පිංවත් ඔබ විවේකීව සිටින විට සිතත් සමඟ පිළිසඳරේ යෙදෙන්න. මොකක්ද මේ ජීවිතය? අම්මලා, තාත්තලා, ආච්චිලා, සීයලා මැරිලා යනවා. පුතාලා, දුවලා, මුණුබුරෝ, මිණිබිරියෝ ලොකු මහත් වෙනවා. මම කවදා මැරෙයි ද? කොයි ආකාරයෙන් මැරෙයි ද? මැරිලා නැවත කොතැනක ඉපදෙයි ද? සතර අපායකට වැටුණොත් කල්ප කීයක් එම දුක විඳින්න වේවි ද? එදාට මට අද වගේ අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක්, බිරිඳක්, සැමියෙක් කොයින් ද? එදාට තිරිසන් සතෙක් මගේ අම්මා වුණොත්, ප්‍රේතයෙක් මගේ තාත්තා වුණොත්, ගසක අත්තක්, පොළොවක තුඹසක්, තණපිටියක තණගොල්ලක්, කැලයක දියකඩිත්තක් මගේ නිවස වුණොත්, ප්‍රේත ගුබ්බෑයමක් මගේ නවාතැන වුණොත් මොන අවාසනාවක් ද? එය මොන දුකක් ද? මේ දුකේ නැවතීම කොතැන ද? නැවතීමේ ආරම්භය කොතැන ද?

පිංවත් ඔබ විවේකීව සිටින විට මේ ආකාරයෙන් සිතත් සමඟ පිළිසඳරේ යෙදෙන්න. එය හොඳ ප්‍රවේශයක් වේවි, මේ දුක නැවතීමේ ආරම්භයක් මතුකොටගන්න.

දුකේ ආරම්භය තෘෂ්ණාව ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ ගමන් කරන සමස්ත සත්ව ප්‍රජාවේ ම නිර්මාණකරු වෙන්නේ තෘෂ්ණාව යි. තෘෂ්ණාව කියන එක ම කාරණයෙන් දුක ලෝකයට බැඳිලා තිබෙනවා. ඵස්සය අසල නිතර ගැවසෙමින්, ආස්වාදයේ රසයට මුවාවෙමින් තෘෂ්ණාව විසින් ලෝකය නැවත නැවත නිර්මාණය කරනවා.

වරෙක බ්‍රහ්මයෙක්, තවත් වරෙක දෙවියෙක්, තවත් වරෙක මනුෂ්‍යයෙක්, තවත් වරෙක සතර අපායේ සත්වයෙක්. අනේකවිධ අපූරු රූරටා තෘෂ්ණාව විසින් ලෝකය තුළ උපද්දනවා. දුක විවෘත වූ ලෝකය තුළ, දුකට හේතුව වූ තෘෂ්ණාව සැඟවී ජීවත්වෙනවා.

පිංවත් ඔබ ලබන සෑම ආස්වාදයේ රසයක් අභියස දී ම එහි ආදීනවය මතුකොටගන්න ඔබ දක්ෂ නම්, එය තෘෂ්ණාවේ පැවැත්මට අභියෝගයක් වෙනවා. දුක ඇති කිරීමට හේතුව වන තෘෂ්ණාව, ලෝකයේ පැවැත්ම සඳහා තනිව ම දරදිය අදිනවා. තෘෂ්ණාවේ ආධිපත්‍ය බිඳදැමීමේ එක ම මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන නිවැරදි දොරටුව වන්නේ සම්මා දිට්ඨිය නමැති දොරටුව යි. සම්මා දිට්ඨියට පිවිසෙන නිවැරදි දොරටුව වන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම යි. දුක නැතිකොට දැමීමට තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කරන ඔබට ඉහත නිවැරදි ප්‍රවේශය අත්‍යවශ්‍ය වෙනවා. අවිද්‍යාවේ අඳුර, තෘෂ්ණාවේ හැඩරුව නිතර ඔබෙන් වසන් කරනවා. අවිද්‍යාව යනු අඳුර යි. අඳුර තුළින් ඔබ දකින්නේ අඳුර පමණක් ම යි.

