සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක් පිහිටකොට ගන්නවා සේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න; ධර්මය පිළිසරණකොට ගන්න. එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්, දොම්නස් ඇති වෙන්නේ කුමක් නිසා ද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටග න්නවා, රූපය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවා ය කියලා ගන්නවා. නමුත් එය වෙනස්වෙන කොට, විපරිණාම වෙනකොට, ශෝක, පරිදේව, දුක්, දොම්නස් ඇතිවෙනවා, වේදනාව ආත්මය කොටගන්නවා, වේදනාව තුළ මා සිටිනවා ය කියලා ගන්නවා. වේදනාව වෙනස් වී යනකොට, විපරිණාම වෙනකොට, ශෝක, පරිදේව, දුක්, දොම්නස් හටගන්නවා. රූප, වේදනාවන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය දියුණු කළ ප්‍රඥාවෙන් දකින පිංවතා, දුක ප්‍රහාණය කොට දමනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

දුක තුනී කරගැනීමට යන ගමනේ දී දුක නැතිකරන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවැරදි ආකාරයෙන් ප්‍රවිෂ්ටවීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන ප්‍රධාන දොරටුව වන සම්මා දිට්ඨියෙන් බැහැරව වෙනත් ප්‍රවේශයන් ඔස්සේ ඔබ මාර්ගයට අවතීර්ණ වීමට ගි යහොත්, දුක නැතිකිරීම වෙනුවට, දුක වැඩිකර ගැනීමට තමයි පිංවත් ඔබට සිදුවෙන්නේ. වර්තමාන සමාජයේ බෞද්ධ ජනතාව තුළ මේ අනතුර බොහෝ ම තදින් ක්‍රියාත්මක වෙන බවක් පෙනෙනවා. මෙම අනතුර මතුවෙන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ ඇති දුර්වලතාවයන් නිසා ම යි. බුදුරජාණන් වහන්සේ ඉහත අනතුර මතුකොට පෙන්වන බොහෝ ම වටිනා ධර්මයක් දේශනා කොට තිබෙනවා. එම ධර්මය තමයි, යමෙක් ශීලයෙන් පරිපූර්ණ වුව ද, ඔහු තුළ චිත්ත විශුද්ධිය සහ ප්‍රඥා විශුද්ධිය නැතිනම් ඔහු මරණින් මතු දුකට වැටෙයි කියලා. තෘෂ්ණාව ගැන, දුක ගැන කතාකරන කොට ඉහත වටිනා ධර්මය තුළ වර්තමාන සමාජයට සිතන්න ගොඩක් දේවල් තිබෙනවා. මෙතනදි චිත්ත විශුද්ධිය සහ ප්‍රඥා විශුද්ධිය කියලා දේශනා කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවට අදාළ අංග දෙක වන සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පයනුයි.

වර්තමාන සමාජයේ සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයෙන් බැහැරව ශීලය ජීවිතයට එකතුකර ගැනීමේ දැඩි වෑයමක් පෙනෙන්නට තිබෙනවා. මෙතනදි සම්මා දිට්ඨිය කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය-කර්මඵල විශ්වාසය, පටිච්ච සමුප්පන්නව නැවත උපතක් ඇතැයි විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිශංස තිබෙනවා ය කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, ඕපපාතිකව ඉපදෙන සත්වයන් සිටිනවා ය කියන විශ්වාසය, මාර්ගඵලලාභී උතුමන් සිටියා ය කියන විශ්වාසය. ඒ වගේ ම සම්මා සංකප්පයන් කියලා කියන්නේ, අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය, නෙක්ඛම්ම සංකප්පය. ඉහත මාර්ග අංග දෙකේ අර්ථයෙන් පෝෂණය වුණ ශීලය යි, සම්මා සතිය තුළ පිංවත් ඔබව ශක්තිමත්කොට දෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ශීලයට අදාළව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් වෙන් කරනවා, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියලා. වර්තමාන සමාජයේ බහුතරයක් පිංවතුන්ලා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, සම්මා දිට්ඨිය නමැති ප්‍රධාන දොරටුව මඟහරිනවා. ඒ නිසා ම, සම්මා සංකප්ප කියන දෙවැනි දොරටුවත් මඟහැරෙනවා. ප්‍රධාන දොරටු දෙකෙන් ම මඟහැරලා සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන ශීලයට අයත් අංගයන්ට, අතුරු ප්‍රවේශයකින් ප්‍රවිෂ්ට වෙනවා. දැන් ඔහු තුළ ශීලයේ අර්ථයන් වැඩෙන්නේ, සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ගෙන් තොරව යි. මෙන්න මේ ක්‍රියාදාමය වර්තමාන සමාජය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. සම්මා දිට්ඨියෙන් තොර ශීලයේ ආස්වාදය නිසා ම ඉහත අනතුරින් පින්වත් ඔබව තවතවත් සියුම්ව දුක දෙසට කොටුකරනවා.

සමහරක් පිංවතුන් මාංශ-නිර්මාංශ ප්‍රශ්නය නිසා සමාජය තුළ තර්ක විතර්ක කරනවා. තමන්ගේ මතයට එකඟ නො වන අයට චෝදනා කරනවා; ද්වේෂ කරනවා; මානසිකව හිංසාවට පත්කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය සමඟ ගළපා දකින්නේ නැහැ. නමුත් මේ පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්ෂා කරන පිංවතුන්. ඒ පිළිබඳව කිසි ම සැකයක් නැහැ. එම පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ යි. නමුත් සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන් එම ශීලය පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධියත් ප්‍රඥා විශුද්ධියත් ඒ පිංවතුන්ලා තුළ නැහැ.

