාගේ මුළු කාලයම යෙදවිය හැකිව තිබිණ. වර්තමාන භික්ෂුවට ලෝකයෙහි තත්වයක් ඇතිව වාසය කිරීමට ධර්ම විනය හැර තවත් බොහෝ දේ ඉගෙනගන්නට සිදුවී තිබේ. එබැවින් වර්තමාන භික්ෂුවට තමාගේ උගෙනීමේ කාලයෙන් වැඩිහරියක් ධර්මවිනයයෙන් පිටත් දේ උගෙනීම සඳහා යොදවන්නට සිදුවී තිබේ. එයද මෙකල භික්ෂූන්ට ධර්මඥනය හා විනයඥනය මඳවීමේ එක් හේතුවකි. පිරිවෙණක උගෙනීම අවසන් කොට සිය අරමට පැමිණියා වූ භික්ෂුවට ද පන්සලේ කටයුතුවලට හා දායකයන්ගේ කටයුතුවලටත්, සංඝයාගේ කටයුතුවලටත්, තමාගේ අඩුපාඩු කම් පිරිමසා ගැනීමේ වැඩවලටත් මුළු කාලයම යොදවන්නට සිදු වේ. එද මෙකල භික්ෂුවගේ ධර්ම විනය ඥනය මඳවීමේ එක් හේතුවකි.

ලාංකික භික්ෂූන්ට විනය කර්ම නුපුරුදු වීමට ඇති තවත් හේතුවක් නම්, ඒ ඒ නිකායවල උපසම්පදා කර්මය එක් එක් පිරිසක් විසින් අයිති කර ගෙන තිබීම ය. උපසම්පදා කර්මය තථාගතයන් වහන්සේ විසින් එක් පිරිසකට පමණක් හිමිකර ඇතියක් නොවේ. එය උපසම්පදාව ඇති සකල භික්ෂූන්ට ම හිමි ය. මධ්‍ය දේශයෙන් පිටත ඕනෑම ප‍්‍රදේශයක පිහිටි සීමාවකදී උපසම්පදාව ඇති භික්ෂූන් පස් නමක් එක්ව උපසම්පදා කර්මය කළ හැකි ය.

බුද්ධකාලයෙහි ඒ ඒ පෙදෙස්වල විසූ උපසම්පදාපේක්ෂකයන් උපසම්පදා කර තිබෙන්නේ ඒ ඒ පෙදෙස්වල විසූ භික්ෂූන් විසින් ම ය. බුරුමයේ දැනුදු ඒ ඒ පෙදෙස්වල උපසම්පදා කර්මය කරන්නේ ඒ ඒ පෙදෙස්වල භික්ෂූන් විසින් ම ය. උපසම්පදා කර්මයට නියමිත විශේෂ පිරිසක් හා විශේෂ තැන් එහි නැත. සෑම තැනම කෙරෙන උපසම්පදා කර්ම වෙනසක් නැතිව එහි පිළිගනු ලැබේ. රටේ සියලු පෙදෙස්වල ම උපසම්පදා කර්මය එහි කෙරෙන බැවින් ඒවාට සහභාගීවන්නට ලැබීමෙන් සියලූම භික්ෂූන්ට විනය කර්ම කිරිමේ පුරුද්ද ඇතිවේ. ලංකාවේ ද ඒ සිරිත පවතිත හොත්, බොහෝ භික්ෂූන්ට විනය කර්ම පිළිබඳ අභ්‍යාසයක් ඉබේම ලැබෙන්නේ ය.

