පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරළව පිළිතුරක්‌ දෙනවා නම් මෙහෙමයි. යම් පිංවතෙක්‌ ඇවිත් භික්‍ෂුවට දානයක්‌ පූජා කරනවා. ඔහු දානය සතුටු සිතින් පූජා කරලා, පිං අනුමෝදන් වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැහිලා ඔහුගෙන් අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට දානය පූජා කළ පිංවතා කියනවා, මම අසවල් ස්‌වාමීන් වහන්සේට දානයක්‌ පූජාකරගන්න ගියාය කියලා. එවිට එම හිතවතා කියනවා ‘අපෝ ඇයි ඒ හාමුදුරුවන්ට දන්දුන්නේ, ඒ හාමුදුරුවො දුශ්ශීලයි. බොරු කියනවා’ කියලා. තම හිතවතාගේ කථාව අහලා දන් පූජාකරගත් පිංවතා දානය නිසා ඇතිකරගත් චිත්ත ප්‍රීතිය නැතිකොටගෙන ස්‌වාමීන් වහන්සේ කෙරෙහි සැකයක්‌ ඇති කොටගන්නවා. මොකක්‌ද මෙතැනදි සිද්ධවුනේ. අනුන්ගේ කථාවක්‌ අහලා ඔහු වෙනස්‌ වුනා. මෙය අමූලිකා ශ්‍රද්ධාවේ ලක්‍ෂණයක්‌.

තවත් පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහුත් භික්‍ෂුවට දානයක්‌ පූජාකරලා පිං අනුමෝදන්වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැසිලා අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට එම පිංවතා කියනවා මම අහවල් ස්‌වාමීන් වහන්සේට දානයක්‌ පූජාකරන්න ගියාය කියලා. එවිට ඒ මිත්‍රයා කියනවා ‘අපෝ ඒ හාමුදුරුවන්ට දන්දීලා වැඩක්‌ නැහැ, ඒ හාමුදුරුවෝ දුශ්ශීලයි. බොරු කියනවා කියලා. තම හිතවතාගේ මේ කථාව අහලා දන්පූජා කළ පිංවතා කියනවා ‘ස්‌වාමීන් වහන්සේ දුශ්ශීල වුවත්, බොරු කීවත් මට වැඩක්‌ නැහැ. මම උතුම් මහා සංඝරත්නය අරමුණුකොටයි, ස්‌වාමීන් වහන්සේට දන්පූජා කළේ ‘ කියලා. තම හිතවතාගේ නොමනා කථාව අහලා ඔහු වෙනස්‌ වුනේ නැහැ. උතුම් සංඝයා කියන අර්ථය තුළ සිටිමින්, තම කුසල්සිත තව තව වර්ධනය කරගත්තා. අනුන් කීවාය කියලා, පතක පොතක තිබුණාය කියලා, ඔහු තෙරුවන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසය දුර්වල කරගත්තේ නැහැ. එය උතුම් සද්ධාවේ ලක්‍ෂණයක්‌ වෙනවා. නිරතුරුවම අනුන් නිසා, තන්හා මාන දිට්‌ඨි නිසා වෙනස්‌වෙන අමූලිකා සද්ධාවත්, විශ්වාසයේ අවබෝධයෙන් සරණගිය උතුම් සද්ධාවත්, අමූලිකා සද්ධාවෙන්, උතුම් සද්ධාවෙන් සකස්‌වෙන කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධයෙන් ඇතිකොටගන්නා අචල ශ්‍රද්ධාවත් මූලිකම ලක්‍ෂණයන් වෙනවා.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ අර්ථය මුල්කොටගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ලෝක සත්වයාට දේශනාකොට වදාල, ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පිරිණිවීම යන තෙමගුල සිදුවූ තවත් වෙසක්‌ පුර පසලොස්‌වක පොහොය දිනයක්‌ අද හෙටම උදාවෙනවා.

භික්‍ෂුව මේ සටහන තබන රාත්‍රියේ පරිසරය වෙලාගෙන පවතින අඩ අඳුර, ලොවම සඳරැසින් බබලවන්නට මෝදුවන වෙසක්‌ සඳ, අඳුරු වලාවකට මැදිව ඇතිබවක්‌ භික්‍ෂුවට හැඟී යනවා. සම්මා සම්බුද්ධ ශාසනය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මතක්‌වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක අඳුරු අර්ථය මොනතරම් කටුකද කියන කාරණයයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන්වගොස්‌ අවුරුදු ලක්‍ෂ දහයකට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලය අවසන් කරලයි, ගෞතම බුදුරජාණන්වහන්සේගේ පහළවීම සිද්ධවෙන්නේ. උතුම් ශ්‍රී සද්ධර්මයෙන් උපන් සමාජමය සංසිදීම තුළ, සම්බුද්ධ ශාසනයේ රැකවරණය තුළින් උපන්, ගුණාත්මකභාවයන්ගේ සරණින් පිංවත් ඔබට අබුද්ධොත්පාද කාලයන්හී කටුක බව නොදැනී ගිහින් තිබෙන්නේ….

