(නිරය – 1)

වස්සාන කාලය නිමා කරලා භික්ෂුව ගම්මානයේ පිංවතුන්ලාට පින් අනුමෝදන් කිරීමේ පිංකමක් සිද්ධ කළා. හුදෙකලාව කුටිවල වස් ශීලය සමාදන් වන ස්වාමීන් වහන්සේලාට කඨින චීවරයක් පිළිගැනීම කැප නැහැ. කඨින චීවරයක් පිළිගැනීම තුළ කළයුතු විනය කාරණාවන් කිහිපයක් ම තිබෙනවා. එම විනය කර්මයන් සිදුකරගන්න අවම වශයෙන් උපසම්පදා ස්වාමීන් වහන්සේලා පස්නමක්වත් වැඩසිටිය යුතු වෙනවා. මේ හේතුව නිසා හුදෙකලාව කුටිවල වස් පවාරණය කරන ස්වාමීන් වහන්සේලා කඨින වස්ත්‍ර පිළිගැනීමකින් තොරව පිං අනුමෝදන් කිරීමේ පිංකමක් පමණයි සිදුකරන්නේ. පිංකමට පැමිණි එක පිංවතෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. එම ප්‍රශ්නය තමයි, “ස්වාමීන් වහන්ස, අපාය තිබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ද?” කියලා.

මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දුර්වල වනවිට, මනුෂ්‍යයා තුළ අකුසල මූලයන් ශක්තිමත් වෙන විට සුගතිය, දුගතිය පටලවා ගන්නවා. එම පිංවතුන් තමන් ඉපදුණු මනුෂ්‍ය ලෝකය නමැති සුගතියත්, දුගතියක් වශයෙනුයි දකින්නේ. සුගතිය දුගතියක් කර දකින පිංවතා නිරතුරුව ම සුගතිය අහිමි කරගන්නවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ යම්හෙයකින් මැරෙන මොහොතේ “උපාදාන පච්චයා භවය” කියන ධර්මතාව හේතුවෙන් සතර අපායන්ට අයිති නිරයට වැටුණොත්, නිරය පාලකයෝ එම නිරිසතුන්ව පංචවිධබන්ධනයට ලක් කරනවා ය කියලා. පංචවිධ බන්ධනය කියලා කියන්නේ, නිරිසතාව ගිනියම් වූ පොළවේ මුනින් අතට නිදිකරවා, අත් දෙකට, කකුල් දෙකට, උදරයට රත් වූ යවුල් ගසා පොළවට සිරකරනවා. දෙවනුව යමපල්ලන් නිරිසතුන්ව දෙපයින් සිටුවා හිසේ පටන් මුවහත ඇති වෑයකින් රහිනවා. තියුණු පිහියකින් කෙසෙල් බඩයක් රහින්නේ, පෙති කපන්නේ යම් සේ ද එලෙස එම නිරිසතාව රහිනවා. දුකෙන් පීඩිතව මියයන සතා එතැන ම නැවත ඉපදෙනවා. ආයිමත් යමපල්ලන් එම නිරිසතාව ඔළුවෙන් සිටුවා වෑයෙන් රහිනවා ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඝන යකඩ පවුරින් වටවුණු, ඇවිලෙන ගිනිදැල්වලින් යුත්, සියක් යොදුනක් පැතිර පවතින මහා නිරයන් දෙකවන, චතුස්තණි සහ චතුර්ද්වාරයේ දොරටුව යම් කාලයක දී විවෘත වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිච්චීමෙන් බේරීම සඳහා විවෘත වූ දොරටුව දෙසට දුවයන නිරිසතාගේ සිවිය ද, සම ද, මස ද, නහර ද, ඇට ද, ඇට මිදුලු ද ගිනිදැල්වලට පිච්චිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් නිරිසතෙක් ගුථ නිරයට වැටුණොත්, ගුථ නිරයේ සිටිනා තියුණු තුඩ සහිත පණුවන් එම නිරිසතාගේ සිවිය, ඇට, මස්, නහර සිඳ කනවා ය කියලා. ගුථ නිරයට සමාන්තරව පිහිටා තිබෙන උණු අළු නිරය ගිනියම් වූ අළුවලින් සැදුණකි. අළු නිරයට සමාන්තරව පිහිටි, සියක් යොදුනක් උසට නැඟුණු හිඹුල් වනයේ කටු උල් ඇති, ඒ සෑම කටුවක උලකින් ම ගිනිදැල් නැඟෙන හිඹුල් වනයේ ඇති ශාකවල කටු උල්වලට නිරිසාගේ සම්, මස්, නහර ඉරී, පැලී, තැලී මරණීය දුකට පත්වෙනවා.