අවිද්‍යාවේ අඳුරින් ගොරහැඬි වූ ලෝකය නැවතීමක්, නිමාවක්, අවසානයක් නොමැතිව තවත් කල්ප විනාශයන් දසදහස් ගණනක් පසුකොට ගලාගෙන යනවා. විද්‍යාව යනු ප්‍රඥාවේ ආලෝකය යි. ආලෝකය තුළ පිංවත් ඔබ දකින්නේ සත්‍යයයි, යථාර්ථයයි, සම්මා දිට්ඨියෙන් මෝදුකොට දෙන ප්‍රඥාවේ ආලෝකයයි, ක්‍රමානුකූලව සම්මා විමුක්තියෙන් විකසිත වී, ලෝකයෙන් පිංවත් ඔබව නිදහස්කොට දමයි.

ලෝකය යනු කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය යි. කුමක්ද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ එය ලෝකය යි. රූපයයි කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින්නේ. නාමධර්මයනුයි කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින්නේ. මොහොතක් පිංවත් ඔබ දෙස හොඳින් බලන්න. ඇසත්, ඇස නිසා සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, චේතනා, විඥාන ධර්මයන් කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ගමන් කරනවා නේ ද? ලෝකය ඔබ ම යි. ඔබ යනු ලෝකය ම යි. තෘෂ්ණාව හිස්කරන ප්‍රඥාවේ ආලෝකය, තමා
තුළින් ලෝකය දකින කැඩපත යි. තෘෂ්ණාවෙන් තෘෂ්ණාවට බැඳී පවතින දුක, සමස්ත සත්ව ප්‍රජාවට ම මෙතරම් තියුණු අභියෝගයක් එල්ල කොට තිබියදීත්, සමහර පිංවතුන්, ස්වාමීන් වහන්සේලාව මුණගැසුණහම අසන ඒකාකාරී ප්‍රශ්න මාලාවක්
තිබෙනවා:

“ඔබ වහන්සේගේ නම මොකක්ද?

ගම කොහෙද? කවදාද පැවිදිවුණේ? ගිහි කාලේ මොකක්ද කළ රැකියාව? කසාද බැඳලද හිටියේ….?”

මෙවැනි නොවැදගත් ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියහම හරි ම පීඩාවක්.

අතීතයේ එක් තරුණයෙක් බුදුරජාණන් වහන්සේ හමුවන්න ඇවිල්ලා බොහොම වටිනා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය තමයි,
“භාග්‍යවතුන් වහන්ස, මම නිතර ම දුකෙන් ජීවත්වෙනවා. මගේ ඥාතියෙක්, හිතවතෙක් අසනීප වුණහම, මියගියහම මට හරියට දුක ඇතිවෙනවා. ඒ නිසා මම හඬනවා; වැලපෙනවා; ශෝකවෙනවා” කියලා.

බුදුරජාණන් වහන්සේ මේ තරුණයාගෙන් පෙරළා ප්‍රශ්න කරනවා.

“තරුණය, ඔබේ ගමේ ඔබේ ළඟ ම ඥාතිවරයෙක් කලුරිය කරනවා. ඔබ එම මළගෙදරට ගිහිල්ලා මොකද කරන්නේ? කියලා.

“භාග්‍යවතුන් වහන්ස, මට එම ඥාතිවරයාගේ මරණය දරාගැනීමට නො හැකිව, වේදනාවෙන් හඬාවැටෙමින් වැලපෙනවා” කියලා තරුණයා පිළිතුරු දුන්නා.

බුදුරජාණන් වහන්සේ නැවත තරුණයාගෙන් ප්‍රශ්නයක් අහනවා, “තරුණය, ඔබේ ගමේ ඥාතිවරයෙක්, හිතවතෙක් නොවන කෙනෙක් කලුරිය කරනවා. ඔබ ඒ මළගෙදරට ගිහිල්ලා මොකද කරන්නේ? කියලා. තරුණයා පිළිතුරු දෙනවා, “මට එම මළගෙදර දී, දුකක් වේදනාවක් සකස් වෙන්නේ නැහැ. මොකද, ඔහු මගේ ඥාතියෙක් නොවන නිසා.” “එහෙමනම් තරුණය, දුක කියන කාරණය ඔබ තුළ සකස් වෙන්නේ රූපය කෙරෙහි ඔබ ඇතිකොටගත් තෘෂ්ණාව නිසා ම යි. ඥාතිවරයා කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ අඬනවා; දුක්වෙනවා. ඥාති නොවන අය කෙරෙහි ඔබේ තෘෂ්ණාවක් නොමැති නිසා ඔබ දුක්වෙන්නේ නැහැ. දුක ඇතිවෙන්නේ තෘෂ්ණාව නිසා ම යි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.