එමනිසා පිංවත් ඔබ මේ උතුම් වෙසක්‌ පොහොය දිනයේ, විෂම අබුද්ධොත්පාද කාලයන්හී කටුක දුක, අකුසල්ම උපදවන මිත්‍යාදෘෂ්ඨීන් ගැන නුවනින් මෙනෙහි කරන්න. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හී මිච්ජා ශාස්‌තෘවරු දේශනා කරන මිච්ජා මාර්ගයන් මොනතරම් අධර්මයක්‌ද. ලෝකය මැව්වේ මහා බ්‍රහ්මයාය, ඊශ්වර දෙවියා යෑයි කියා ගිනිපූජා පවත්වමින්, සතුන්ගේ බෙලිකපා යාග හෝම පුද පූජා කරමින්, ගස්‌, ගල්, ඉර, හඳ, තාරකා වන්දනා කරමින්, යකුන් යක්‍ෂණියන්, අමනුෂ්‍යයන් පුදමින්, වන්දනාකරමින්, ගෝ වෘත, සුනඛ වෘත රකිමින්, විමුක්‌තිය සෙවූ මිච්ජා ශ්‍රාවකයින් ධර්මයේ නාමයෙන් සතර අපායන්ට ගාල්කරවන දීර්ඝ අබුද්ධෝත්පාදකාලයන්හී මිච්ජා ශාස්‌තෘවරුන්ගේ, මිච්ජා ධර්මයන්ගේ, මිච්ජා ශ්‍රාවකයින්ගේ මෝහ මූලික ධර්මතාවයන් නුවනින් දකින්න. පිංවත් ඔබත් මමත් මෙවැනි දීර්ඝ අබුද්ධොත්පාද කාලයන්හී උපත ලබා, මෙවැනි මිත්‍යදෘෂ්ඨීන්ගේ වහලුන් බවට පත්වී සිටි සැටි මෙනෙහි කරන්න. බුද්ධොත්පාද කාලයන් තුළත් දේවදත්ත, කෝකාලිත වැනි මිච්ජා ශ්‍රාවකයන් නිසා අවීචි මහා නිරයන්ට වැටුණු අජාසත්ත රජතුමන් ඇතුළු අවාසනාවන්තයින් කොතෙක්‌ සිටින්නට ඇතිද?

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අබුද්ධෝත්පාද කාලයන්හී සතර අපායන් පිරී ඉතිරීයනවාය කියලා. සතර අපායන් පිරී ඉතිරී යනකොට දිව්‍යථල වල දිව්‍ය විමාන පාළුවී යනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. අබුද්ධෝත්පාද කාලවල පාළුවට යන දිව්‍ය විමාන නැවත පිරී ඉතිරී යන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක්‌ ඇතිවීමත් සමගමයි. අබුද්ධොත්පාද කාලයක විශම චර්යාධර්මයන් සමග ගනිද්දී බුද්ධෝත්පාද කාලයක්‌ යනු මොනතරම් අසිරිමත් දෙයක්‌ද. දුක හඳුනාගෙන, දුක යටපත්කොටගෙන, සැපය මතුකොටගනිමින්, අවසානයේ දුකත් සැපත් දෙකේම අනිත්‍යභාවය දකිමින් ලෝකයෙන් නිවීයන ධර්ම මාර්ගය මොනතරම් අර්ථවත්ද. මේ උතුම් ධර්ම මාර්ගයට පිංවත් ඔබට පිවිසීමට අවශ්‍යනම් ඔබ අනිවාර්යයෙන්ම බුදුරජාණන්වහන්සේව හඳුනාගන්න ඕනේ. ධර්ම රත්නය, සංඝරත්නය හඳුනාගන්න ඕනේ. දකින්න ඕනේ. තුනුරුවන් දැකිය හැක්‌කේ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ර්විතයට එකතුකොටගැනීමෙන් පමණමයි. පිංවත් ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේගේ පිලිම වහන්සේලා දැක්‌කත්, ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේ දේශනාකළ සද්ධර්මය ශ්‍රවණය කළත් පිංවත් ඔබ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට නොගත් පිංවතෙක්‌ නම් ඔබ සැබවින්ම බුදුරජාණන්වහන්සේ නොදැක්‌ක කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් පමණක්‌මයි පිංවත් ඔබට තෙරුවන් හඳුනාගන්න, දකින්න, පුළුවන්කම ලැබෙන්නේ. උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයන්ගෙන් ගිළිහුණු ලෝකය මිථ්‍යදෘෂ්ඨීයේ ග්‍රහණයටයි යොමුවෙන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ මේ පිංවත් දේශයට උතුම් සද්ධර්මය දායාදකොට දීමෙන් අනතුරුව අතීතයේ ජීවත්වූ පාලකයන්ගේ සහ ජනතාවගේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවයන් නිසාම, රාජ්‍ය අනුග්‍රහයක්‌ අර්ථවත්ව උතුම් සම්මාසම්බුද්ධ ශාසනයට නොලැබීම නිසාම, භික්‍ෂූන්වහන්සේලාගේ උතුම් උපසම්පදාව දුර්වලවී ශාසනය අතුරුදන් වීම අතීතයේ අවස්‌ථා කිහිපයකදීම මේ පිංවත් දේශය තුළ සිදුව තිබෙනවා. සම්මා දිට්‌ඨියේ දුර්වලභාවයන් නිසාම ඇතිවන හේතුඵල ධර්මයන් නිසා මෙවැනි ශාසනික අර්ථයන්ගේ අතුරුදන්වීම් සිදුවූවත්, උතුම් ශාසනික අර්ථයන් ආරක්‍ෂාකරන සම්‍යදෘශ්ඨික දෙවිවරුන්ගේ උපකාරක ධර්මයන් නිසාම අපේ ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයෙන් බුරුමය, තායිලන්තය වැනි ථේරවාදී බෞද්ධ රටවලින් නැවත උපසම්පදාව ලබාගෙන, නැවත සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම අර්ථයන් මේ පිංවත් දේශය තුළ ස්‌ථාපිත කිරීම කළ බව පිංවත් ඔබ හොඳින්ම දන්නවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබ තේරුම්ගතයුතුයි රටක පාලක පිංවතුන් සහ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් දුර්වලවුවහොත් එම පිංවතුන්ලා සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කිරීමේ බලවත් පාපකර්මයේ හවුල්කරුවන් බවට පත්වෙනවාය කියන කාරණය.

පිංවත් ඔබ, බුදුරජාණන්වහන්සේ සාරාසංඛ කල්පලක්‍ෂ ගණනාවක්‌ තම රුධිරයෙන්, කඳුළින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් කළ දස පාරමී ධර්මයෙන්ගේ ඵලයෙන්, අවබෝධකොටවදාළ උතුම් සද්ධර්මයේ අර්ථයන් දුර්වල කිරීම පිණිස උපකාරක ධර්මයන් නොකරනවාය කියන අධිශ්ඨානය මේ උතුම් වෙසක්‌ දිනයේදී ඇතිකොටගන්න දක්‍ෂ වෙන්න. එය පිංවත් ඔබ සැබෑම උතුම් තෙමගුලක්‌ උදෙසා කරන පූජෝපහාරයක්‌ වෙනවා.

සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවය නිසා උදාවෙන අබුද්ධොත්පාද කාලයන්හී ඇති විෂම බව, දුකබව, අකුසලය නිසා සකස්‌වෙන සතරඅපා දුකේ කටුක බව පෙන්වාදෙන උපමාවක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබට යම් පුද්ගලයෙක්‌ කියනවා, ‘මම ඔබට දිනකට කස පහරවල් තුන්සියයක්‌ ගහනවා, දිනකට කසපහරවල් තුන්සීය බැගින් අවුරුදු තුන්සීයක්‌ එම දඬුවම දෙනවා. අවුරුදු තුන්සීයක්‌ ගෙවීයන දින මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබාදෙනවා’ කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, එහෙම වුනත් අවුරුදු තුන්සීයක්‌ එම තියුණු ශාරීරික දුක විඳලා ඔබ සෝවාන් ඵලය ලබාගන්න කැමතිවෙන්නය කියලා. මේ උතුම් වෙසක්‌ දිනයේදීත් සතුටින්, විනෝදයෙන්, විහිළුවෙන්, සිංදුවෙන්, බයිලාවෙන් ගතකිරීමට බලාපොරොත්තුවෙන පිංවතුන්ලාට බුදුරජාණන්වහන්සේ පෙන්වාදෙන ඉහත උපමාව හොඳ ධර්මාවාදයක්‌ වෙනවා. මෙම කටුක දුක පිංවත් ඔබට හෙළිකොටදෙන කැඩපත වන්නේ උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයයි.

