දිනක් පිණ්ඩපාත මඩුවේ පිණ්ඩපාතය පිළිගන්නකොට භික්‍ෂුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පිණ්ඩපාතය ලැබිලයි තිබුණේ. එම නිසා එක් උපාසිකාවක් පූජා කරන්න හදපු පලතුරක්, “අද අවශ්‍ය වෙන්නේ නැහැ මෑණියෝ” කියලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අම්මා පලතුරත් අරගෙන ඒ මොහොතේ ම ගෙදර ගියා. භික්‍ෂුව පින් අනුමෝදන් කරන තුරුවත් හිටියේ නැහැ. ඒ අම්මා නැවත කවදාවත් පිණ්ඩපාත මඩුවට දානය ගෙනාවේ නැහැ. නමුත් මේ අම්මා හොඳින් සිල්පද ආරක්‍ෂා කරන අම්මා කෙනෙක්. ඇපල් ගෙඩියක් පාත්‍රයේ තිබියදී, තවත් ඇපල් ගෙඩියක් පිළිගන්න එක තේරුමක් නැහැ. ඒත් ඒ අම්මාට ඒ ගැන වැටහීමක් නැහැ. භික්‍ෂුවට ඒ මොහොතේ එය පැහැදිලිකොට දෙන්නත් බැහැ. ඒ නිසා පිංවතුන්ලා, ස්වාමීන් වහන්සේලා සමඟ කටයුතු කරනකොට, උපේක්‍ෂාවෙන් ඒ දේ කරන්න. ස්වාමීන් වහන්සේ නමක් වචනයකින්, ඉරියව්වකින් යමක් ප්‍රකාශ කළොත්, යම් හේතුවක් නිසා ම යි එහෙම කරන්නේ. එහෙම නැතිව අපේ ලොකුකමකට නො වේ. කුමකට ලොකුකමක් පෙන්වන්න ද?

හෙට උදෑසන ගමට පිණ්ඩපාතයට වැඩියහම, ගමේ පිංවතුන් කීවොත්, “අපි ඔබ වහන්සේට දානෙ දෙන්නේ නෑ” කියලා, භික්‍ෂුව පෙරළා කුටියට වැඩම කරලා ගිලන්පසකින් පමණක් දවස ගෙවන්න ඕනේ. උදේ දානයට, දවල් දානයට රුපියල් පන්දාහක්, රුපියල් දහදාහක්, රුපියල් පහළොස්දාහක් ආදී වශයෙන් මිලගණන් නියම කරන සමාජයක, පිංවතුන්ලාගේ දෙපතුල ළඟට ඇවිත්, පිංවතුන්ලාගේ සිඟමනෙන් ජීවත්වන පිරිසක් අපි. නමුත් මෙය සටහන් තබන භික්‍ෂුව පිංවතුන්ලාගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද, භික්‍ෂුව දන්නවා අනුකම්පාව කියලා කියන්නේ, ඵස්සය හේතුවෙන් සකස්වෙන, අනිත්‍යභාවයට පත්වෙන, අයාලේ යන සිතක් පමණක්ය කියලා.

මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ, ස්වාමීන් වහන්සේලාගේ උරුමයක් පමණක් නො වෙයි; භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිසේ ම එකතුව යි. ඒ නිසා ශාසන චර්යාවන්හීදී අපට වෙන්වෙන්ව කටයුතු කරන්න බැහැ. ඒ නිසා අප සිව්පිරිස, උපේක්‍ෂාවෙන් අපි අපි දෙස බලන්න දක්‍ෂ වෙන්න ඕනේ. වැරැද්දක් සිද්ධවෙනවා නම්, අපි අපිට ආදර්ශවත්ව කටයුතු කරන්න දක්‍ෂ වෙන්න ඕනේ. අපි අනුමත නො කරන දෙයක් අපි අතර සිද්ධවෙනවා නම්, ඒ ගැන නො ගැටුණු සිතින් විමසා නිවැරදි කරගන්න දක්‍ෂ වෙන්න ඕනේ. අපේ අදහස් එකිනෙකට වෙනස් නම්, එකතු වී කටයුතු කරන්නට බැරි නම්, සමගියෙන් වෙන් වී යන්න ඕනේ. එසේ නො වී අපි අපි ගැන ගැටෙන ස්වභාවයන්ට ගියොත්, ශාසනයේ ශක්තිය බිඳවැටීමට අප උපකාර කළා වෙන්න පුළුවන්. කවදාවත් අපි හැමෝට ම එක ම විදිහේ අදහස් පිහිටන්නේ නැහැ. එය ධර්මතාවයක්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධාතු ධාතු වශයෙන් සත්වයා එකතු වෙනවා, බැඳී යනවා කියලා. ධුතාංග ධර්මයන්ට කැමති පිංවතුන්ලා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේට එකතුවෙනවා. දිවෙස් ධර්මයන්ට කැමති පිංවතුන්ලා, අනුරුද්ධ මහ රහතන් වහන්සේට එකතු වෙනවා. විනයට කැමති පිංවතුන්ලා, උපාලි මහ රහතන් වහන්සේගේ ඇසුරට එකතු වෙනවා. අසත්පුරුෂ ධර්මයන්ට කැමති අය, දේවදත්ත හාමුදුරුවන්ගේ ඇසුරට කැමති වෙනවා. ඉහත ධර්මතාවය නිසා මනුෂ්‍ය අපිට එක ම විදිහකට සිතන්න, දකින්න බැහැ.

අදහස්වලින් වෙනස් අපි වෙන්විය යුත්තේ එකිනෙකාට චෝදනා කරගැනීමෙන්, ගැටීමෙන් නො වේ; සමගියෙන් ම යි. නමුත් සමාජයේ බහුතරයකට ඉහත දක්‍ෂතාවය නැහැ. එම නිසා ම සිව්පිරිස එකිනෙකා අතර භේදයන් ඇතිකර ගන්නවා. නමුත් මේ හොඳින් සිල්පද ආරක්‍ෂා කරගන්න පිංවතුන්. ඇයි මෙහෙම වෙන්නේ? තමන්ගේ ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය සකස් වී නැහැ. ඒ හේතුව නිසා ම ඒ අය මරණින් මතු දුකට පත් වේ ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සමහරක් පිංවතුන් සිටිනවා, ඒ අය හොඳින් සිල්පද ආරක්‍ෂා කරගන්න බෞද්ධ පිංවතුන්. නමුත් මේ අය දුප්පත්. කවුරුන් හෝ කණ්ඩායමක් ඇවිත්, “අපි ඔබගේ පවුලට රුපියල් ලක්‍ෂයක ස්ථිර තැන්පතුවක් පොතේ දමලා දෙන්නම්, එහෙම නැතිනම් අත්ට්‍රැක්ටරයක් අරගෙන දෙන්නම්, ඔබලා බුදුදහම අතහැරලා, අපේ ආගමට එන්න” කියලා කිව්වොත්, අනේ මේ දුප්පත්, අහිංසක පිංවතුන්, බුදුදහම අතහැරලා පුංචි ලාභයක් වෙනුවෙන් වෙනත් ආගමකට යනවා. නමුත් මේ අය සිල්පද ආරක්‍ෂා කරගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒ අයගේ ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධි, ප්‍රඥා විශුද්ධි සකස්වෙලා නැහැ. මේ අය මරණින් මතු දුකට වැටෙනවා ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භික්‍ෂුව වැඩසිටි ගම්මානයක, මෙවැනි පවුල් කිහිපයක් හිටියා. ඒ අය මුලින් හොඳ බෞද්ධයින්. නමුත් දැන් ඒ පවුල්වල අය ස්වාමීන් වහන්සේ නමක්ව දකින්නේ යක්‍ෂයා හැටියට යි. මෙවැනි දුර්වල දෘෂ්ටීන්ට ශීලය විසින් කුමන රැකවරණයක් දෙන්න ද?