එක් පිරිසකට ම උපසම්පදා කර්මය හිමිවී තිබීමේ ගුණාගුණ දෙකම කිය හැකි ය. කොතෙක් ගුණ එහි ඇතත් ඉතාම නපුරු ආදීනවයක් ද එහි ඇත්තේ ය. එනම් උපසම්පදාව හිමි කරගෙන සිටින පිරිස යම්කිසි ක‍්‍රමයකින් අශුද්ධ පිරිසක් වී නම්, මුළු නිකායට ම – ඒ නිකායේ සංඝපරම්පරාවට ම උපසම්පදාව නැති වී යාමය. උපසම්පදාපේක්ෂකයකුට උපසම්පදාව ලබා ගැනීමට ඇති ඉතාම හොඳ ක‍්‍රමය නම්, තමා හොඳින් දන්නා හඳුනන, නිර්මල උපසම්පදාව අතියන් සැටියට සැකයක් නැතිව තමාට පිළිගත හැකි පිරිසකගෙන් උපසම්පදාව ලබා ගැනීම ය. එසේ උපසම්පදාව ලබාගත් භික්ෂුවට තමාගේ උපසම්පදාව පිළිබඳ සැකයක් ඇති නො වේ. ඒ නිසැකි බව ආදරයෙන් ශීලය රැකීමටත් කරුණක් වේ. තොරතුරු නොදන්නා නාඳුනන පිරිසකගෙන් උපසම්පදාව ලබාගත් තැනැත්තාට තමාගේ උපසම්පදාව පිළිබඳ ස්ථිර විශ්වාසයක් ඇති නො වේ. නොයෙක් විට උපසම්පදාව ගැන කුකුස් ඇති වේ. එය හොඳින් මහණදම් පුරනු කැමති කුලපුත‍්‍රයෙකුට මහත් බාධාවකි. අධෛය්‍යයට කරුණකි.

උපසම්පදා කර්මය එක් පිරිසකට පමණක් හිමිවී තිබීමේ තවත් ආදීනවයක් නම්, උපසම්පදාපේක්ෂකයන්ට හා ඔවුන්ගේ ගුරුවරුන්ට බොහෝ මුදල් සපයන්නට සිදුවීම ය. අද පවත්නා තත්වයේ සැටියට නම්, මුදල් වැය නො කොට උපසම්පදාව නො ලැබිය හැකි ය. පැවිද්දන්ට මුදල් පරිහරණය තහනම් කොට සිකපද පැනවූ තථාගතයන් වහන්සේ මුදල් වැය නො කොට නො ලැබිය හැකි උපසම්පදාවක් නො පනවන සේක. උන් වහන්සේ විසින් උපසම්පදාව පනවා ඇත්තේ පා-සිවුරු ඇති කවර දුප්පත් උපසම්පදාපේක්ෂකයෙකුට වුවද ශතයකුදු වැය නොකොට උපසම්පදාව ලැබිය හැකි පරිද්දෙනි.

අද උපසම්පදාව පිළිබඳවා පවත්නේ ඊට ඉඳුරාම වෙනස් ක‍්‍රමයකි. උපසම්පදාව මුදල් වැය කොට ලැබිය යුත්තක් වී ඇති බැවින් ගිහියන් මඟූල් ලියුම් නෑ-මිතුරන්හට යවන්නාක් මෙන් උපසම්පදා කර්මයට මුදල් ලබනු පිණිස නෑ-මිතුරන්ට දායකයනට ලියුම් යැවීම අද රටේ සිරිතක් වී තිබේ. උපසම්පදා කාලවලදී සමහරුන්ට ඒ ගැන එවන ලියුම් එකක් දෙකක් නොව බොහෝ ගණනක් ද ලැබේ. එය රටට කරදරයකි. බොහෝ දෙනාගේ අප‍්‍රසාදයට ද කරුණකි. එක් එක් නිකායක එක් එක් පිරිසක් විසින් ම උපසම්පදා කර්මය කරන කල්හි එහි යම් වරදක් ගෙන මුළු නිකායටම උපසම්පදාව නැතය කියා තවත් කෙනෙකු විසින් චෝදනා කරන්නට ඉඩ ඇති බැවින් එක් එක් පිරිසකට ම උපසම්පදා කර්මය හිමිකර ගෙන තිබීම නිකාය භේදය උග‍්‍රවීමට ද හේතුවකි. කරුණු මෙසේ හෙයින් එක් එක් පිරිසකටම උපසම්පදා කර්මය හිමි වී තිබීමේ සුදුසු නුසුදුසු බව ගැන මහාසංගයා වහන්සේ කල්පනා කරන සේක්වා!

