මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්‍ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා!

තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.

‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ’ ලිපි මාලාව පින්වත් ඔබ වෙනුවෙන් පුදනු ලැබූ උන්වහන්සේ එදා ඒ සටහන් තබනු ලැබුවේ අප්‍රකටව ය. මහා ඝන වනන්තරයේ ඈත කුටියක සිට, සිතත්, පරිසරයත් සහමුලින් ම නිසල මොහොතක, ලොව ම නිදනා රාත්‍රියක, විටෙක රූස්ස ගස් අතරින් පෙරී එන ළහිරු කිරණ හෝ තවත් විටෙක ලන්තෑරුමේ දුප්පත් එළියේ පිහිටෙන් තැබූ ඒ සටහන් දිවයින සිසාරා සදහම් සුවඳ වී හමා ගියේ ය. ඒ සුවඳ හමන්නේ කොයි ඉසව්වෙන් දැයි සැදැහැති දනෝ විමසූහ. ඒ දහම් සුවඳින් හදවත සුවඳවත් කරගත් අයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ඒ දහම් සුවඳ පතුරුවාහළ බුදුපුතුන් දැකීමට ප්‍රාර්ථනා කළහ, සත්‍යක්‍රියා කළහ, තවමත් ගළපාගත නොහැකි දහම් ගැටලුවක් වේ නම් එය ඒ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ම විමසා ගළපාගැනීමට උනන්දු වූ හ.

කාලයාගේ ඇවෑමෙන් ඒ ප්‍රාර්ථනා ඉටු විය. සටහනකින් ඔබ දුටු උන්වහන්සේව සියැසින් දැකගැනීමට ඔබට හැකි විය. නැතිනම් ඔබට ඒ සඳහා හේතු තිබුණි. එතෙක් ඇසින් කියවූ දහම් ගැළපුම දෙසවනින් ඇසීම උදෙසා දසදහස් ගණනින් රැස් වූ හ. පිරිස කොතරම් උන්වහන්සේ වටා රැස් වුව ද, උන්වහන්සේ උන්වහන්සේගේ ස්වභාවයෙන් ම සිටි සේක. රැස් වන කඳු ගණන් පිරිකර ද, දහස් ගණන් පිරිවර ද ලෝකය වශයෙන් ම, මාරයා වශයෙන් ම දුටු සේක. ප්‍රශංසාවත්, සාධුකාරයත්, ගැරහුමත්, විවේචනයත් ධර්මයට ම ගැළපූහ.

වනයේ රුක්‍ෂ මණ්ඩලයක රැඳුණු හුදකලාව තමන් වහන්සේගේ විවේකය පිණිසත්, ගම-නගරයේ සැකසුණු ධර්ම මණ්ඩපයක ඉල්ලීම ධර්මකාමී ජනතාවගේ පහසුව පිණිස කැපකිරීමක් ලෙසත් වස්කාලයෙන් වස්කාලය, උන්වහන්සේ ඉකුත් වසර කිහිපය ගෙවා දැමූහ. නමුත් උන්වහන්සේ අප සැම කෙරෙහි අනුකම්පාවෙන් අඛණ්ඩව ම ශ්‍රී සද්ධර්මය අප සැම වෙත දායාද කළ සේක. මේ එවැනි වූ තවත් උතුම් දහම් ගැළපුම් පෙළක එකතුවකි.