බුදුරජාණන් වහන්සේ බොහෝ ම පැහැදිලිව දේශනාකොට තිබෙනවා, බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්නේ දඹදිව පමණක් ය කියලා. නමුත් සමහර පිංවතුන් සිටිනවා, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවීම ඉන්දියාවේ සිදු වූ බව දැඩිව ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්ෂා කරන පිංවතුන්ලා. මොකද මේ වෙලා තිබෙන්නේ? එම පිංවතුන්ලාගේ ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය සකස්වීමක් නැහැ.

සමහර බෞද්ධ පිංවතුන්ලා සිටිනවා, ඒ අය කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එක ම පහනයි කියලා. ඒ පිංවතුන්ලාට තේරුමක් නැහැ, පන්සලේ, පල්ලියේ, කෝවිලේ එක ම පහන දැල්වුණ ද, ඒ පහන් දල්වන පිංවතුන්ගේ අරමුණු, විශ්වාසයන් වෙනස් බව. පන්සලේ පහන දල්වන්නේ නික්ලේශී බුදුරජාණන් වහන්සේ අරමුණුකොට; නිවන් මාර්ගය අරමුණු කොට; පහන් දැල්ලේ අනිත්‍යභාවය අරමුණුකොට. නමුත්, පල්ලියේ, කෝවිලේ පහන් දල්වන්නේ ඒ ආගම්වල විශ්වාසයන්, අරමුණු මුල්කරගෙන. එම නිසා මේ පිංවතුන් තුළ සකස්වෙන චේතනාවන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ පිංවතුන්ලා සර්ව ආගමක් ගැනයි කතා කරන්නේ. සියලු ම ආගම් එකයි කියලා, පන්සලත්, පල්ලියත්, කෝවිලත් තුන ම සරණ යනවා. නමුත් මේ පිංවතුන් සිල්පද හොඳින් ආරක්ෂා කරන බෞද්ධ පිංවතුන්. මොකක්ද මේ වෙලා තිබෙන්නේ? තමන්ගේ ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි.

සමහරක් පිංවතුන් සිටිනවා, තමන් හොඳින් සිල්පද ආරක්ෂා කරමින්, තමන්ගේ ශීලය හුවා දක්වමින් අනුන්ව හෙලා දකිනවා; විවේචනය කරනවා. වර්තමානයේ සමහරක් ගිහි පිංවතුන්ලා සිටිනවා, තමන්ගේ ශීලය වර්ණනා කරමින් ස්වාමීන් වහන්සේලාව හෙලා දකිනවා. ස්වාමීන් වහන්සේලාට වඳින්නේ නැහැ; ගරු කරන්නේ නැහැ. පන්සලට යන්නේ නැහැ. ඒ වගේමයි සමහර ස්වාමීන් වහන්සේලාත් සිටිනවා, තමන්ගේ ශීලය හුවා දක්වමින්, අනෙක් ස්වාමීන් වහන්සේලාව හෙලා දකිනවා; කොන් කරනවා. ශීලයෙන් දුර්වල පුද්ගලයා තුළින් අපි දකින්න ඕනේ ඔහුගේ ශීලයේ දුර්වලභාවය නො ව, ධර්මය යි. එහෙම වුණොත් පමණයි අපට පුළුවන් වෙන්නේ ඔහු ඉදිරියේ ආදර්ශවත් වෙන්න; අපි රකින ශීලයේ ගුණාත්මකභාවය මතුකොට ගන්න. මෙහිදී උපසම්පදා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයට අදාළව ඉහත කාරණය ගළපා ගතයුතු වෙනවා.

පිංවත් ඔබ ශීලයෙන් දුර්වල අය සමඟ ගැටෙනවා නම්, එය ශීලයෙන් දුර්වල අයගේ වරදක් නො වේ, පිංවත් ඔබ සිල්වත්ය කියලා ගත්තා වූ දෘෂ්ටියේ වරදයි. පිංවත් ඔබ සිල්වත් ය කියලා ගන්නා දෘෂ්ටියෙන් මිදෙන්න. එවිට ප්‍රශ්නය සමථයකට පත් වේ. දිනක් භික්ෂුව කැලෑ මාර්ගයක පිණ්ඩපාතයට වඩින විට, තුවක්කුවක් කරේ තියාගෙන දඩමස් වර්ගයක් පොහොර උරයක දමාගත් දඩයක්කරුවෙක් මුණගැසුණා. භික්ෂුව ඔහුට, “තෙරුවන් සරණයි මහත්තයෝ” කියාගෙන වැඩියා. කැලයේ වැඩසිටි එක් ස්වාමීන් වහන්සේ නමක් සතෙකුට වෙඩිල්ලක් තැබූ ගම්වැසියෙක්ව අල්ලාගෙන ගසක බැඳලා, වනජීවී නිලධාරීන්ට භාරදීලා, ගමේ ප්‍රශ්නයක් ඇතිකරගත් කතාවක් භික්ෂුව ගම්මානයකදි අසා තිබෙනවා. අපේ ශීලයේ පරිපූර්ණ බව නිසා ම, අපි දුසිල්වත්භාවය සමඟ ගැටුමට යනවා. ඇයි මේ විදියට සිද්ධවෙන්නේ? තමාගේ ශීලය සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම ඒ පිංවතුන්ලා තුළ චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය සකස්වෙලා නැහැ.