භික්‍ෂුව පිංවත් ඔබෙන් ඇසුවහොත් සම්මා දිට්‌ඨියේ අර්ථය කුමක්‌ද කියලා, පිංවතුන් සමහරක්‌දෙනා දෙනා පිළිතුර වන්නේ සම්මා දිට්‌ඨිය කියන්නේ යහපත් දැක්‌ම කියලයි. බුදුරජණාන්වහන්සේ ධර්මයට අදාළව සම්මා දිට්‌ඨියේ අර්ථය කියන්නේ ‘යහපත් දැක්‌ම’ නොවෙයි. නමුත් අන්‍යාගමික පිංවතුන්ලා තමන්ගේ සම්මා දිට්‌ඨිය හැටියට ප්‍රකාශකරන්නේ යහපත් දැක්‌ම කියන කාරණයයි. බුදුරජානන්වහන්සේ දේශනාකළ සම්මා දිට්‌ඨියේ අර්ථයන් හතක්‌ තිබෙනවා.

එම අර්ථයන් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, යහපත් දෙයක්‌ කළොත් යහපත් විපාකයක්‌, අයහපත් දෙයක්‌ කළොත් අයහපත් විපාකයක්‌ තිබෙනවාය කියන විශ්වාසය.

හේතුඵල ධර්මයන්ට අදාළව නැවත උපතක්‌ තිබෙනවාය කියන විශ්වාසය

දන්දීමෙන්, සිල්රැකීමෙන් ආනිසංශ තිබෙනවාය කියන විශ්වාසය.

අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳව විශ්වාසය.

ඕපපාතික සත්වයන් උපදිනවාය කියන විශ්වාසය.

අතීතයේ රහතන්වහන්සේලා වැඩසිටියාය කියන විශ්වාසය.

ඉහත සම්මා දිට්‌ඨියේ අර්ථයන් සියල්ලම බුදුරජාණන්වහන්සේ දේශනාකොට ඇත්තේ බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය මුල්කොටගෙනය. පිංවත් ඔබගේ කුසල් පක්‍ෂය වැඩෙන ආකාරයටමය.

පිංවත් ඔබට මෙතැනදී විග්‍රහ කර පෙන්වනනේ භවයේ සැපය උදෙසා හේතුවෙන ලෞකික සම්මා දිට්‌ඨිය පිළිබඳවයි. ලෞකික සම්මා දිට්‌ඨියේ මුල්ම අර්ථය වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, පිංවතුන් තුළ සංසාර බිය පිළිබඳවත්, කාමයන්ගේ නිසරුභාවය පිළිබඳවත් දැක්‌මක්‌ ඇතිකොටදෙනවා. සතරඅපාය කෙරෙහි ඇතිකරවන බිය නිසාම පිංවතුන් දුක පිළිබඳව යථාස්‌වභාවය නුවණින් දකින්න පටන්ගන්නවා. යහපත් ක්‍රියාවන් විපාකදෙන සුගතිභූමීන්, අයහපත් දේ විපාකදෙන දුගති භූමීන් ඔබ හඳුනාගන්නවා. ඔබ තුළ සකස්‌වෙන සෑම සැප වේදනාවක්‌ම අතීතයේ ඔබ කළ යහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත්, ඔබ තුළ සකස්‌වෙන සෑම දුක්‌වේදනාවක්‌ම අයහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත් ඔබ හඳුනා ගන්නවා. මෙතැනදී පිංවත් ඔබ අයහපත්දෙයින් වැලකිලා, යහපත් දෙයයි ජීවිතයට තොරාගන්නේ. පටිච්ච සමුප්පන්නව නැවත උපතක්‌ කෙරෙහි පිංවත් ඔබ තුළ ඇත විශ්වාසය ඔබව පොළඹවනවා අකුසලයෙන් වැලකිලා කුසලය තුළ ශක්‌තිමත් වෙන්න. මොකද ඔබ දන්නවා, අකුසල් සිදුකළොත්, සිල්පද දුර්වල කරගත්තොත්, දන්දීම දුර්වලකරගත්තොත් ඊළඟ උපත දුර්වල උපතක්‌ වෙනවාය කියන කාරණය. කුසලයේ සැපයත්, අකුසලයේ දුකත් ඔබට විවරකොටදෙන බුදුරජාණන්වහන්සේගේ මුල්ම පාඩමයි උතුම් සම්මා දිට්‌ඨිය.