නිරයේ හිඹුල් වනයට සමාන්තරව පිහිටි අසිපත්‍ර වනයේ තියුණු මුවහත ඇති පත්‍ර, ඒ කියන්නේ කොළ වාතයෙන් සෙලවී නිරිසතුන්ගේ අත්, පා, ගෙල, නාසය, කන සිඳ දමනවා. අසිපත්‍ර වනයේ සිටින සෑම නිරිසතෙක් ම සෑම තප්පරයක දී ම තියුණු මුවහත ඇති පත්‍රවලින් කැපී යනවා. ලී මෝලක දැව කොටයක් පරාල, රීප්පවලට ඉරී යන්නා සේ නිරිසතුන් කෑලිවලට ඉරී යනවා.

අසිපත්‍ර වනයට සමාන්තරව පිහිටි වෙතරණී ක්ෂාරෝදක නදිය යනු උණු වූ, ගිනියම් වූ ලෝදිය ජලය බවට පත් වූ ගංගාවක්. ක්ෂාරෝදක නදියට වැටෙන නිරිසතුන් ගිනිගෙන දැවෙන ලොහොදිය ම ජලය ලෙස පානය කරනවා. යමපල්ලන් ලොහොදිය ජලය නිරිසතුන්ගේ කටට වත්කරනවා. එවිට නිරිසතුන්ගේ මුව, දෙතොල්, උගුර, උදරය ගිනිගෙන දැවෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

නිරිසතුන් මහ නිරයෙන් ගුථ නිරයට වැටෙනවා. ගුථ නිරයෙන් උණු අළු නිරයට වැටෙනවා. උණු අළු නිරයෙන් හිඹුල් වනය නිරයට වැටෙනවා. මෙසේ නිරිසතුන් නිරයෙන් නිරයට වැටෙන ස්වභාවය පිළිබඳව යම් වැටහීමක් ඇතිකර ගැනීමට පහත සිද්ධියෙන් පුළුවන්කම ලැබෙනවා.

පිංවත් මහත්මයෙක් භික්ෂුවට ප්‍රකාශ කළා, එක්තරා අවස්ථාවක තමන්ට දහවල් එකට පමණ තද අව්රශ්මිය ඇති මොහොතක, අනුරාධපුර ප්‍රදේශයේ ගල් තලාවක පාවහන් රහිතව ගමන් කරන්න සිදුවුණා ය කියලා. තද අව්රශ්මියෙන් පොළව ගිනියම් වෙලා තිබීම නිසා නිරාවරණ දෙපාවල යටිපතුල්වල දියපට්ටා ඇවිල්ලා. ඒ වෙලාවේ යටිපතුල් පිච්චීමේ වේදනාව උසුලාගන්න බැරිව ඒ මහත්මයා දුවගෙන ඇවිත් එතන තිබිච්ච කුඩා තණබිස්සකට ගොඩවෙලා. එම තණබිස්සේ තනිකරම තිබිලා තිබෙන්නේ නිදිකුම්බා කටු. අව්රශ්මියට පිළිස්සුණු යටිපතුල්වලට දැන් කටු ඇනීමේ වේදනාවත් එකතුවෙලා. එම වේදනා දෙකෙන් ම මිදෙන්න දුවගෙන ඇවිත් ඒ අවට තිබුණු මඩ සහිත කුඩා වගුරකට බැහැලා, මඬේ තිබුණු බෝතල් කටුවකට කකුල කැපිලා. බලන්න, විනාඩි පහක් වැනි පුංචි කාලයක දී යටිපතුල් පිච්චීමේ වේදනාවෙන් මිදෙන්න ගිහිල්ලා කටු ඇනීමේ වේදනාවට පත්වුණා. කටු ඇනීමේ වේදනාවෙන් මිදෙන්න ගිහිල්ලා බෝතල් කටුවට යටිපතුල කැපී රුධිරය ගැලීමේ වේදනාව අයිතිකොට ගත්තා. ඉහත සිද්ධියට අදාළව පිංවතුන්ලාට නිරිසතුන් නිරයකින් තවත් නිරයකට වැටීමේ ස්වාභාවික ක්‍රමවේදය තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. එක නිරයක තියුණු කටුක වේදනාවෙන් මිදෙන්න යන විට තවත් නිරයක දුක අයිතිකර ගන්නවා. සැපයක් සොයන මොහොතක, අකුසලය හේතුවෙන් වේදනාව ම, දුක ම පිහිටට එනවා.

වර්තමාන සමාජයේ දැනුම ජීවිතය කොටගත් සමහරක් පිංවතුන්ලා නිරයේ ඉහත ක්‍රියාකාරකම් හාස්‍යයෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා භික්ෂුව දැක තිබෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කර දැකීමට ඇති අදක්ෂභාවය නිසා ම අපායක්, නිරයක් නැහැයි කියන පිංවතුන්ලා සකස්කර ගන්නා එම මිථ්‍ය දෘෂ්ටික සිතුවිල්ල නිසා ම නිරයට වැටීමට අදාළව අකුසල් සංස්කාරයන් රැස්කර ගන්නවා.