විනය කර්ම පිළිබඳ දත යුතු කරණු විනය පිටකයෙහි එක් පරිච්ඡේදයකම සඳහන් නො වන බැවින් විනය පොත් කියවා විනය කර්ම ගැන දත යුතු සියල්ල දැන ගැනීමට ලෙහෙසි නැත. විනය පොත් භාවිතය අඩු භික්ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ් විනය කර්ම ගැන සඳහන් වන තැන් පවා සොයා ගැනීම අපහසු ය. එබැවින් විනය කර්ම ගැන පළපුරුදුකම් මඳ වූ ද, විනය පොත් භාවිතය මඳ වූ ද භික්ෂූන්ට ඒ ඒ් විනය කර්ම කරන සැටි පහසුවෙන් දත හැකි වනු පිණිස, විනය කර්මයන් නිවැරදි ලෙස කරගත හැකි වනු පිණිස, සම්බුද්ධ ජයන්තිය නිමිත්ත කොට විනය කර්ම පොත නම් වූ මේ ග‍්‍රන්ථය සම්පාදනය කරන ලදී.

මෙහි පැවිදි කිරිම හා උපසම්පදකර්මය ද, උපසම්පන්න භික්ෂූන්ගේ ශිලපාරිශුද්ධිය සඳහා කරන්නට සිදු වන විනය කර්ම බොහෝ ගණනක් ද, වරද කරන භික්ෂූන්ට දඬුවම් පිණිස කරන පබ්බාජිනීයකර්මාදී කර්ම බොහෝ ගණනක් ද, ගිහියන්ට දඬුවම් පිණිස කරන පත්ත නික්කුඡ්ජන කර්මයද, සංඝයාගේ හා පුද්ගලයන්ගේ පහසුව පිණිස කරන විනය කර්ම බොහෝ ගණනක් ද, දුෂ්කර විනය කර්මයක් වූ සීමා විනය කර්මයද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි දක්වා ඇත. විනයෙහි අවියත් භික්ෂු පිරිසිකට වුවද මේ පොතේ ආධාරයෙන් නිවැරදි ලෙස උපසම්පදා කර්මයක් සිදු කළ හැකි වනු ඇත. දැනට භික්ෂූන් අතර කෙරෙන භික්ෂූන්ට යම් යම් අවස්ථාවලදී කරන්නට සිදුවන විනය කර්ම සියල්ල ම අඩුවක් නැතිව මෙහි ඇතුළත් වී ඇත.

කර්මවාක්‍යය කීම ඉතා සැලකිල්ලෙන් කළ යුත්තකි. කීමේ දී වරදක් වුවහොත් කර්මය සිදු නොවේ. එබැවින් විනය ගරුකයෝ පොත් බලා ගෙන ම කර්මවාක්‍යය කියති. වයෝවෘද්ධ මහාස්ථවිරයන් වහන්සේලාටත් පහසුවෙන් කියවිය හැක වනු පිණිස මෙහි කර්මවාක්‍යයන් ලොකු අකුරෙන් මුද්‍රණය කරවා ඇත.

වර්ග කීපයක අකුරු යොදවන මෙබඳු පොතක් මුද්‍රණය කරිම කල් ගත වන දුෂ්කර වැඩකි. එහෙත් මරදානේ අනුල මුද්‍රණාලයේ කළමනාකාර තැන්පත් ඩබ්ලිව්. ඞී. ජේ. රත්නායක අප්පුහාමි මහාතාගේ කි‍්‍රයා සූරත්වයෙන් මේ පොතේ වැඩ ඉතා කෙටි කලකින් නිමවූ බව පී‍්‍රතියෙන් සඳහන් කරමු.

පොතක් මුද්‍රණය කරවීමේ දී ගත්කරුවකුට කරන්නට සිදුවන සෝදුපත් කියවීම් ආදි හැම වැඩක්ම මේ පොත මුද්‍රණයේදී ඉතා සැලකිල්ලෙන් කර දුන් අපගේ ශිෂ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම නමට පින්සිදු වේවා.

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet